----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

කාර්යබහුල යුවතියක් වෙලා

Wednesday, July 4, 2012

sarasaviya

පුංචි තිරයේ ප්‍රේමවන්තිය වූ වාසනාවන්තිය
ශලනි තාරකා

කරල් දෙකට ගෙතූ දිගු වරලස දෙකට නවමින් බැන්දා වූ පීත්ත පටිය ඇගේ උවනට ගෙනාවේ ආලෝකයකි. පීත්ත පටියේම පැහැයෙන් යුතු ගවුමක් ඇඟලා සිටින මේ යුවතිය සිය නිවෙසේ ගෙවත්ත අසල වූ වන වදුලට පිවිසෙන අඩි පාරේ ගමන් කළේ සැබෑම සතුටිනි.
සිය සිත්නැඟි සතුට ප්‍රකාශ කරන්නට මෙන් ඕ තුරුලතාවන් අතර සුපිපි සුන්දර පුෂ්පයක් අල්වා ගනිමින් ඊට සිය මුව ළං කළාය. ශ්වේත වර්ණයෙන් බබළන ඒ සොඳුරු පුෂ්පය වෙතට ළං වුණ මේ සොඳුරු යුවතිය අපට සිහිපත් කළේ මලක වසා සිටිනා සමනලියකි. මේ දඟකාර දැරිය මලින් මලට පියඹා යන සමනලිියක සේ අඩි පාර දිගේ ලැසි ගමනින් ඉදිරියටම පියමං කර නතර වූයේ ගඟක් අසලය. ඒ ආසන්නයෙහි ඇති ගලක් උඩ වාඩි වූ ඇගේ චර්යාව අපට පැවසුවේ ඈ එතනට පුරුදු කාරියක් බවකි.
‘නිර්මලා’
මම ඇයගේ නමින් ඇමතීමි. ගිය වසරෙහි සිදුවුණු මේ සොඳුරු හමුවීම මගේ මතකයට නැගුණේ මෙවර ඈ දුටු ඇසිල්ලේය. වසර කිහිපයකට පෙර යුවතියන්ගේ හදවත සැඟව ගත් ‘ගඟ අද්දර’ සිනමා පටයේ නිර්මාලා වන්නට ඇය වරම් ලද්දාය. ඒ පුංචි තිරයට ‘ගඟ අද්දර’ පැමිණි සමයෙහිය. ඒ අහඹු අවස්ථාව ලද නිර්මලා මා අසලය. ඕ ශලනි තාරකාය.
‘එදා වගේම මේ කාලයෙත් ‘ගඟ අද්දර’ නිර්මලාට ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් ආදරය කළා. ඒ විතරක් නෙමෙයි මමත් නිර්මලාට ගොඩක් ආදරය කළා. නිර්මලා කියන්නේ මගේ රංගන ජීවිතයට ලැබුණු අපූරු චරිතයක්. ඒ චරිතය මගේ රංගන දිවියේ අමතක නොවන සනිටුහනක්.’
නිර්මලා හා බැඳුණු ඒ අතීතය සිහිපත් කරමින් ශලනි අප සමඟ කතාබහට පිවිසියාය.
මේ දවස්වල ඇය ඔබ අසලට පැමිණෙන අවස්ථාවන් බොහොමයකි. ඒ ස්වාධීන රූපවාහිනියෙහි සතියෙහි දින පහෙහි රාත්‍රී 8.30 ට සිහින පියාපත් හි මිහිරංගි ලෙසිනි. එම සේවයෙහිම සෙනසුරාදා හා ඉරිදා රාත්‍රී 8.00 ට ‘අලුත් ගෙදර’ හි කවීෂා නම් යුවතියයි. හිරු ටී. වී. හි රාත්‍රී 8.00 ට ‘සිහිනයකි ජීවිතේ’ සොනාලි අනෙක් භූමිකාවයි.
‘ඔබ බොහොම කාර්යබහුල යුවතියක් වෙලා’
‘මා රංගනයට පිවිසියාට පස්සේ කොයි තරම් කාර්යබහුල වුණාද කිව්වොත් විවේකයක් ලැබුණු දවසක් මගේ මතකයට නගන්න බැරි තරම්. කොයි තරම් අවිවේකීව කාලය ගත කළත් ඒ නිසා දැනෙන මහන්සිය එක් වරම නැති වෙලා යන්නේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර නිසයි.
පසුගිය කාලයේ නිර්මලාට වගේම මේ දවස්වල ප්‍රේක්ෂකයන් මාව අමතන්නේ මිහිරංගි වගේම සොනාලි කියන නම්වලින්. ඔවුන් ඒ තරමටම ඒ දෙපළට ආදරෙයි. මේ අතරෙදි ඔවුන්ගෙන් ලැබෙන විවේචනයන් නැතිවමත් නොවෙයි. චරිතවල හොඳ හා නරක කියන සියල්ලම දකින්නේ ඔවුන්. ඔවුන් කරන ඒ කුමන ප්‍රතිචාරයක් වුණත් මා පිළිගන්නේ බොහොම නිහතමානීව හිස නමලයි.’
දිගින් දිගටම ප්‍රේමවන්තියගේ චරිතයම රඟපාන්නද ඔබ සිතාගෙන ඉන්නේ?
‘රංගනයට පිවිසිය දා පටන් මට මෙතෙක් ලැබුණේ පෙම්වතියගේ චරිතයයි. ඒ නිසා ඒ චරිතය දිගින් දිගටම රඟපාන්න මට සිදු වුණා. නමුත් ඒ චරිතයෙන් මිදිලා වෙනස් ඕනෑම චරිතයක් රඟපාන්න කියලා අධ්‍යක්ෂවරයෙක් මට කිව්වොත් ඒ ආරාධනාව මම බොහොම සතුටින් භාර ගන්නවා. ඒ වගේම අන්ධ හා ගොළු චරිතයක් රඟපාන්න මම බොහොම මනාපයි.’
