----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

වවුලකුගෙන් චතුරිකාට ඇබැද්දියක්

Sunday, June 10, 2012

වවුලකුගෙන් චතුරිකාට ඇබැද්දියක්

නියඳිවිලට එළිය ගෙනා සේපාලිකා සුවඳ මනා

සිත අනන්තයක දුර රැගෙන ගිහින් නෙතු පියන් පුරා නුඹෙ රුවම ඇවිත් මුදු සිහිල් පවන් නුඹෙ සුවඳ ගෙනත් නුඹ මටත් හොරෙන් මගේ හිතම අරන් සේපාලිකා, සේපාලිකා සේපාලිකා . . .

ඇය කවුරුන් විය හැකිද
සැබැවින්ම ඈ පිවිතුරු ආදරයේ සංකේතය වන්නීය.
අහිංසත්වය මුසු වූ දෑසින් සිනාසෙන විට සේපාළිකාගේ උවන මෝදු වූ සඳමඬලක් වැනිය. සේපාලිකා ගැන මෙවන් කතා මා අසා තිබුණි.
මේවා සැබැවින්ම සේපාලිකා දැක ගැනීමට මා උනන්දු කළේය.
ඇය කොහෙ සිටින්නීද?
සේපාලිකා ඉන්නේ නියඳිවිල ඉස්කෝලේ.
මම මඟ දුර ගෙවා ඈ සොයා යමි. වියළි සුළං කෝඩයකට වත සිඹින්නට දී ඈ බර කල්පනාවකය.
ඇගේ බර කල්පනාව බිඳ දමන්න වෑයම් කළෙමි. නමුදු ඈ නැවතත් ඇගේ කටයුත්තේය.
සේපාලිකා වටා ළමන් කිහිප දෙනෙකි. ඇය ඔවුන්ට නර්ථනය උගන්වමින් සිටියාය.
ඇගේ අවධානය දෑතෙහ ිවූ තාලමිපටත් ශිෂ්‍යාවන්ටත් පමණි. එහෙයින් මගේ ඇමතුම පළක් නැති බව මට දැණින.
සේපාලිකාගේ නැටුම් පාඩම අවසන් වන තෙක් මම හුඟ වෙලාක් බලා උනිමි.
අදට මේ ටික ඇති. හෙට ආයෙත් මං උගන්නපු ඒවා කරලා පෙන්වන්න ඕනේ . . .
සේපාලිකා හරිම කරුණාවන්ත ගුරුවරියකි. ඇය ළමුන්ට ආමන්ත්‍රණය කරන්නේ තමන්ගේම දරුවකුට මෙන් වග මගේ සිතිවිලි අතරට එයි.
ළමුන් පිරිස අප්‍රමාණ ගෞරවයකින් යුතුව සේපාලිකාට වැන්ෙඳ්ය. වෙල් යාය මැදින් ඔවුන් නොපෙනී යනතුරුම සේපාලිකා ඇසිපිය නොහොලා බලා සිටියාය.
සේපාලිකා. . .
ඇය මා සිටින දෙසට ඇගේ පුංචි දෙපා පියවර තැබුවාය.
මටත් නැටුම් ටිකක් උගන්වන්න බැරිද?
පුළුවන්.
දැන් ළමුන් ඉදිරියේ නොවූ දඟකාරකමක් ඈ වෙළා ගෙනය.
හදිසිියේම ඇගේ නෙත පාසලේ පිවිසුම අසල මඳ වේලාවක් නතර වී තිබිණි. දැන් සේපාලිකා ආයෙත් සන්සුන්ය.
ඇයි?
ලාලිත්‍ය තවම ආවෙ නැහැ.
සේපාලිකාට පුංචි දුකක් දැනී ඇති සැටියෙකි.
කවුද ලාලිත්‍ය කියන්නේ?
