----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සීට් බෙල්ටය ගලවා ලියෝ සිප ගැනීමට........

Saturday, June 16, 2012

ප්‍රේමයේ නොනැසෙන මතකය අමතකව

මයිකල් සුක්සි අධ්‍යක්ෂ - “ද වාව්”
1973 පෙබරවාරි 14 වැනිදා උපන් මයිකල් නිව් යෝර්ක් සහ කොනෙක්ටිකට් හි දිවි ගෙවූවෙකි.අන්තර්ජාතික සබඳතා සහ නීතිය පිළිබද උපාධියක් ඇති හෙතෙම අහම්බෙන් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි අයෙකි. 2009 දී තිරගත වූ ග්‍රේ ගාඩ්න්ස් ඔහුගේ පළමු සිනමාපටයයි. දෙවැන්න 'ද වාව්' ය. තෙවැන්න නම් කර ඇත්තේ රොසලින් නමිනි. එය ඉදිරියේ දී තිරගත වීමට නියමිතය. ගෝල්ඩන් ග්ලෝබ් සහ එමි සම්මානලාභියෙකු වන මයිකල් සිනමා තිර රචකයෙකු සහ නිෂ්පාදකයෙකු ද වේ.


ප්‍රේමය කෙතරම් තදින් හිතේ තැන්පත් වී ඇතිද? ඉසියුම් කල්පනාවන් තුළට කිදා බසිමින්, මතකය වර්ණවත් සිතුවමක් කරමින් යටි සිතේ තැන්පත් වී ඇතැයි සිතන ප්‍රේමය හදිසි අනතුරකින් වියැකී යා හැකි ද? බිරියට තම ස්වාමි පුරුෂයා අමතක වී යා හැකිද? ජීවිතයේ අර්ධයක් ගෙවුණු තැන මතකය නතරව තිබිය හැකි ද?
සිදු නොවිය හැකි එවන් හිඩැසක් පුරවා ගන්නට ළතෙත් ස්වාමි පුරුෂයෙකු කරන සටනකි මේ. සිනමාපටය 'ද වාව්' ය.තිරගත වූයේ 2012 පෙබරවාරියේ දී ය. ඇමෙරිකානු ඩොලර් 30 000 000 ක් වියදම් කර නිපැයූ මේ සිනමාපටය තිරගත වී පළමු සතිය ඇතුළත පමණක් උපයා දුන් ආදායම අමෙරිකානු ඩොලර් 41 202 458 කි. මේ වන තෙක් ඉපැයූ ආදායම අමෙරිකානු ඩොලර් 125 014 030 කි. එනම් වාර්තාගත ආදායමකි.
පෙගී ලෙස රඟන රැචෙල් මැක් ඇඩම්ස් සහ ලියෝ ලෙස රඟන චැනින්ග් ටැටම් ගේ රංගනය වැඩි ලකුණු ලබා දිය හැකි තරම් ය. විශේෂයෙන් ම අති සංවේදී දෙබස් සහිත ය.එකිනෙකාට අතිශය පෙම් කරන යුවලක් තම මෝටර් රථයෙන් ගමනක් යන්නේ මහත් හඬින් කෑ කොක්සන් නඟමින් සිනාසෙමිනි. ඈ ඉමහත් ප්‍රීතියකිනි. ඈ කෙහෙරැල්ලක් අවුල් කරමින් විටින් විට ඈ වැළඳ ගන්නා ඔහු වඩාත් ප්‍රීතිමත්ය.
හාත්පස හිම වැටෙන අතර මාර්ගය හිම කිරම මෙන් ඉලිප්පීගෙනය.වින්ඩ්ස්ක්‍රීනය මත පතිත වී ඇති හිම තට්ටු එදින හැමූ හිම පතනයේ බරපතලකම පවසයි.සීතලෙන් ගැහෙන ඇගේ දෙ අත්ල තම දෙතොලේ උණුසුමෙන් සුවපත් කරන ප්‍රීතිමත් ස්වාමියා මෝටර් රථය අතරමඟ නතර කරන්නේ ඇගේ සුසුවඳ වත රිසි සේ නරඹනු පිණිස ය. ඈ සිඹිනු පිණිස ය. එහෙත් ඔවුන්ගේ ඉරණම එක් නොසැලකිලිමත් ට්‍රක් රථ රියදුරෙකු විසින් වෙනස් කර දැමීමට කලින් ම තීරණයක් ගෙන ඇති සැටියකි.
