----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

කුවේණිට මෙන් මටත් අසාධාරණයක් සිදු වුණා

Friday, June 15, 2012

දුලානි අනුරාධා

‘සරසවිය’ට විශේෂයෙන් හෙළි කරයි

පෙම්වතෙක් ඉන්නවා. දැනට ඒ ඇති










කලාව, ඉතිහාසයට වඩා දාර්ශනික යැයි ඇරිස්ටෝටල් පඬිවරයා පවසා තිබේ. ඉතිහාසගත හුදු කතා ප්‍රවෘත්තියක්, මහා කලා කෘතියක් බවට පත් වන්නේ ඒ න්‍යායට අනුවය. නමුදු එවන් විශ්මිත පරිවර්තනයක් සිදු කළ හැක්කේ පරිණත කලාකරුවකුට පමණකි.
ලක් ඉතිහාසයේ වඩාත්ම අසාධාරණයට, අවමානයට පාත්‍ර වූ කුවේණිය, වත්මන් ලාංකේය ජන සමාජය වෙතට සුගත් සමරකෝන් කැටුව එන්නේ ගෞරවාන්විත හා ආදරණීය චරිතයක් විලසිනි. මිනීමස් බුදින යකින්නියක සේ මහා වංශයේ සඳහන් කුවේණිය සැබෑ මිනිස් දියණියක බව ශපථ කරමින් රිදී තිරය මත දිග හැරෙන ‘විජය – කුවේණි’ කතා පුවත ලාංකේය සිනමා වංශයට එක් කරන පොහොසත්කම සුවිසල්ය.
සැබැවින්ම කුවේණිය, අපේ ඉතිහාසයේ කිසි දිනෙක අප හැර නොගිය, හැර නොයන සෙවනැල්ලකැයි මට සිතේ . . .
එහෙම නේද?
අතීත කුවේණිය ගැන මම වර්තමාන කුවේණියගෙන් එසේ විමසමි. ඈ මුවට නැෙඟන්නේ මන්දස්මිතයකි. එය මනස්කාන්තය. අතිශයින්ම සොඳුරුය.
එක ඇත්ත. කුවේණිය අපේ හදවත්වල සදා ජීවමාන චරිතයක්. මම හිතන්නේ මේ ලක් දෙරණ පවතින තුරු ඇගේ මතකයත් යුගයෙන් යුගයට ජීවමාන වේවි.
වත්මන් කුවේණිය, අතීත කුවේණිය පිළිබඳ එසේ පිළිණ දෙන්නේ කිසියම් අභිමානයකින් හා ගෞරාන්විත හැඟීමකින් යැයි මට හැඟේ.
දුලානි අනුරාධා . . .
වත්මන් කුවේණිය ලෙසින් අතීත කුවේණියට මනා සාධාරණයක් ඉටු කළ සොඳුරු රුවැත්තිය. එපමණක් නොව සිය ප්‍රථම සිනමා රංගනයෙන් ‘හොඳම නිළිය’ ලෙස ‘සරසවිය’ සම්මානයෙන් පුද ලද පුණ්‍යවන්තිය.
ඉතින් දුලානි, මේ කුවේණි චරිතය රඟ දක්වන්නට ඔයාට අවස්ථාව උදා වුණේ?
චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුගත් සමරකෝන් මහතා තිර පිටපත රැගෙන මා හමු වෙන්නට ආවා. මේක අපි කවුරුත් දන්න කතාවක්. මහාවංශය හරහා අපේ හදවත්වලට කිඳා බැස තිබුණේ කුවේණිය මිනීමස් කන යක්ෂණියක් විදිහටයි. නමුත් මේ තිර රචනයෙන් කුවේණියට ලොකු සාධාරණයක් ඉටු වී තිබුණා. ඒ නිසා මම මේ චරිතය රඟපාන්නට නොපැකිලව ඉදිරිපත් වුණා.
මේ රංගනය ඔබට අභියෝගයක් නොවුණා වෙන්න බැහැ?
