----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

රහස් උදවිය වේදිකාවට

Sunday, June 17, 2012

අද දේශපාලනයේ ඉන්ද්‍රජාලිය ගති පෙන්වනවා
පියල් කාරියවසම්

මේ ශෛලියට හැඩගැහෙන්න අමාරු වුණා
කෞශල්‍යා ප්‍රනාන්දු

සමාජ ගැටලු සංකීර්ණ ලෙස කතා කරනවා
අනුෂියා සුබසිංහ

අප දුටු නාට්‍යවලට වඩා තරමක්‌ වෙනස්‌
ගිහාන් ප්‍රනාන්දු

අලුත් නාට්‍යයක්‌.. පියල් කාරියවසම් අවුරුදු පහකට පමණ පසුව වේදිකාවට ඇවිත්... ඒ රහස්‌ උදවිය සමග පියල් මීට කලින් "කොන්තරාත්තුව" කළා. ඉන් පසු "මාස්‌ටර් බිල්ඩර්" ඒ දෙකම පරිවර්තන. භීෂණය පදනම් කරගෙන ඔහු "මට එරෙහිව මම" වේදිකාවට ගෙන ආවා. එය ස්‌වතන්ත්‍රයක්‌. දැන් පියල් ආයෙත් ස්‌වතන්ත්‍ර නාට්‍යයක්‌ කරනවා. පියල් රඟහල දොරකොඩට පිවිසුණේ රහස්‌ උදවිය සමගින්.

රහස්‌ උදවිය කෙබඳු කතාවක්‌ද?

මෑතකාලීන නාගරික මධ්‍යම පාන්තික ජීවිතවල හැලහැප්පීම් ගැනයි කියන්නේ. ප්‍රධාන ලෙසම කාන්තාවන් තිදෙනෙක්‌ ඉන්නවා. ඔවුන්ගේ ජීවිත සහ එක්‌ පිරිමි චරිතයක්‌ වටා මේ නාට්‍යයේ ගැටුම ඇරඹෙනවා. මේක සමාජ දේශපාලන යථාර්ථය විවරණය කරන්න දරන උත්සාහයක්‌. චරිත හතරයි තියෙන්නේ. සංවාද වගේම සාම්ප්‍රදායික ගායනයන් පාවිච්චි කරනවා. ජනකතා, ජනකවි, දින සටහන්, හැන්සාඩ් වාර්තා උපයෝගී කර ගන්නවා.

ඒ කියන්නේ මේ නාට්‍යයේ ආකෘතිය වෙනස්‌?

ඔව්. කතාකරන ගමන්ම සමාජ දේශපාලනික යථාර්ථය හා රංගනය තුළින් නාටකීය සෞන්දර්යවේදයත් යොදා ගන්නවා. ඒ සඳහා එක්‌තරා ආකාරයක ඉන්ද්‍රජාලිය ස්‌වභාවයක්‌, කාලය හා අවකාශය ඉක්‌මවා යන ඉන්ද්‍රජාලික ස්‌වභාවයක්‌ කාලය හා අවකාශය ඉක්‌මවා යන ඉන්ද්‍රජාලික ස්‌වභාවයන් ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා.

මොකද්ද මෙහි තිබෙන අමුත්ත?

වේදිකාවේ විවිධ හඬවල් ඒ කියන්නේ කෙනෙක්‌ගේ ඇස්‌ දෙක ගැන විස්‌තර කරද්දී තවත් කෙනෙක්‌ ඒ ඇස්‌ දෙක තුළ හැම්ලට්‌, මැක්‌බත් වැනි චරිත දකිනවා. අද දවසේ දේශපාලන යථාර්ථය ඉස්‌මතු කරන්නයි එය යොදා ගන්නේ.

මේ නාට්‍යය තුළින් දේශපාලනික පණිවිඩයක්‌ද ගෙන එන්නේ?

ඔව්. අපේ රටේ ගතවන මොහොත මේ තුළින් සාකච්ඡා කරනවා.

අපේ රටේ දේශපාලනයත් ඉන්ද්‍රජාලිකයි කියාද ඔබ කියන්නේ?

ඔව්. අද දවසේ දේශපාලනික තත්ත්වය ඉන්ද්‍රජාලිකයි. සතුරා මිතුරා වෙන්කර ගන්න බැරි තත්ත්වයක්‌ පවතින්නේ. අපේම ඝාතකයා එක්‌ක පාවා දෙන්නා එක්‌ක එකට ජීවත්වෙන්න සිද්ධවෙලා තියෙනවා. මේ කරුණ මම නාට්‍යයෙන් සාකච්ඡා කරන්න උත්සාහ කරනවා.

මේ ඔබේ නාට්‍යයක්‌ එන්නේ අවුරුදු පහකට පසුව. ඇයි මේ කාල පරතරය?

නවකතාව, කෙටිකතාව තුළින් මගේ ප්‍රකාශන මාධ්‍යය කරනවා. මූල්‍යමය ලෙස දුෂ්කරයි නාට්‍යයක්‌ කරන්න. පුහුණු කරන්න ශාලා නැහැ. උපකරණ තබාගන්න තැනක්‌ නැහැ. නළු නිළියෝ වෘත්තීයමය ලෙස ටෙලිනාට්‍යවල රඟපානවා. ඔවුනුත් ජීවත්විය යුතුයි. ඒ නිසා නිෂ්පාදනයක්‌ කරන එක මඟහැරුණා.

