----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඒක අලුත් අත්දැකීමක්.

Thursday, July 19, 2012


විහඟි වගේම මමත් සංවේදී චරිතයක්

විහඟි මට ලැබුණේ ‘තරුණී’ හරහා

භාග්‍යා ගුරුසිංහ සමඟ සුහද කතාබහක්



කොන්ක්‍රිට් පුරවරයට සිසිල ගෙනෙන සුන්දර දියවන්නා ඔය අසබඩ ඇති තුරු සෙවනට මම පියවර මැන්නෙමි. කොන්ක්‍රිට් බංකුව මත වාඩි වී සිටි සොඳුරු යුවතියගේ නෙත් පැහැර ගෙන තිබුණේ සුන්දර දියවන්නාවේ දිය රැළිය. දියවන්නාව පිස හමන මද සුළඟ වැදී ලෙළෙන දඟකාර කෙස් රොදක් ඇගේ උවනට රැගන එන්නේ අමුතු සුන්දරත්වයකි. උන් තැනින් එක් වරම නැඟිට ගත් ඈ තුරු සෙවනෙහි සක්මනක යෙදුනාය. තුරු සෙවන යට ගිමන් හරිමින් සිටි බොහෝ දෙනෙකුගේ නෙත් යොමුව තිබුණේ ඈ දෙසටය.
‘තරු පිරි අහස’ ටෙලි නාට්‍යයේ රඟපාන විහඟි ඇවිදිනවා’මා අසලම අන් එකියක් තවත් එකියකට කොඳුරනු මට ඇසිණි. ඔවුන් කියූ දෙය නෑසුණාක් මෙන් මම විහඟි දෙසට ගමන් කළෙමි. මා දෙසට නෙත් යොමු වූයෙන් ඇගේ සක්මන නතර විය. ඇය සිනාසුණාය. ‘මම මේ ආවා විතරයි’ මා කතා කරන්නටත් පෙර ඇය කතාවට මුල පිරුවාය.
‘රෝද පුටුව ගෙදර තියලද ආවේ’
ආබාධිත යුවතිය නිරූපණය කරමින් ඈ අපට මුණ ගැසෙන්නේ සඳුදා සිට සිකුරාදා දක්වා දිනයන්හි රාත්‍රී 9.00 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘තරු පිරි අහස’ ටෙලි නාට්‍යයේදී විහඟි ලෙසය.
භාග්‍යා ගුරුසිංහ.
‘මෙහෙ හිටිය කිහිප දෙනෙක්ම ඔය ප්‍රශ්නය මගෙන් ඇහුවා.’
ඈ වට පිට බැලුවේ ඔවුන් සොයන්නට මෙනි.
‘සතුටු හිතෙන ප්‍රතිචාර ලැබෙනවා වගෙයි’
ඒ කතාවට අලගු තියන්නට මෙන් කතාවට පෙර උවනෙහි නැඟුණු සිනහව ඉස්සර විය.
‘මම ගොඩක්ම ජනතාව අතරට ගියේ ‘තරු පිරි අහස’ ටෙලි නාට්‍යයේ විහඟි කියන ආබාධිත යුවතියගේ චරිතය ඔස්සේ. ඒ යුවතියට කොයි තරම් ප්‍රේක්ෂකයෝ ආදරය කරනවාද කියල දැනෙන්නේ මේ වගේ එළියේ ඇවිදින වෙලාවටයි. ඔවුන් විහඟි ගැන කොයි තරම් වද වෙනවද කිව්වොත් විහඟිට රඟපාන යුවතියත් ආබාධිත බවයි සිතන්නේ. රංගනයට නවක මටප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන මේ ප්‍රතිචාර චරිතය වඩාත් හොඳින් ප්‍රතිනිර්මාණය කරන්න ශක්තියක්.’
එහෙම නම් ඔබ මීට පෙරත් රඟපෑව යුවතියක්.
‘ඔව්, මුලින්ම මම සම්බන්ධ වෙන්නේ වෙළෙඳ දැන්වීම් කිහිපයකටයි. මා රඟපෑ වෙළෙඳ දැන්වීම්වලින් වඩාත් ජනප්‍රියත්වයට පත් වෙන්නේ ලාඕජී ‘බට්ටි’ කියන දැන්වීමයි. ඉන් පස්සේ රඟපෑ ඔලේ ක්‍රීම් සෝඩා දැන්වීම මට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ මං විවර කරනවා. සිරස රූපවාහිනියෙන් විකාශය වුණු ‘ගැහැනු ළමයි’ ටෙලි නාට්‍යයේ අනුලාගේ චරිතය මට ලැබෙන්නේ මේ අනුවයි.
ඊට පස්සේ ‘බිනරි’, ‘කුණු දැමීම තහනම්’, ‘පියවි’ කියන ටෙලි නාට්‍යවලට ලැබෙන ආරාධනා මා භාර ගන්නේ බොහොම සතුටින්. ‘තරු පිරි අහස’ ටෙලි නාට්‍යයේ විහඟි ලෙස රඟපාන්නට අවස්ථාව ලැබෙන්නේ ‘තරුණී’ පුවත්පතේ ගිය මගේ කවරය දැකීමෙන්. ‘තරු පිරි අහස’ හි චමින්ද වික්‍රමසිංහ කියන අයියා මට කතා කළාට පස්සේ සම්මුඛ පරීක්ෂණයකින් මම විහඟිගේ චරිතයට තෝර ගන්නවා. ප්‍රේක්ෂකයන් ආදරය කරන ‘විහඟි’ කියන චරිතය සාර්ථකව නිරූපණය කරන්න ලක්ෂ්මන් පුෂ්ප කුමාර, ජෝශප් ජෙරම්, ජගත් විජේනායක, රුවන් අයියා ඇතුළු ‘තරු පිරි අහස’ කණ්ඩායමේ හැමෝගෙන්ම ලැබුණු සහයෝගයට මා ඔවුන්ට ස්තුති කරනවා.
