----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ලක්ෂ්මී සිය පෙම්වතා සමඟ අතුරුදන් වී ඇත.

Saturday, June 16, 2012

විශිෂ්ටයන් දෙදෙනෙකු මැවූ ආදර දේවතාවිය වෛෂ්ණාවී

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ කතා සංකල්පයක්

ටෝනි රණසිංහගේ තිර රචනයක්

සුමිත්‍රා පීරිස්ගේ අධ්‍යක්ෂණයක්


සුරංගනා කතාවක හෝ ජනප්‍රවාදයක ජීවත් වූ දේවතාවියන් පිළිබඳ බොහෝ සුන්දර කතා අපි අසා ඇත්තෙමු. ඔවුන් ගැන මතකයන් අප සිත් තුළ තැන්පත්ව ඇත්තේ ආශ්වාදජනක අන්දමිනි. මේ කතාවට ද පදනම්ව ඇත්තේ එවන් දේවතාවියකි. නමුත් ඇය මිහිකතට එන්නේ වෙනස්ම විලාශයකටය.
ඇයගේ නම ද අපූරු එකකි.
මේ දේවතාවියගේ රුව පළමුව සිතුවම් වන්නේ ශ්‍රේෂ්ටයකුගේ මනසේය. ඔහු ශ්‍රේෂ්ටයකු සේම සිනමාවේ අති විශිෂ්ටයෙකි. හෙළ සිනමා වංශ කතාව වෙනමම තැනකින් ලියන්නට පටන් ගත් මහා යුග පුරුෂයෙකි.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් අසහාය සිනමාවේදියාණන්ගේ සිත ඒ දේවතාවියගේ කතාව බිහි වූ තිඹිරි ගෙය වූවේය. එතුමාණන් ඇය ගැන තතු විත්ති ටෝනි රණසිංහයන්ට කීවේය.
ඔහු එය මනසින් මනාව ග්‍රහණය කොට තිර පිටපතක් බවට පත් කළේය. ඒ සවිමත් සුසංයෝගයෙන් මැවූ දේවිතාවියගේ කතාව අධ්‍යක්ෂණය පැවරුණේ ද තවත් අග්‍රගණ්‍ය සිනමාවේ දියණියකටයි.
ඇය හෙළ සිනමාවෙ කිවිඳිය ලෙස විරුදාවලිය ලද සුමිත්‍රා පීරිස්ය. ඇය මේ සිනමා පබැඳුම තමාට අනන්‍ය ශෛලිියෙන් කැමරාවෙහි සටහන් කර ගත්තීය.
සිනමාවේ විශිෂ්ටයන් තිදෙනකු එක්ව මැවූ මේ දේවතාවිය මේ සටහන නිමාවන භාගයේදී නෙඅනුමානව ඔබට හමුවනු ඇත.
දේවතාවිය මෙලොවට ගෙන එන්නේ ඔසඳාය. ඔහු රූකඩ කර්මාන්තය තම ජීවිකාව කරගත් මාපිය සෙනෙහස අහිමි කාර්යශූර යෞවනයෙකි. පරම්පරාවෙන් ලැබුණු වෘත්තීයට අසාධාරණයක් නොකළ හෙතෙම සියුම්ව රූකඩ නෙළන ආකාරය විශ්මයජනකය.
ඔසඳා රූකඩ සන්දර්ශන ද පවත්වන අයකි. වැර වෑයමෙන් හරි හම්බ කරනා දෙයින් ඔහුත් ඔහුගේ එකම හිතෛෂියා වූ අත්තම්මාත් බත සරිකොට හැකි පරිදි ජීවත් වූවේය.
රුචිරා ඔසඳාගේ මාමණ්ඩියගේ දියණිය වූයේය. ඉඳහිට ඔසඳාගේ නිවසට ආගිය ඇය ඔසඳට දැක්වූයේ මෙතෙකැයි කියා කිව නොහැකි සෙනෙහසකි.
ගමෙහි තනිකඩ තරුණ තරුණියන් පිළිබඳ උනන්දුවන කපුවකු ඔසඳාට විවාහ යෝජනාවක් ගෙන එන්නේ මේ අතරතුරය. ලක්ෂ්මී නම් වන ඔසඳාට යෝජනා වන තරුණියට පෙම්වතකු සිටින බව කිසිවකු දැන සිටියේ නැත.
ඇයට සහකරුවකු සොයන්නේ මවුපිය කැමැත්තටය. ලක්ෂ්මීගේ තත්ත්වය නොදැන ඇයට ඔසඳා කැමැත්ත ලබා දෙන්නේ කැමැත්තෙනි.
ඔහු ඇයට සිතින් ප්‍රේම කරන්නට පටන් ගනියි. දිනෙන් දින මෝරා වැඩෙන ඒ ආදරයට ඔසඳා ආදරය කරන්නේ ජීවිතය දෙවැනි කොටය.
දින සති මාස ගෙවී ගියේ වේගයෙනි. ඔසඳාට අභාග්‍ය සම්පන්න ආරංචියක් ලැබෙන්නේ සර්වාංගයම සළිත කරමිනි. ලක්ෂ්මී සිය පෙම්වතා සමඟ අතුරුදන් වී ඇත. ආදරය උපන් තැනම මිය ගොස් ඇති වග ඔහුට දැනුණේය.