'දඩාං...!'
හැප්පීමක අවිනිශ්චිත කැළැඹීම ප්‍රේක්ෂකයා අත්පත් කර ගන්නා අතර මන්දගාමී රූපයකින් ඈ වින්ඩ්ස්ක්‍රීනය කුඩු කරමින් මෝටර් රථයේ බොනට්ටු ව මත පතිත වීම පෙනේ.දැන් ප්‍රේක්ෂකයා මහත් කැළැඹීමකිනි. අවිනිශ්චිතභාවයකිනි.
සිනමාපටය හරියට ම පටන් ගන්නේ එතැනිනි.ආදර කතාවක් නරඹන රසිකයාට අනවශ්‍ය තිගැස්මක් තිළිණ කරන අධ්‍යක්ෂකවරයෙකු හා කෝපයෙන් පුපුරමිනි.කතාව කියන්නේ ලියෝ ය.
එනම් පෙගී ගේ ස්වාමි පුරුෂයා ය. එහෙත් එසේ ආත්ම කථනයක් මෙවන් සිනමාපටයකට අත්‍යවශ්‍යද යන්න යළිත් සලකා බැලිය යුතු ය.කතාවක් කීමට වඩා කතාව බැලීමට රසිකයන්ට ඉඩ දීමට අධ්‍යක්ෂවරයාට තිබුණි. ඔහු ගේ අනවශ්‍ය මැදිහත් වීම නුරුස්සනා සුළු ය.
මයිකල් සක්සි අධ්‍යක්ෂණය කළ මේ සිනමාපටයට නිෂ්පාදකවරු හත් දෙනෙකි.තිර රචකයන් තිදෙනෙකි. එනම් සිනමාපටය සෑදීමට අනවශ්‍ය තරම් සෙනඟක් හවුල් වී ඇත.
ඒ අනවශ්‍ය සෙනඟ විසින් අතොරක් දර්ශන මුළුමනින් ම විනාශ කර දමා ඇත.සමස්ථයක් ලෙස ජනප්‍රිය සංස්කෘතිය නියෝජනය කරන වර්ගයේ සිනමාපටයක් වූ 'ද වාව්' සාර්ථක වී ඇත.
පෙගී තමන්ගේ උසස් පාන්තික ජීවිතය අත් හැර දමා නගරයට එන්නේ සිය පියා සහ තම යෙහෙළියක අතර පවතින සබඳතාවක් හේතුවෙනි. ඉන් හට ගත් කළකිරීමෙන් ඕ සැඟවීමට නගරය තෝරා ගනී.කලින් තීරණය කර ගත් ජීවිත ගමනක් යාමට සිතා සිටි පේජ් ගේ සර්ව සම්පූර්ණ ජීවිතය ඈ විසින් ම කඩා බිඳ දමා අලුතින් සකසා ගනී.
ඒ අලුතින් සකසන ජීවිතයේ විසාල ම කැබැල්ල ලෙස ඇගේ පෙම්වතා ලියෝ පෙනී සිටී. එවක් පටන්ප්‍රේමය ඔවුන්ගේ ජීවිත හරහා හමා යයි.
මූර්ති ශිල්පිණියක ලෙස පෙගී කටයුතු කරන අතර ලියෝ සංගීත පටිගත කිරීමේ ස්ටුඩියෝවක හිමිකරුවෙකි.ඔවුන් විවාහ වන්නට තෝරා ගන්නා ස්ථානය ද සිනහා උපදවයි. ඒ කෞතුකාගාරයකි.
යහළු,යෙහෙළියන් සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටින අතර විවාහයේ චාරිත්‍ර විධි කරන්නා ලෙස පෙනී සිටින්නේ ද ඔවුන්ගේ යහළුවෙකි.ආරක්ෂක නිළධාරීන් එතැනට කඩා වදින්නේ මේ අතරතුර ය.මනාලියත්,මනාලයාත් මල් පොකුරු ඔසවාගෙන කෞතුකාගාරයෙන් එළියට දුවන අතර මහාමාර්ගයේ ස්වල්ප දුරක් ද ඔවුන් කුඩාවුන් මෙන් දිව යයි.
