----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු

Wednesday, June 6, 2012

දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු


මේ තියෙන්නෙ කන්තෝරුව
වැඩ අරඹන කන්තෝරුව
වැඩ නිමවන කන්තෝරුව
මහ රැජිනගෙ කන්තෝරුව
ලොක්කන් එනවා
ඇවිල්ලා යනවා
ආයෙත් එනවා
ඇවිල්ලා යනවා
කන්තෝරුව නම් මෙහි නවතිනවා
මේක තමයි කන්තෝරුව
මම ඉපදුන කන්තෝරුව
වයසට යන කන්තෝරුව
පණ යනªතුරු කන්තෝරුව
මට විතරක් නැති මාරුව
මේක තමයි කන්තෝරුව
මෙතන තමයි කයිවාරුව
මේක තමයි කන්තෝරුව

මගෙ නම පුටු පාලයා
මෙතන පියුම් කාරයා
තරහ ගියොත් මාරයා
මගෙ නම පුටු පාලයා

මීට වසර පනහකට එපිට 1962 ජනවාරි පෙබරවාරි මසක එක්තරා දිනක සිය රංගනයේ තිඹිරි ගෙය විවර කර ගත් ඔහු රංග ප්‍රතිභාවෙන් වේදිකාවත්, පුංචි තිරයත්, සිනමාවත් ආලෝකමත් කළේ ප්‍රේක්ෂක ජනප්‍රසාද මධ්‍යයේය. හෙන්රි ජයසේනයන්ගේ ජනේලය වේදිකා නාට්‍යයේ ‘පුටු පාල’ගේ චරිතය තුළින් සිය රංගන ජීවිතය ඇරැඹූ ඔහු නමින් සැන්ටින් ගුණවර්ධනය.
ඔහුගේ රංගන ජීවිතයට වසර පනහක් පිරීම නිමිති කොට ටවර් හෝල් රඟහල පදනම මෙම මස 31 වැනිදා සවස 3.00 ට කොළඹ විජේරාම පාරේ පිහිටි ටවර් හෝල් රඟහල පදනමේදී පවත්වනු ලබන සැන්ටින් ගුණවර්ධන උපහාර උත්සවය නිමිති කොට ඔහු සමඟ කළ පිළිසඳරකි මේ.
* ඔබේ කලා ජීවිතයේ අඩ සිය වස පුරන මේ මොහොතේ කලාවේ තිඹිරි ගෙය ගැන සිහිපත් කළොත්?
මම වෘත්තියෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සිතියම් සැලසුම් ශිල්පියෙක්. ඒ වෙන කොට මගේ වයස අවුරුදු විසි හතරයි. කවදාවත් කලාවට ඒමේ ආශාවක් මා තුළ තිබුණේ නැහැ. ක්‍රීඩා කටයුතුවලට තමයි වැඩි කැමැත්ත තිබුණේ. ඒ
ක සිදු වුණෙත් හරි පුදුම විදියට. ඔය වකවානුවේ 1962 හෙන්රි ජයසේන ජනේලය නමින් නාට්‍යයක් නිෂ්පාදනය කළා. ඔය නාට්‍යයේ පුටු පාල නැමැති චරිතයක් සඳහා ගායන හැකියාව ඇති අයකු සොයමින් සිටින අවදිය. මටත් මෙයට සම්බන්ධ වෙන ලෙස ආරාධනාවක් ආවා.
මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය කළ නළුවා වුණ ෂෙල්ටන් සිල්වා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මා සමඟ වැඩ කළා. ඔහු තමයි මට කිව්වේ මේ නාට්‍යයට පුද්ගලයෙක් හොයනවා, ගිහින් බලන්න කියලා. මම ගිහින් හෙන්රිව හමු වුණාම මගේ උස අනුව චරිතයට ගැළපීම නම් හොඳටම මදි.