ඔසඳා මොහොතක් අජීවී රූකඩ අතර තනි විය. තමාත් රූකඩත් අතර කිසිදු වෙනසක් නැති වග ඔහුට දැනිණ. අවට පිරික්සා රුක් අත්තන කොට කැබැල්ලක් අතට ගත් ඔසඳා එය දෙතුන් වරක් ඒ මේ අත පෙරළිය.
දෑතට හුරු කුඩා කියත සහ නියන අතට ගත් හෙතෙම එය නොහික්මුණ ලෙසින් කපන්නට පටන් ගත්තේය. ක්‍රම ක්‍රමයෙන් එයින් අරුම රුවක් මතු වෙමින් පැවතිණ. ඒ රුව ඔසඳාගේ සිතෙහි ඇති චිත්ත රූපයක් වන්නට පුළුවන.
පැය ගණනක් ඔහු රුක් අත්තන කොටය සමඟ හරඹ කෙරුවේය. අවසන එයින් ඉස්මතු වූයේ රූ ශ්‍රියාවෙන් අනූන නාරි දේහයකි. එය ලක්ෂ්මීට අතිශය සමානය. එක්තරා මොහොතක ඒ අප්‍රාණික කාන්තා රුව කාමරයේ හුදකලා විය.
ඒ අජීවි රුවට අපේ කතා නායිකාව වූ දේවතාවිය ආරූඪ වී මෙලොවට වඩින්නේ ඒ මොහොතේය. වෛෂ්ණාවී නම් වූ ඇය සිතූ පැතූ සම්පත් දෙන දේවතාවියකි.
තමා මැවූ රූකඩය ප්‍රාණියකු වූ බව දුටු ඔසඳා තිගැස්සෙන්නේ කුතහලයෙනි. ඇයත් සමඟ වචනයෙන් ගනුදෙනු කරන හෙතෙම පියවරෙන් පියවර ඇයට සමීප වන්නේ ලක්ෂ්මී නොමැති වියෝව මඳක් හෝ පහ කර ගැනීමේ අටියෙනි.
ඇවැස්ස මස්සිනා දේවිතාවියකට පෙම් බඳින වග දැන ගත් රුචිරාගේ සිත අප්‍රමාණ සංවේගයක පැටලෙයි. මෙතෙක් තම සිත් ඔසඳා වෙනුවෙන් ඉපදී තිබුණේ කුමන ආදරයක්දැයි රුචිරාට වැටහීමට පටන් ගනියි.
එතැන් සිට මේ සිත් අතර ඇතිවන කතාව අප සිනමා කිවිඳියගේ දොළොස් වැනි සිනමා කාව්‍ය ඔස්සේ ගලා යන්නේ සුනිමල ගඟක් පරිද්දෙනි.
වෛෂ්ණාවි වූ ඒ සොඳුරු නිර්මාණය කතුහලයත්, විශ්මයත්, අපූර්වත්වයත් කැටි වූ එකකි.
මෙහි වෛෂ්ණාවිය ඔබ හොඳින් හඳුනන යශෝධා විමලධර්ම නිරූපණය කරයි. රූකඩ තනන්නෙකු වශයෙන් ගැඹුරු අධ්‍යාත්මික රංගනයක යෙදෙන්නේ සම්මානනීය නළු තුමිඳු දොඩම්තැන්නයි. වෛෂ්ණාවී ඔස්සේ රිදී තිරයට අලුත් මුහුණක් හඳුන්වා දෙයි. පුංචි තිරයේ ‘මලී’ වූ ඇය සමාධි අරුණි ඡායා වේ.
මේ තරුණ ප්‍රධාන ත්‍රිත්ව රංගන ප්‍රතිභාව මැද ටෝනි රණසිංහ, අයිරාංගනී සේරසිංහ, ජයලත් මනෝරත්න, වසන්ති චතුරාණි, ක්ලීටස් මෙන්ඩිස්, රෝහණ බැද්දගේ, මහේන්ද්‍ර පෙරේරා, වැනි ප්‍රවීණයන් ද වෛෂ්ණාවී රංගනයෙන් විචිත්‍රණය කර තිබේ.

නිෂ්පාදනයට එක්වූ කණ්ඩායම:
නිෂ්පාදනය – ඒෂියා ඩිජිටල් එන්ටර්ටේන්මන්ට්
පුද්ගලික සමාගම වෙනුවෙන් මනෝ නානායක්කාර
කැමරාව - ඩොනල්ඩ් කරුණාරත්න
සංගීතය – නිමල් මෙන්ඩිස්
සංස්කරණය – චමත් පරණවිතාන
සහය අධ්‍යක්ෂණය – උපාලි පෙරේරා, සතිකා වික්‍රමසිංහ
නිෂ්පාදන කළමනාකරණය - සරත් විජේසේකර
කලා අධ්‍යක්ෂණය – උපතිස්ස ඉලංගකෝන්
අංග රචනය – ඊබට් විජේසිංහ
ඇඳුම් නිර්මාණය - සුරංගා විජයවික්‍රම
සෙසු නළු නිළියන්:
රොෂාන් පිලපිටිය, තෙසාරා ජයවර්ධන, ෂෙහාරා හේවදේව

0 comments:

Post a Comment