මේ දවස්වල රඟපාන ‘අලුත් ගෙදර’ කවීෂාගේ චරිතය අන් චරිතවලින් තරමක් වෙනස් බවයි පෙනෙන්නේ.
‘අලුත් ගෙදර’ ටෙලි නාට්‍යයෙන් කතාබහට ලක් වෙන්නේ අනාථ නිවාසයක වෙසෙන වැඩිහිටියන් පිළිබඳයි. එහිදී ඔවුන් වගේම කවීෂා කියන්නෙත් අනාථ ළමයෙක්. අම්මා, තාත්ත නැතිව ඈ හැදෙන්නේ අනාථ නිවාසයේ. එහෙම කෙනෙක් තමයි මේ වැඩිහිටි නිවාසයේ ඉන්න වයසක කාන්තාවට ආදරය කරන්නේ. ඒ විතරක් නෙමෙයි ආදරයෙන් රැක බලා ගන්නේ. ඒ චරිතය රඟපාන අයිරාංගනී ඇන්ටි වගේ ප්‍රවීණ කෙනෙක් සමඟ නිතර ලැබුණු ඇසුර මගේ ජීවිතයට ගොඩක් වටිනවා.
ටෝනි රණසිංහයන් වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ රඟපාන්නට ලැබීම මට ලැබුණු එක්තරා වාසනාවක්. ඔවුන්ගෙන් ලැබුණු උපදෙස් නවක අපට බොහොම වැදගත්. මොකද රංගනයේදි සිදු වන යම් යම් වැරැදි එතනදි නිවැරැදිව කෙරෙන්න ඕන කොහොමද කියා කියා දීම වැනි උතුම් ගුණාංගයන් ඔවුන් සතුයි. ඔවුන්ගේ ඒ ගුණ යහපත් බව අපේ ජීවිතයටත් කියා දෙන්නේ පාඩම් රාශියක්.
මේ ලබාගත් සියලු දේ සමඟින් ඔබගේ ඊළඟ ඉලක්කය වේදිකාවද?
වේදිකාවේ රඟපෑමට ආරාධනාවන් කිහිපයක්ම ලැබුණා. නමුත් අනෙක් කටයුතුත් සමඟ තිබෙන කාර්ය බහුලත්වය ඒ මඟ අහුරලා. වේදිකාව කියන්නේ බොහොම කැප කිරීම් රාශියක් කළ යුතු මාධ්‍යයක්.
දිගින් දිගටම වෘත්තීය රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කිරීමට ද ඔබ සැරැසෙන්නේ?
‘වෘත්තීය රංගන ශිල්පිනියක් වීමට වඩා මගේම ව්‍යාපාරයක හිමිකාරියක් වීමට මා කැමැතියි. ඒ නිසා දිගින් දිගටම රංගනයෙහි නිරතවීමට මගේ අදහසක් නෑ. ව්‍යපාරයක නිරත වන අතරතුර රඟපාන්නට මා කැමැතියි.’
ඔබ මෙතෙක් රඟපෑ නිර්මාණයන් අතරින් අමතක නොවන සිදුවීමක් ගැන සඳහන් කළොත්?
‘ඒක සිදු වුණේ ගඟ අද්දර රූපගත කිරීමකදී. මට රාත්‍රියේදී ගඟේ තිබුණු ඒ රූපගත කිරීමේදී මම ගිය පාරුවෙන් වතුරට වැටෙන දර්ශනයක් තිබුණා. හොරණ – මතුගම ප්‍රදේශයේ තිබුණු ගඟක තිබුණු මේ රූපගත කිරීම සඳහා සියල්ල සූදානම්. ඒ වැටෙන්න තිබුණු තැන අඩි 120 ක් විතර ගැඹුරු බව මට දැනගන්නට ලැබුණා. හොඳට පීනන්න බැරි වුණත් යන්තමට වතුරේ නොගිලී ඉන්න මට පුළුවන්. කොහොම වුණත් රූගත කිරීමට සියල්ල සූදානම්.
මම වතුරට වැටෙන්න හැදුවා විතරයි හෝව් හෝව් කියලා කෑගැහිල්ලක් ආවා. මේ රාත්‍රී රූගත කිරීමේදී ගඟට වැටිය යුතුමය කියලා ඔවුන් මට දීලා තිබුණේ ලණුවක්. රාත්‍රියේදී තිබෙන මෙවැනි රූපගත කිරීම්වලදී දෙන ලණුවලට මම නිතරම වගේ අහු වෙන්නේ ඉබේමයි.’
ඉදිරියේදී ඔබව දකින්නට හැකි නිර්මාණ පිළිබඳ පැවසුවහොත්?
‘මොහාන් නියාස්ගේ ‘මයාවී’ චිත්‍රපටයේ රඟපෑවා. මේ දවස්වල සංස්කරණ කටයුතු සිදු වෙනවා. මගේ දෙවන චිත්‍රපටය වන්නේ ‘මායාවී’ යි. ඊට අමතරව ‘අනූ අටේ අටක්’ කියන ලක්මිණී අමරදේවගේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වල මුල් අදියර අවසානයි. ඉදිරියේදී මේ සියල්ල ඔස්සේ මගේ රංගනය ප්‍රේක්ෂකයන්ට දැක ගත හැකි වේවි’


0 comments:

Post a Comment