මට පැනයකි.
එයා තමයි අපේ ඉස්කෝලෙට ආව අලුත් සංගීත ගුරුවරයා.
ඉතිං ඔයා එයා එනකම් ඉන්නේ මියුසික් ඉගෙන ගන්නද?
එවර සේපාලිකාගේ මුවෙහි ඇඳුණේ මහ අමුතු ලැජ්ජාශීලී හිනාවකි. ඒ හිනාව තුළ මොනවද හැංගී තිබෙන බව මට වැටහිණි.
සේපාලිකා . . . මට පිටුපසින් අවදි වූයේ පිරිමි කටහඬකි.
සේපාලිකා සෙවූ ඔහු රහසේම ඇය සමීපයට පැමිණ තිබේ.
දැන් සේපාලිකාට ඉපිලී ගිය සන්තෝෂයකි.
ලාලිත්‍ය අවිහිංසක ගති ගුණයන්ගෙන් හෙබි නිවුණු තරුණයකු යැයි මට දැනුණි.
ඔයා එතකොට සේපාලිකාගේ . . .
මම අසන්නට හැදූ පැනය ඉවෙන් මෙන් ලාලිත්‍ය හඳුනා ගත්තේය.
අපි දෙන්න හොඳ යාළුවෝ. අපේ ගමේ අය කැලෑ පත්තර ගහනවා අපේ මේ හිතවත්කම වැරැදියට තේරුම් අරගෙන.
අන්න පහන් මේ පැත්තට එනවා. මං නම් එච්චර කැමැති නැහැ මිනිහට.
සේපාලිකා පහන්ට මුහුණ නොදී ලාලිත්‍යට මුව වූයේ යමක් සඟවමිනි. පහන් ගමේ නිළමගේ පුතා. එයා තමයි මං ගමට ආපුවම ගොඩක් උදවු කළේ.
ලාලිත්‍ය මා සමඟ කතාව ඇරැඹුවේය. හිටි හැටියේ අප අතරට පැමිණි පහන් මා සමඟ සිනසුනා පමණි. ඔහු වැඩි කතාබහක් නැත.
සේපාලිකා, ලාලිත්‍ය, පහන් රෙඩිද? අපි රිහසල් කරපු විදිහට සීන් එක ගනිමු.
අපි සිටින තැනට පැමිණි පස්වැනියා ජනක චමින්ද අත්තනායක තිදෙනාගේම අවධානය ඔහු වෙතට යොමුකර ගත්තේය. ජනක ‘සේපාලිකා’ හි අධ්‍යක්ෂවරයායි. මම මෙතෙක් පැමිණියේ ඔබ සතියේ දිනවල රාත්‍රී 9.30 ස්වර්ණවාහිනියෙන් දකින සේපාලිකා සොයාය. නියඳිවිල ගම්මානය තරු වැස්සකින් නැහැ වූ මේ දර්ශන තලය පාරිසරික අතින් ද අති සුන්දර වූ එකකි. එපමණක්ද නොව මෙම දර්ශන තලයේ ගෙවෙන සෑම මොහොතක්ම සුන්දරය. ප්‍රවීණයන් මෙන්ම නවකයන් ද එකට එක් වූ මෙතැන රසයෙන් පිරුණු සාදයක් වැනිය. මෙතැන සිටි සියල්ලෝම ඉතා නිදහසේ තම තමන්ගේ කටයුතුවලට ගියෝය.
එක් වරම දර්ශන තලයේ ඈතින් ඇසුණේ කාන්තාවකගේ විලාපයකි. පෞද්ගලික තොරතුරු කිහිපයක් කතා කරමින් උන් ගයානුත් මමත් එකවරම තිගැස්සී දිව ගියේ දර්ශන තලයේ ප්‍රතිවිරුද්ධ කෙළවරටය.