දැඩි නීති-රීති සහ සාම්ප්‍රදායික ජීවන රටාවකට කොටු වී සිටි පෙගී නිදහස ලබන්නේ ලියෝ තුළිනි.එහෙත් සියල්ල කණපිට හැරෙන්නේ රිය අනතුරත් සමඟ ය.
එවිටත් ඈ තම සීට් බෙල්ටය ගලවා ලියෝ සිප ගැනීමට ඔහු වෙතට නැඹුරු වෙනවා පමණි.ප්‍රේමයෙන් ඔවුනොවුන් කෙරෙහි ආශක්තව සිටි යුවළ අන්ත දෙකකට තල්ලු කර දමන්නේ ඉන් පසුව ය.
ඈ සිහි ලබන්නේ මතකයේ අවුරුදු ගණනාවක හිඩැසක් සමඟ ය.පෙර ජීවිතය මිසක වර්තමානය ඇයට මතක නැත.ඇගේ ප්‍රේමය ඇයට මතක නැත. ඇගේ ස්වාමි පුරුෂයාව ඇයට මතක නැත.
ඇගේ අලුත් ජීවිතය ගැන අංශුවකුදු නොදන්නා පෙගී විසිරී ගිය මතකය යළි එකතු කර ගැනීමට තැත් කරන්නේ වැරදි ක්‍රමයකට ය. ලියෝ මහත් අර්බුදයකය.ස්වකීය බිරිය තමාව නාදුනන බව කියන අතර සාමාන්‍ය ජීවිතයේ බොහෝ දෑ නුහුරු ලෙස දිවි ගෙවයි.
ඔහු තම බිරියව දිනා ගැනීමේ අසාමාන්‍ය අරගලයක නිරත වෙයි.ආදරය අමතක වීමකින් කෙලවර නොවන බව තදින් ම විස්වාස කරයි.
'ද වාව්' මේ වසරේ පැවත්වෙන සම්මාන උළෙල ද්විත්වයක ම විවිධ අංශ යටතේ නිර්දේශ වී ඇත.එම්.ටී.වී සම්මාන උළෙලේ හොඳම නළුවා,හොඳම සිනමාපටය සහ හොඳම සිප ගැනීම වෙනුවෙන් නිර්දේශිතය.
ටීන් චොයිස් සම්මාන උළෙලේ හොඳම සිනමාපටය,හොඳම නළුවා,හොඳම නිළිය යන අංශ යටතේද නිර්දේශ වී ඇත. 'ද වාව්' නිර්මිත වූයේ සත්යේ සිදුවීමක් ආශ්‍රයෙනි.කිම් සහ ක්‍රීකිට් කාපෙන්ටර් අතර ඇති වූ සිදුවීමක් ඇසුරෙනි.
මේ නමින්ම ලියූ පොත ඒ සඳහා මූලාශ්‍ර වී ඇත.ඔවුන් දෙදෙනාගේ විවාහයෙන් මාස 10 කට පසු සිදුවූ මෝටර් රථ අනතුරකින් ක්‍රීකිට් ගේ කෙටි කාලීන මතකය විනාශ වී ඇත.
අනතුරින් හට ගත් දැඩි කම්පනයත්,මොළයේ සෛලවලට වූ හානියත් නිසා අනතුරින් සුව වූ පසු ඈ තම ස්වාමියාව නාදුනන ලෙස හැසිරී ඇත.එහෙත් කිම් තුළ පැවති දැඩි ආදරය යළි ඔවුන් ප්‍රීතිමත් පවුලක් කිරීමට සමත් වී ඇත.එහෙත් කිසි දිනෙක ඇයට මතකය යළිත් ලැබී නැත. සත්‍ය කතාවක් ඇසුරින් තැනුණු 'ද වාව්' වඩා වැදගත් වන්නේ එහෙයිනි.
මෙවන් දේ සිදු වී ඇත.යළි යළිත් සිදුවනු ඇත.ප්‍රේමය මතකය සමඟ කරන ගණුදෙණු වියැකී ගිය පසුත් යමෙකුට එක සේ පෙම් කළ හැකි නම් මතකය තව දුරටත් ඔවුනොවුන්ට හිරිහැරයක් නොවනු ඇත.

0 comments:

Post a Comment