ඒත් සිංදු කියමින් රඟපාන්න පුළුවන්ද බලන්න මාව සෝමදාස ඇල්විටිගල ළඟට යොමු කළා. මම මේක තමයි කන්තෝරුව ගීතය ගායනා කළා. ඇල්විටිගල කිව්වා වරදක් නෑ කියලා. ඊට පස්සේ හෙන්රි කිව්වා කාර්යාල සහායකයෙක් විදියට රඟපාල පෙන්නන්න කියලා. මම ඒකත් කළා. හෙන්රි සතුටු වුණා. මාව පුටු පාල චරිතයට ගත්තා.
* හාපුරා කියා වේදිකා රංගනයට අවතීර්ණ වුණේ කවදාද?
මාස කීපයක් ජනේලය නාට්‍යයේ පුහුණුවීම්වලින් පස්සේ 1962 අප්‍රේල් 29 වැනිදා ලුම්බිණි රඟහලේ ජනේලය වේදිකා ගත වුණා. එදා මම පුටු පාල ලෙස ප්‍රේක්ෂකයන් අතරට ආවා.
* 62’ ඇරැඹි ජනේලය පසුකාලීනව නිෂ්පාදන හතරක් ලෙසින් වේදිකා ගත වෙන කොට ඔබත් නිෂ්පාදනයෙන් නිෂ්පාදනයට චරිත මාරු කළා නේද?
මේ වගේ දෙයක් රංග ශිල්පියකුට කලාතුරකින් ලැබෙන දෙයක්. නාට්‍ය පරණ වෙන්න පරණ වෙන්න මමත් වයසට ගියා. ඒ යන කොට මුල් චරිතය මට වයස සමඟ ගැළපෙන්නේ නැහැ.
එතකොට මම ඒ නාට්‍යයේ ඊළඟ චරිතයට සුදුසු වෙනවා. මේ විදියට මම ජනේලය මුල්ම නිෂ්පාදනයේ දායක වුණේ පුටු පාල චරිතයට. ඊට පස්සේ පරපුටු පාල චරිතය, ඊට පසු නිෂ්පාදනය ඩිරෙක්ටර්ගේ චරිතය, ඉන් පසු නිෂ්පාදනයේ ඇමැත්තයා. නාට්‍ය නිෂ්පාදන හතර පුරාවට චරිත හතරක් කළා.
* ජනේලයෙන් පටන් ගත්ත ඔබේ රංගනය හෙන්රි ජයසේනයන්ගේ නාට්‍ය බොහොමයක් සඳහා පසුව දායක වෙනවා නේද?
63’ කුවේණි, 64’ තවත් උදෑසනක්, 66’ මනරංජන වැඩ වර්ජන, 66’ අහස් මාළිගා, 97’ හුණුවටයේ කතාව, 68’ අපට පුතේ මඟක් නැතේ, 72’ දිරිය මව සහ ඇගේ දරුවෝ, 77’ සරණ සියොත් සේ පුතුනි හඹා යන, මේ සියලුම හෙන්රිගේ නාට්‍යවල මම රඟපෑවා.
* හෙන්රිගේ නිර්මාණ හැරුණු කොට වෙනත් අයගේ නිර්මාණ සඳහා ඔබ දායක වුණේ නැද්ද?
62’ දී ‘හෙයියන් මාරුව‘, ‘සීගිරි කාශ්‍යප’, 62’ දී ප්‍රේම් දෙල්දෙනියගේ ‘තානායම වටලූදා’, 74’ දී සයිමන් නවගත්තේගම ‘සුබ සහ යස’, 74’ දී ඩී. කීරගලආරච්චිගේ ‘තහනම් දේසේ’, 78’ දී චූලා කාරියවසම්ගේ ‘සිරිත් විරිත්’, 83’ දී ආනන්ද එස්. විජේසිරිගේ ‘ජුලියස් සීසර්’, 86’ දී සොමී රත්නායකගේ ‘සබඳ මම රස්පුටින්’, 87’ දී මෙල්රෝයි ධර්මරත්නගේ ‘සාතන්’ වේදිකා නාට්‍ය සඳහා රංගනයෙන් දායක වුණා.
* වේදිකාවේ බොහෝ දුරක් ආ ඔබ රඟපෑ චරිතවලින් වඩාත් කැමැති?
හුණුවටයේ සයිමන් සෂාවා, සුබ සහ යස නාට්‍යයේ සුබ.
* හුණුවටයේ කතාව නාට්‍යයේ ඔබ වාර්තාගත රංගනයක නියැලුණා?