පැහැදිලිවම, ඒක අභියෝගයක් වුණා. කුවේණි කියන්නේ මේ රටේ හැමෝම දන්න, අහලා තිබෙන චරිතයක්. ඈ ගැන මම අහලා තිබුණ දේවලුත් එක්ක අධ්‍යක්ෂවරයාගේ මඟ පෙන්වීම යටතේ මේ චරිතය නිරූපණය කළා. තිර පිටපතෙන් වගේම ඇඳුම් පැළඳුම් හා වේෂ නිරූපණයෙනුත් කුවේණිය උපද්දන්න ලොකු දායකත්වයක් ලැබුණා.
මෙවැනි චරිතයක් සාර්ථක කර ගන්නට විශාල කැප කිරීමක් කරන්නට වෙනවා?
ඔබ කිව්වා වගේ හරිම කැපවීමකින් මේ චරිතය මම කළේ. දුෂ්කරතා ගොඩකට මුහුණ දුන්නා. මට විශාල කොණ්ඩයක් පළඳින්න වුණා. ඒක හිස මත දරාගෙන ඉන්න අපහසුයි. ඒ වගේම රජ ඇඳුම්. දුවන්න, පනින්න වගේම කඩු සටන් කරන්නත් සිදු වුණානේ. ඒ දේවල්වලට ලොකු වෙහෙසක් දරන්න වුණත් චිත්‍රපටය නරඹන කොට සිතට දැනුණේ සතුටක්.
ඒ සතුට ඔබේ හැකියාව වෙනුවෙන්ම ද?
මෙවැනි දැවැන්ත නිර්මාණයකට දායක වෙන්න ලැබීමම සතුටක්. මගේ රංගනය සම්බන්ධයෙන් ගත්තොත් සමහර තැන්වල මීට වඩා හොඳට රඟපාන්න පුළුවන්කම තිබුණා නේද කියලා සිතුණු අවස්ථා තිබුණා.
ඔබ කඩු හරඹයෙත් මනා දක්ෂතාවක් පිළිබිඹු කළා?
කඩු හරඹය අලුතෙන් ඉගෙන ගත්තා මේ චරිතය වෙනුවෙන්ම. විජය කුමාරයාගේ මුහුණ ළඟින්ම කඩු පහර කීපයක් එල්ල කරන්න තිබුණා. මට ලොකු බයක් දැනුණා රොජර් අයියාගේ මුහුණ තුවාල වෙයිදෝ කියලත්. ඒ අවදානමත් හිතේ දරාගෙනයි මම කඩු සටන් කළේ. නමුත් ඒ දර්ශන පෙළ සාර්ථකව රූගත කෙරුණා.
මේ චිත්‍රපටය පුරාම ඔබ ලොකු ජවයක්, ශක්තියක් මුදා හරිනවා?
මම නර්තනය හදාරපු කෙනෙක් නිසා ශරීරිය හැසිරවීම, සමබරතාව ගැන ගැටලුවක් තිබුණේ නැහැ. හැබැයි මට කඩුවක් එක්ක නටන්න තිබුණනේ. ඒක නම් හරිම අසීරු කාර්යයක්.
ලාටා රටෙන් ලක් බිමට එන විජය කුමාරයාට අපේ රට, ජාතිය පාවා දුන් හැතිරියක් විදිහට ඇතැමුන් කුවේණිය හඳුන්වනවා. මේ චිත්‍රපටය පුරාම ඇයට විරුද්ධවාදීන් එල්ල කරන මුඛ්‍ය චෝදනාව එයයි.
කුවේණි තමන්ගේම රටේ කොන් වෙලා, හුදකලා වෙලා හිටියේ. ඇයට තමන්ගේම සනුහරේ අයගෙන් එල්ල වූ අපවාද, චෝදනා එමටයි. විජය කුමාරයා එන තෙක් ඇයට පිළිසරණක්, හව්හරනක් තිබුණේ නැහැ.
ඉතින් පිරිමියකුගේ ආදරයට, සෙනෙහසට ඈ කැමැති වෙනවා. අද වුණත් තරුණියක් විවාහ වෙන්නේ පිරිමියකුගේ ආදරය, සෙනෙහස අවශ්‍ය නිසානේ. තමන්ගේම රටේ කොන් වෙලා හිටපු කුවේණියටත් එදා ඒ මානුෂීය අවශ්‍යතාවය දැනෙන්නට ඇති. අපි කුවේණි දිහා බලන්න ඕනෑ ඒ සාධාරණ දෘෂ්ඨියෙන්.
