----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඔබ වසර ගණනාවක් තිස්සේ ඉන්නේ ජන කරළියත් එක්ක.

Tuesday, June 26, 2012

මින් ඉදිරියට ටෙලි නාට්‍ය කරන්නේ නැහැ

ප්‍රතිභාපූර්ණ කලාකරුවකු වන පරාක්‍රම නිරිඇල්ල සිය නිර්මාණාත්මක ශ්‍රමය මෑත භාගයේ සිට කැප කරමින් ඉන්නේ ‘ජන කරළිය’ වෙනුවෙන්.
දැන් ඔබ වසර ගණනාවක් තිස්සේ ඉන්නේ ජන කරළියත් එක්ක.
ඇත්තටම අවුරුදු අටක් තිස්සේ ‘ජන කරළියත්’ සමඟයි මගේ ජීවිතේ ගෙවෙන්නේ. එක් පැත්තකින් විශාල තෘප්තියක් මට තියෙනවා. පසුගිය දශක තුන තුළ දැඩි ව්‍යසනයක අපේ රට තිබුණේ. ඒ තිබුණු ජනවාර්ගික අර්බුදයත් එක්ක එය සන්සිද්ධවන්න නාට්‍ය කලාව භාවිතා කරලා යමක් කරන්න වුවමනාවක් තිබුණා.
ඒ නිසා මෙය අත්හදා බැලීමක් විදිහටයි කළේ. ලංකාවේ සෑම තැනකින් ම සොයාගත් සිංහල දෙමළ අංකුර රංගන ශිල්පීන් එක්කර ඔවුන් පුහුණුකර නිර්මාණ කිරීමේ හැකියාව උදා වුණා. ඒ නිසා මේ ගොඩනැගුණු සුහදතාව මත ජාති භේදයකින් තොරව මේ වාර්ගික සුහදතාවයට අපිත් දායක වුණා කියලා මට හිතෙනවා.
හොඳයි මේ වාර්ගික සමගියට වගේ ම කලාවට ජන කරළිය ඔස්සේ බලපෑමක් කරන්න පුළුවන් වුණා කියලද ඔබ කියන්නේ.
පැහැදිලිවම ලොකු බලපෑමක් වෙලා තියෙනවා. අපි කණ්ඩායමක් විදිහට එකට එකතු වී මේ කළ නිර්මාණ විශේෂයෙන් උතුරු නැඟෙනහිර දෙමළ කලාකරුවන් අතර විශ්ව විද්‍යාල මට්ටමේත් ලොකු උනන්දුවක් ඇති කරන්න හැකියාව ලැබිලා තිබෙනවා.
උදාහරණයක් විදිහට ‘චරන්දාස්’ නාට්‍යය දෙමළෙන් පෙන්නුවාම බොහෝ දෙනෙක් කිව්වේ දෙමළ නාට්‍ය කලාවක් ගොඩනඟන්න පුළුවන් කියලයි. එවැනි දේ පවා ජන කරළිය නිසා විවර වුණා කියලයි මට හිතෙන්නේ.
මෙම ජංගම රඟහලත් සමඟ රට වටා යන ගමනේ ඔබට මෙය අභියෝගයක් වුණ අවස්ථාත් ඇති.
ඔව්. එවැනි අභියෝග ජයගත්තා කියලා මට හිතෙනවා. මුලදී මේ දෙමළ පිරිස සමඟ වැඩ කරද්දී බොහෝ අයට සැකයක් තිබුණා. නමුත් එවැනි දේවල් සිද්ධ වුණේ සමහර පිරිස් අතර තිබුණු කුහකකම නිසා. නමුත් යුද්ධය පැවැති සමයේ අපි අම්පාර, අනුරාධපුර, මොනරාගල වැනි පළාත්වල ගියා.