හුණුවටයේ කතාව ආරම්යේ පටන් මම සයිමන් සෂාවාගේ චරිතය එහි ගෲෂා ලෙස රඟපෑ මානෙල් ජයසේන සමඟ අවුරුදු විසි අටක් එකට රඟපෑවා. මේක සුවිශේෂී සිදුවීමක්.
* සම්මානනීය අගැයුමට ලක් වූ කෙටි නාට්‍ය හතක් ඔබ අතින් නිර්මාණය වුණා නේද?
මම නිවාස සංවර්ධන අධිකාරියේ රැකියාව කරන කාලයේ සෑම වසරකම වෙසක් පොහොය වෙනුවෙන් එක්සත් බෞද්ධ බල මණ්ඩලය හා එක්ව බෞද්ධ නාට්‍යයක් නිර්මාණය කළා. 86’ සිට 92’ දක්වා පිට පිට වසර හතක් මා නාට්‍ය නිිර්මාණය කළා. 87’ හා 88’ නිර්මාණය කළ වටුවත, අහිංසා නාට්‍ය දෙක සඳහා දෙවන ස්ථානයත්, 86’ කණකොක් හඬ, 89’ වෙර, 90’ ප්‍රඤ්ඤා, 91’ නීග්රෝධ මිග, 92’ පැණි වළලු කෙටි නාට්‍ය සඳහා ප්‍රථම ස්ථානය ලැබුණා. මේ සියලු නාට්‍ය සඳහා සංගීතය නිර්මාණය කළේ ඔස්ටින් මුණසිංහයන් විසින්.
* රංග ශිල්පියෙක් ලෙසින් සිනමාවට දායක වුණේ අඩු නිර්මාණ ප්‍රමාණයකට නේද?
බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ සිව් රඟ සේනා, ප්‍රියන්ත කොළඹගේ ගේඅරුමෝසම් වැහි චිත්‍රපට දෙක සඳහා පමණක් මම රංගනයෙන් දායක වුණා.
* වේදිකාවෙන් රංගන අත්පොත තැබූ ඔබ පුංචි තිරයේ ජනප්‍රිය චරිතයක් වුණා නේද?
ධම්ම ජාගොඩගේ සඳක කතාවක්, බන්දුල විතානගේ අත්ත බිෙඳයි, සෝමා කිරිඇල්ලගේ පැංචා, විපුල සුමනසේකරගේ සාතන්ගේ පුත්තු, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගිරය, සුමිත්‍රා පීරිස්ගේ ගැහැනු ළමයි, නාලන් මෙන්ඩිස්ගේ දූ දරුවෝ, සෙනෙහෙවන්තයෝ, මම නෙවෙයි මම, සංජය නිර්මාල්ගේ දිව්‍යා ඇතුළු බොහොමයක් ටෙලි නාට්‍ය සඳහා මම රංගනයෙන් දායක වුණා.
* වේදිකාවේ සුබ සහ යස, හුණුවටයේ කතාව වගේම පුංචි තිරයේ සෙනෙහෙවන්තයෝ ඔබට අමතක කරන්න බෑ නේද?
සෙනෙහෙවන්තයෝ විකාශය වන කාලයේ පුදුම ප්‍රතිචාර මට ලැබුණේ. සමහරු ඇහුවා ඇයි අනේ අපිව මේ තරම් අඬවන්නේ කියලා. ඒ කතාව විකාශය වෙන වෙලාවට රටේ පාරවල් පාළුවට ගියා. මොන තරම් නම් කතාව මිනිස්සු අතර ජනප්‍රිය වුණාද කිව්වොත් සෙනෙහෙවන්තයෝ ටෙලි නාට්‍යයේ මම කළ තාත්තාගේ චරිතය අපේ මිනිස්සුන්ගේ හදවත්වලට පුදුම විදියට බද්ධ වුණා. ඒ තාත්තට මම අදත් ආදරෙයි.
* ඔබේ රංගන ජීවිතය දෙස ආපසු හැරිල බැලුවොත් මොකද හිතෙන්නේ?
රඟපාන්න මම වේදිකාවට එනකොට මට වයස අවුරුදු විසි හතරයි. අද මට වයස අවුරුදු හැත්තෑ හතරක් වෙනවා. ආපු ගමන ගැන සන්තෝසයි. සමහර චරිත ගැන හිතෙන කොට තවත් උපරිමයෙන් කරන්න තිබුණානේ කියන සිතුවිල්ල මගේ හිතට එන වාර නම් අඩුවක් නෑ.