කොහොම වුණත් ඒ ආදර සබඳකම් පලුදු වී, පවුල් සංස්ථා බිඳ වැටී අවසානයේ ඔවුන් වෙන් වෙනවා. කුවේණිය, විජය සිය මාළිගාවෙන් පන්නා දමන්නේ ඇයට දරුණු ලෙස පහර දෙමින්. අද සමාජයේත් මෙවැනි දේ බහුලව සිදු වෙනවානේ. මෙවැනි අත්දැකීමකට ඔබ මුහුණ පෑවොත්?
කවුරු හරි මාව එළවන්නේ එපා නිසානේ. එහෙම එළෙව්වොත් කුවේණි වගේම මමත් යන්න යයි. ආයෙත් එතැන රැඳිලා ඉන්න එකේ තේරුමක් නැහැනේ. හැබැයි මම නම් කාලයක් දෙයි ඔහුට මාව තේරුම් ගන්න. විජය වෙනුවෙන් ඈ සියලු දේ කැප කළා. කිසිම ඥාතියෙක්, සහෝදරයෙක් ඇයට සිටියේ නැහැ. විජය ඈ එලවා දැමූ අවස්ථාවේ කුවේණිය අන්ත අසරණභාවයට පත් වෙනවා.
අතීත කුවේණිය වෙනුවෙන් උපන් ශෝකී හැඟීමකින් වත්මන් කුවේණියගේ වුවන දුක්ඛ සෙයියාවකින් ඇළලී යන අයුරු මට පෙනේ. අතීත කුවේණිය එදා විඳී දුක්, ගැහැට, සංතාප, වේදනා වත්මන් කුවේණියගේ ඇට මිදුලුවලට පවා කා වැදී ඇති සැටියකි. ඉතිහාස පොතේ කුවේණිය විසි එක්වන සියවසේ ජීවමාන චරිතයක් බවට පත් කිරීමේ විස්මිත හැකියාව ඇයට ලැබුණේ ඒ හඳුනා ගැනීම නිසා යැයි මම කල්පනා කරමි.
කුවේණියට සාධාරණයක් කළ ඔබට පවා යම් අසාධාරණයක් වුණා?
ඔව්. ඇත්තටම මම ඒ ගැන මේ මාධ්‍යයකට හෙළිදරවු කරන ප්‍රථම අවස්ථාව. ‘විජය – කුවේණි’ චිත්‍රපටයේ ප්‍රචාරක පටයක් අන්තර් ජාලය ඔස්සේ අහම්බෙන් මම දැක්කා. එහි එක් රූප රාමුවක කිසියම් විකෘතියක් නැතිනම් මවාපෑමක් කර තිබූ නිසා මට ලොකු අවුලක් වුණා.
තවදුරටත් පැහැදිලි කළොත්?
චිත්‍රපටයේ එක් දර්ශනයක් තිබුණා මම උස් තැනක හිඳන් පනින. ඒ ජවනිකාවට මම ඇඳගෙන හිටියේ ටයිට් ෂෝට් එකක්. ඒත් ඒක ග්‍රැෆික් නිර්මාණයක් මඟින් වෙනස් කරලා මගේ දෙපා නිරාවරණය වෙන විදිහට ඉතාමත් කෙටි ඇඳුමක් විදිහට හදලා තිබුණා.
එවැනි කෙටි ඇඳුමක් ඔබ පාවිච්චි කළේ නැහැ?
නැහැ, කොහෙත්ම නැහැ.
වගකීමෙන් ද ඔය ප්‍රකාශය කරන්නේ?
ඔව්. ඉතාමත්ම වගකීමෙන්. මම ගුරුවරියක්. ඒ නිසා මේක මට විශාල ප්‍රශ්නයක්. මානසික පීඩාවක්.
අන්තර් ජාලයෙන් මේක දැක්කට පස්සේ ඔබ මොකද කළේ?