චතුරිකා උන්නේ තැති ගැන්මෙනි. පැරැණි වලව්වේ ඉහළ බාල්කයේ එල්ලී උන් මාවවුලෙකු චතුරිකාගේ සිරුරේ නොගැටී ගොස් තිබුණේ අනූනවයෙනි. අනපේක්ෂිත සතෙකුගේ පැමිණීම චතුරිකා බියට පත් කොට තිබිණ.
චතුරිකා යථා තත්ත්වයට පත් වූයේ බොහෝ වේලාවකට පසුවය.
අම්මෝ මං හිතුවේ හොල්මනක් කියලා. දැන් තමයි ඇඟට පණ ආවේ. චතුරිකා කීවේ සිහින් දාඩිය අතින් පිස දමමිනි.
හොල්මන් කොහෙද මෙහෙ ඔක්කොම අතනනේ.
ජනක කීවේ තාක්ෂණික කණ්ඩායමට අත දිගු කරමිනි.
දර්ශන තලය එන්න එන්නම රසවත්ය. ඒ අතර වාරයේ ගයාන් වික්‍රමතිලක කලා අධ්‍යක්ෂවරයා ඔසවාගෙන දිව ගියේ අසල තිබූ වැව වෙතටය. එක වරම ඇසුණේ ජබොස් යන හඬත් සිනා හඬත් පමණි. වතුරට බය කලා අධ්‍යක්ෂවරයා දෙදණක් පමණ ගැඹුරු වතුරේ දණගාමින් ගොඩට පැමිණෙන අයරු සියල්ලෝම බලා උන්නේ සිනාමුසු මුහුණෙනි.
පැය ගණනක් ගෙවී ගොසිනි. නමුදු ගෙවෙන කාලය නෙදැණෙනා තරමට සුවදායක මෙම දර්ශන තලයෙන් දැන් මා නික්ම යා යුතුය. අද රෑ 9.30 ට මේ පිරිවර එක් වී නෙලූ මල ‘සේපාලිකා’ ඔබේ ආලින්දය සුවඳ කරනු නියතය.
සේපාලිකා - චතුරිකා පීරිස්
ලාලිත්‍ය - සුරාජ් මාප්
පහන් – ගයාන් වික්‍රමතිලක
සේපාලිකා හැඩ කරන අනෙක් නළු නිළි පිරිවර:
සුමින්ද සිරිසේන, අනුලා කරුණාතිලක, ලයනල් වික්‍රම, සෝමසිරි කොළඹගේ, ආනන්ද වික්‍රමගේ, ගීතා කාන්ති ජයකොඩි, කුමාරි මුණසිංහ, මහේන්ද්‍ර වීරරත්න, නිරෝෂා තලගල, ලක්ෂ්මන් අමරසේකර, කුමුදුනී අධිකාරි, කාවිංග පෙරේරා, මාධනී මල්වත්ත, මනෝහාරි විමලතුංග, නුවංගි ලියනගේ, ශානිකා බණ්ඩාර රශ්මින් සමරනායක

නිෂ්පාදන කණ්ඩායම:
අධ්‍යක්ෂණය සහ කැමරාකරණය – ජනක චමින්ද අත්තනායක
කලා අධ්‍යක්ෂණය – අශෝක චාමින්ද වාස්
සහය අධ්‍යක්ෂණය – ඉන්දික ධර්මතිලක
අංග රචනය – විශ්වනාත් විජේසූරිය
සංස්කරණය – අසුන් මල්වත්ත
සංගීතය – ප්‍රියන්ත නාවලගේ
තිර රචනය - සනත් සමරනායක
විධායක නිෂ්පාදනය - ස්වර්ණවාහිනී ආයතනය වෙනුවෙන් බුද්ධික කුලසේකර
නිෂ්පාදනය රන්සිළු වෙනුවෙන් රංජිත් ප්‍රේමලාල්. කුමාරසිරි පතිරණගේ පිවිතුරු හද ළඟ නවකතාව ඇසුරෙනි.

0 comments:

Post a Comment