දැන් මේ තත්ත්වය මඟහැරිලද?

නෑ. ඒ තත්ත්වය එහෙමම තියෙද්දී නොකර බැරි නිසායි නාට්‍යයක්‌ කරන්නේ.

නළුනිළියන් රඳවා ගැනීම අභියෝගයක්‌?

ඔව්. විශාල අභියෝගයක්‌. රෑ නවයේ ඉඳලා දොළහ වෙනතුරු අපි පුහුණුවීම් කරනවා. ඒ අයත් ජීවත් විය යුතුයි නේ. එනිසා අපිට දොස්‌ කියන්න බැහැ. නළුනිළියන් රඳවා ගැනීම වගේම නාට්‍යයක්‌ පවත්වාගෙන යැමත් හරිම වෙහෙසකරයි. මේ බාධක සමග තමයි අපි මේ නාට්‍යය කරන්නේ. මේක වේදනාකාරී අත්දැකීමක්‌.

මම මේ පියල් සමග කරන තුන්වැනි නාට්‍යය. ඉතාමත් කැමැත්තෙන් වැඩ කරන අධ්‍යක්‍ෂවරයෙක්‌. සමාජයේ ඇති ගැටලු, දේශපාලනික වටපිටාව මත තමයි පියල්ගේ නාට්‍ය පිහිටන්නේ. නාට්‍යකරුවන් ලෙස දේශපාලනය, සමාජ අඩුලුහුඬුකම් ගැන අපට කතාකරන්න බැහැ. ඉතින් එවන් කරුණු කතාකරන අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ එවැනි චරිත රඟපාන්න ලැබීම ලොකු දෙයක්‌. මේ නාට්‍යය මට හරිම වැදගත්.

පියල්ගේ නාට්‍යයක රඟපාන්න මම හුඟකලක ඉඳලා කැමැත්තකින් හිටියේ. මේ මම ඔහුගේ නාට්‍යයක රඟන පළමු අවස්‌ථාව. මීට කලින් පියල් කළ නාට්‍යවලට වඩා මේ නාට්‍යයේ රචනය, නිෂ්පාදනය අතින් ඉදිරියෙන් සිටිනවා. මේ ශෛලියට හැඩගැහෙන්න මට අපහසු වුණා. ඒත් දැන් කරගෙන යනවා. අපේ නාට්‍ය කලාවට මේ ශෛලියෙන් වෙනසක්‌ වෙයි කියා හිතනවා. අපි රඟපාන්නේ අහවල් චරිතයයි කියලා කියන්න බැහැ. එය එක එක්‌කෙනා දකින හැටි වෙනස්‌.

මේ නාට්‍යයෙන් සංකීර්ණ දේවල් ටිකක්‌ ගවේෂණය කරනවා. සමාජයේ ගැටලු සංකීර්ණ ලෙස කතා කරනවා. අපේ සමාජ දේශපාලනික අදහස්‌ ප්‍රකාශ කරන්න තියෙන හොඳ මාධ්‍යයක්‌ තමයි නාට්‍ය. නළු නිළියන් ලෙස අපි දේශපාලනය කරන්නේ කෙළින්ම නොවේ. අපේ අදහස්‌ එන්නේ වේදිකාව තුළින්. මම මේ සමාජ දේශපාලනික තත්ත්වය ගැන දරන මතය හෘදයසාක්‍ෂියක්‌ ඇතිව මේ නාට්‍ය තුළින් ඉදිරිපත් කරන්න පුළුවන්. නිද්‍රdශීලී සමාජයක්‌ සමග සිටිද්දී අපි යන්ත්‍ර බවට පත්වෙලා එකම ස්‌ත්‍රියකගේ කාල වකවානු තුනක්‌ ස්‌ත්‍රී චරිත තුනකින් ඉදිරිපත් කරනවා කියලත් කියන්න පුළුවන්.

මේ මොහොතේ අපේ රටේ තිබෙන දේශපාලනය, ජනවාර්ගික ප්‍රශ්න ගැන ස්‌වීය රචනා නොවන තරම්. පවතින ක්‍රමය යටතේ ස්‌වීය රචනාවක්‌ ලියුවොත් වාරණය වේවි කියන බිය තියෙනවා. ඉතින් "රහස්‌ උදවිය" විවිධ චරිත නිරූපණය කරන නාට්‍යයකට වඩා මේ මොහොතේ ඇති සමාජ අර්බුද ගැනයි කතා කරන්නේ. වෙනත් නාට්‍යවල වගේ සියුම් චරිත මතුකරනවාට වඩා නාට්‍යමය ස්‌වරූපයෙන් ප්‍රකාශනයන් ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක අපිට අභියෝගයක්‌. මෑත කාලයේ කළ නාට්‍යවලට වඩා තරමක්‌ වෙනස්‌ නාට්‍යයක්‌... පහසු නැහැ.


අජිත් අලහකෝන්

Divayina

0 comments:

Post a Comment