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැමිණිලි කළා. පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නට කියා ඔවුන් කිව්වා. නමුත් ඊටත් වඩා සුදුසු චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයාට මේක දැනුම් දීමයි කියලා අපට දැනගන්නට ලැබුණා. ඒ අනුව මම ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ මහත්මාට මේ අවනඩුව ගැන කිව්වා. කරුණු විමසා බලා ඔහු මට දැනුම් දුන්නා චිත්‍රපටයේ එහෙම දර්ශනයක් තිබුණත් එය ප්‍රදර්ශනයට කලින් ඉවත් කළා කියලා.
මේ අකටයුත්ත සම්බන්ධයෙන් ඔබ කාටද ඇඟිල්ල දිගු කරන්නේ?
එහෙම කාටවත් ඇඟිල්ල දිගු කරන්න කෙළින්ම මට බැහැ. මොකද මේක කාගේ වුවමනාවට වුණ දෙයක් ද කියලා මම හරියටම දන්නේ නැති නිසා.
චිත්‍රපටයේ නිෂ්පාදක – අධ්‍යක්ෂ මේ ක්‍රියාවට වගකිව යුතු යැයි ඔබ හිතන්නේ නැතිද?
ඒක මම හරියටම කියන්න දන්නේ නැහැ. මොකද සංස්කරණයේදී පවා මේ වගේ දෙයක් වෙන්නට පුළුවන්නේ. සමහර විට නිෂ්පාදක – අධ්‍යක්ෂ අපහසුතාවයට පත් කරන්න වෙනත් කෙනෙක් මේ වගේ වැඩක් කළා වෙන්නත් බැරි නැහැ.
චිත්‍රපටයේ හෝ පූර්ව ප්‍රචාරක පටවල මේ ජවනිකාව ඇතුළත් නොවුණ නිසා ඔබට එතරම් කලබල වෙන්න දෙයක් නැහැනේ?
ඔව්, නමුත් අන්තර්ජාලය ඔස්සේ තවමත් අර හොරට හදපු දර්ශනය දකිනවා. ඒකයි මට තියෙන ප්‍රශ්නය. නමුත් චිත්‍රපටයට රූගත කළ නියම දර්ශනයත් අන්තර් ජාලය ඔස්සේ ළඟදීම දකින්න ඔබට පුළුවන් වෙයි. එතකොට මේ කතාවේ ඇත්ත, නැත්ත කාටත් තේරෙයි.
ඒ පිළිබඳ විමසමින් ඈ තවත් වෙහෙසට පත් කළ යුතු නැතැයි මට සිතේ. රංගනය යනු ගෞරවණීය වෘත්තියකි. කිසිවකුª විසින් මෙවැනි නොහොබිනා ක්‍රියාවක් සිදු කළේ වී නම් එය එක් නිළියකට පමණක් කළ අවමානයක් නොව සමස්ත නිළි පරපුරටම කළ නිගරුවකි.
ඒක නෙවෙයි අපි දැන් දුලානිගේ පෞද්ගලික ජීවිතේ ගැනත් පොඩ්ඩක් කතා කරමු නේද?
පෞද්ගලික ජීවිතේ සරල, සාමාන්‍ය විදිහට ගත කරනවා. ගුරු වෘත්තියේ අභිමානය රැකගෙන නිළියක් විදිහට සාර්ථක ගමනක් යන්නයි මගේ බලාපොරොත්තුව.
එතකොට ආදරය, විවාහය වගේ දේවල්?
මට වුණ අසාධාරණය මුලින්ම හෙළි කළේ සරසවියට. ඒ වගේම මගේ ආදර සම්බන්ධයත් මේ මුලින්ම කියන්නේ ඔයාලට. මට පෙම්වතෙක් ඉන්නවා. ඔහු මාව හොඳින් තේරුම් ගත්ත කෙනෙක්. ඒත් වැඩි විස්තර දැන්ම කියන්න අවශ්‍යය නෑ කියලා මට හිතෙනවා. විවාහ වෙන දවසත් මුලින්ම ‘සරසවිය’ට කියන්නම්කෝ.
 
 
Sarasaviya

0 comments:

Post a Comment