* අද වෙන කොට ඔබ රංගනයෙන් සමු අරගෙනද?
මේ දවස්වල මම අසනීපයෙන් පසුවන නිසා රංගනයෙන් ඈත් වෙලයි ඉන්නේ. මගේ උගුරේ ඇති වූ කටහඬ ආබාධයක් නිසා ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ගනිමිනුයි මම අද පසු වන්නේ. රඟපෑම කියන දෙයින් මම අයින් වෙලා නෑ. මැරෙන තුරු මට සුදුසු චරිත ලැබුණොත් මම රඟපානවා.
* ඔබත් නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමට සැලසුමක් තිබුණා නේද?
මගේ බිරිය ගුණවතී ගුණවර්ධන තමයි මේ නාට්‍යය පරිවර්තනය කළේ. ‘තුග්ලක්’ නමින් නම් කොට තිබූ මේ නාට්‍යය සඳහා නාට්‍යය අනු මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමේදී පිටපත අනුමත නොකර චරිතවල ඇඳුම් සහිතව නාට්‍යය පෙන්වන ලෙස අපට පවසා සිටියා. නාට්‍යය සඳහා අනුමැතිය නොමැතිව විශාල මුදලක් කොස්ටියුම් සඳහා වැය කරන්න සිදුවන නිසාත් ඉන් පසුව ඒ සඳහා අවසර නොලැබුණොත් වන පාඩුව අති විශාල නිසාත් එය අතහැර දැමුවා.
* ඔබේ බිරියත් ඔබ මෙන්ම විශිෂ්ට වේදිකා නිළියක් නේද?
ඇය මට හමුවෙන කොට රඟපෑමට යොමු වෙලා තිබුණේ නෑ. මාත් සමඟ නාට්‍ය රිහසල් කරනවා බලන්න ගිහින් මනරංජන වැඩ වර්ජන නාට්‍යය සඳහා හෙන්රි ජයසේන ආරාධනා කළා රඟපාන්න. එතනින් තමයි ඇය රඟපෑමට යොමු වුණේ. ජනේලය නාට්‍යයේ මිස් කරදාසිගේ චරිතය, හුණුවටයේ කතාවේ මහලු ස්ත්‍රී ආදී බොහොමයක් නිර්මාණ සඳහා ඇය දායක වුණා.
* ඔබේ පවුලේ තොරතුරු කොහොමද?
මට ඉන්නේ එකම දුවයි. ඇය ජයදාරි. පරිගණක ඉංජිනේරුවරියක් ලෙස කටයුතු කරනවා. මට මිණිබිරියෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නාගේ සුරතල් මධ්‍යයේ මගේ බිරිය ගුණවතීත්, මමත් අද සැඳෑ සමය ගත කරනවා.
* ඔබේ රංගන ජීවිතයට අත හිත දුන් අය සිහිපත් කළොත්?
හෙන්රි ජයසේන, මානෙල් ජයසේන යුවළ තමයි මගේ ජීවිතයේ රංගනයේ සෙවනැල්ල. අපේ පවුල් දෙක මොන තරම් රංගනය නිසා සමීප වුණාද කියනවා නම් අපි ෆැමිලි ෆෙ‍්‍රන්ඩ්ස්ලා. හෙන්රිලට අපි නැතුව බෑ. අපිට හෙන්රිල නැතුව බෑ. නළු කැල නමින් කණ්ඩායමක් පවා අපි හදාගෙන නාට්‍ය රඟ දැක්වීම, නාට්‍ය පෙන්වීම, නාට්‍ය සංවිධානය ආදී බොහොමයක් කටයුතුවලදී අපි මේ කණ්ඩායම හරහා එකට එකතුව වැඩ කළා.
 
sarasaviya

0 comments:

Post a Comment