විහඟිව ඔබට දැනෙන්නේ කොහොමද කියල කිව්වොත්?
‘විහඟි කියන්නේ බොහොම සංවේදී යුවතියක්. ඒ වගේම ආබාධිත යුවතියක් නිසා ඇගේ හැඟීම් ප්‍රකාශ වෙන්නේ මුහුණෙන්. ඇගේ රඟපෑමේදී මුහුණේ ඉරියව් පිළිබඳ සැළකිලිමත්වීමට සිදු වුණා. මේ වගේ අවස්ථාවකදී රංගනයට ආධුනික මම වගේ කෙනෙකුට ඒක ලේසි පහසු දෙයක් වුණේ නැහැ.
ඒ නිසා මේ චරිතය මට දැනෙන අයුරින් රඟපාන්න මම උත්සාහ ගත්තා. සමහර අවස්ථාවලදී මෙහි රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ගෙන් මට ලැබුණු සහාය අපමණයි. හයිසින්ත් ඇන්ටි වගේම වරකාගොඩ අංකල්ගෙන් ලැබුණු ඒ සහාය මම වගේ කෙනෙකුට බොහොම වටිනවා. යම් යම් අවස්ථාවලදී අඬන්න තියෙන දර්නවලදී මගේ ඇස් දෙකට කඳුළු ආවේ ඉබේමයි.’
විහඟි වගේ ඔබත් සංවේදී යුවතියක්ද?
‘මමත් බොහොම සංවේදි යුවතියක්. මට ඉන්නේ අයියා කෙනෙක් හා නංගියෙක්. අයියා දිල්ෂාන්. එයා රැකියාව කරන්නේ මූල්‍ය සමාගමක. නංගි නිෂාදි. ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වෙන්න ඉගෙන ගන්නවා. මමත් උසස් පෙළ කළේ රෝයල් ඉන්ස්ටියුට් ජාත්‍යන්තර පාසලේ වානිජ අංශයෙන්. තාත්තා සුනිල් ගුරුසිංහ. ව්‍යාපාරිකයෙක්. අම්මා නීටා ගුරුසිංහ. ඈ තමයි අපි හැමෝම ආදරයෙන් බලා ගන්නේ. ඉතිං අපි පස් දෙනා බොහොම ආදරයෙන් තමයි කටයුතු කරන්නේ. අම්මාගෙන් තාත්තාගෙන් ලැබෙන ආදරය තමයි අපිව සංවේදී අය කරන්නේ.’
ඒ සංවේදී යුවතියට ප්‍රේමවන්තයෙක් ඉන්නවද?
‘මම මූලිකත්වය දුන්නේ අධ්‍යාපන කටයුතුවලටයි. ඉදිරියේදී දිගටම ඉගෙන ගන්න මම වඩාත් කැමැතියි. පුංචි කාලෙදි නම් නීතිඥවරියක් වීම තමයි මගේ සිහිනය වුණේ. දැන් නම් මගේ බලාපොරොත්තුව බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්නයි.
මේ සියලු දේ නිසා ආදරය පිළිබඳ සිතන්න මට වෙලාවක් තිබුණේ නැහැ. නමුත් දැන් එවන් ආරාධනාවක් ලැබුණොත් ඒ පිළිබඳ සිතන්න මම කැමැතියි. එයා මට ගැළපෙන්න ඕන. ඒ වගේම ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අම්මගේ තාත්තගේ කැමැත්ත මතයි.’
දිගින් දිගටම රංගනයෙහි නිරත වෙන්න අදහසක් නැද්ද?
‘ඒක තීරණය වෙන්නේ මට ලැබෙන රංගන කටයුතු සමඟයි. කාර්යබහුල කෙනෙක් වෙන්න මගේ ඒ තරම්ම කැමැත්තක් නෑ. රැකියාවක් කරමින් රඟපාන්නත් මගේ පුංචි අදහසක් තිබෙනවා.’
මේ ළඟදී චිත්‍රපටයකටත් දායක වුණා.
‘ප්‍රවේගය’ කියන චිත්‍රපටයේ මට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒක අලුත් අත්දැකීමක්. ඒ වගේම මා රඟපෑ මුතු වරුසා, සංසාර ප්‍රාර්ථනා කියන ටෙලි නාට්‍ය ළඟදීම විකාශය වේවි. මේ අතර රංගනය පිළිබඳ හදාරන්නත් ඕනෑ. මුලින්ම මම හිතාගෙන හිටියේ මහේන්ද්‍ර පෙරේරාගේ රංගන පාසලට යන්න. ඒත් දැන් ඒ පාසල නැවතිලා. මේ දවස්වල මා රංගනය පිළිබඳ උගන්වන පාසලක් සොයමින් ඉන්නේ.’

0 comments:

Post a Comment