නමුත් කිසිම හිංසනයක් අපට සිදුවුණේ නැහැ. ලොකු පිළිගැනීමක් තිබුණා. ජනතාව එය පිළිඅරන් තිබුණා. ඒ වගේ ම මෙය ජංගම රඟහලක් නිසා මුල්කාලීනව යම් යම් පාරිසරික ගැටලු තිබුණා. වර්ෂාව නිසා ඒ බාධා එල්ල වුණත් දැන් අපි ඒ සියල්ල ජයගත්තා කියලා හිතෙනවා.
ජනකරළියෙන් සමුගෙන ගිය එච්.ඒ. පෙරේරා පිළිබඳ යමක් ඔබට කියන්න ඇති.
ඔහු ජීවිතයෙන් නික්මයාම ජනකරළියට පමණක් නෙමෙයි සමස්ත කලාවටම විශාල පාඩුවක්. එච්.ඒ. තමයි ගුරුවරු පුහුණුවීම්, රංගන ශිල්පී ක්‍රම පුහුණුවීම් කළේ. නමුත් දැන් ඔහු නැති වුණත් හැකි ආකාරයට අපි කරනවා. ඇත්තටම කිව්වොත් දෙන්නෙක් කරපු දේ එක්කෙනෙකුට කරන්න වෙලා තියෙනවා.
එහි ඔහුගෙන් ලැබුණු දායකත්වයත් එක්ක කෙටි නාට්‍ය විස්සක්, දිගු නාට්‍ය පහක් පමණ කරලා තියෙනවා. ඒ වාගේ ම දක්ෂ රංගන ශිල්පීන් බිහි කරන්න හැකියාව ලැබිලා තියෙනවා.
දැන් ඔබේ ජීවිතේ ජනකරළියත් සමඟ පමණද? ඔබ ළඟ සිටි සිනමා හා ටෙලි නිර්මාණකරුවාට මොකද වුණේ.
මා ළඟ එයට තිබෙන්නේ දීර්ඝ පිළිතුරක්. ඇත්තම කිව්වොත් අද පවතින ටෙලිනාට්‍ය සංස්කෘතිය පිළිබඳ පැහැදීමක් මම ළ¼ඟ නැහැ. ඒ නිසා මින් ඉදිරියට ටෙලිනාට්‍ය කරන්න මගේ සූදානමක් නැහැ. නමුත් ‘සිරිමැදුර’ වගේ සිනමා කෘති කළ මා අතින් ඉදිරියේ දී සිනමා නිර්මාණ නම් බිහිවේවි.
සිනමා නිර්මාණයක් කරන්න සූදානමින් මම මේ දිනවල වැඩකටයුතු කරගෙන යන බව මම කියන්න ඕන. අද මගේ එකම බලාපොරොත්තුව මේ ජන කරළිය ජංගම රඟහල ස්ථාපිත කරන එකයි.
නැවතත් ඔබ ජන කරළියත් රැගෙන හෝමාගමට ඇවිත් ඉන්නවා.
මේ මස 23 සිට ජූලි 13 දක්වා හෝමාගම නගරයේ ජන කරළිය ස්ථාපනය වෙලා තියෙනවා. ඇත්තටම මෙවර ජන කරළිය නාට්‍ය උළෙලේ ජන කරළියෙන් පරිබාහිර නාට්‍යකරුවන්, රැසකගේ නාට්‍ය රඟ දැක්වෙනවා.
ඒ වගේ ම ළමා නාට්‍ය, කෙටි නාට්‍ය සහ දිගු නාට්‍ය වැඩිම ප්‍රමාණයක් රඟ දක්වනු ලබන දීර්ඝතම නාට්‍ය උලෙළයි අපි රැගෙන එන්නේ. ඒ නිසා පාසල් ළමයින්ට වගේ ම සාමාන්‍ය ජනතාවට විවෘත ආරාධනාවක් මේ මොහොතේ මම කරන්න කැමැතියි.
හේතුව අපේ රටේ වර්ගවාදී යුද්ධය බිඳ දමමින් ජාති භේද ආගම් භේද නැති කලාකරුවන්ගෙන් නිර්මාණය වූ සජීවී නිර්මාණයක් විදිහටයි ජන කරළිය අපි දකින්නේ.

0 comments:

Post a Comment