----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ගෙදරින් ලොකු කැමැත්තක් නැහැ

Monday, June 4, 2012

‘සුපර් සික්ස්’ මගේ පළමුවැනි සහ අන්තිම චිත්‍රපටය



මලීකා සිරිසේනගේ




මේ දිනවල දිවයින පුරා තිරගත වන උදාර පල්ලියගුරුගේ කුලුඳුල් සිනමා සිත්තම ‘සුපර් සික්ස්’ සිනමා පටය හරහා රංගනයට අවතීර්ණ වුණු, ඇය මලීකා සිරිසේනගේ. වෘත්තියෙන් ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරන මලීකා මීට පෙර වෙළෙඳ දැන්වීම් කිහිපයකට ම සිය දායකත්වය ලබා දුන්නත් සිය රංගන ජීවිතය සිනමාවෙන් ආරම්භ කරන්නට වාසනාව හිමිකර ගන්නීය.
‘සුපර් සික්ස්’ ඔබේ කුලුදුල් සිනමා රංගනයයි. ඒ වාසනාව ඔබට හිමිවෙන්නේ කොහොමද කියන තැනින් අපි කතා බහ කරමු.
ඒ අවස්ථාව මට හිමිවුණේ මාගේ යාළුවකුගේ මාර්ගයෙන්. පසුව අධ්‍යක්ෂ උදාර මගෙන් ඒ ගැන කැමැත්ත ඇහැව්වා. ඒත් මගේ හිතේ පුංචි බයකුත් තිබුණා. නමුත් ඔවුන් මේ චරිතය පිළිබඳ කියා හිටියම මට හිතුණා ‘සුපර් සික්ස්’ සිනමාපටයට එකතු වෙන්න. වෘත්තියෙන් මම ගුවන් සේවිකාවක්. පසුව මම එයාර් ලංකා ආයතනයෙන් අවසර අරගෙන මේ සිනමාපටයට දායක වුණේ.
රඟපාන එක ගැන මොකද හිතුණේ.
ඒ ගැන සැහැල්ලුවෙන් නම් හිතන්න බැහැ. ඒක හරිම අමාරු වැඩක් කියලා හිතුණේ.
දැන් ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?
ඇත්තටම මේක මගේ පළමු රංගනය. ගොඩක් දෙනෙක් හොඳයි කියලා කියනවා. දැන් නම් මට හිතෙනවා තවත් ටිකක් හොඳට රඟපාන්න තිබුණා නේද කියලා. පුංචි සතුටකුත් දැනෙනවා. ඒ අතරම තවත් චිත්‍රපට දෙකකට මට ආරාධනා ලැබුණා.
ඒ කියන්නේ ඉදිරියට ඔබට තියෙන්නේ කාර්ය බහුල ජීවිතයක්.
ඇත්තටම මට ආරාධනා ලැබුණට නිහතමානීව මම ඒ සිනමාපට ප්‍රතික්ෂේප කළා.
ඒ ඇයි?
මීට පස්සේ මම රඟපාන්නේ නැහැ කියලා තීරණය කළා.
මොකක්ද හේතුව?
මෙහෙමයි. මගේ හිතේ පුංචි ආසාවක් තියෙනවා රංගනයේ යෙදෙන්න. නමුත් ගෙදරින් ලොකු කැමැත්තක් නැහැ කියලා මට දැනෙනවා.
පවුලේ කවුරුත් කලාවට සම්බන්ධ නැද්ද?
ඇත්තටම නැහැ. එයාලට මේක අලුත් අත්දැකීමක් විදිහටයි දකින්නේ. අද කාලේ කලාව කියන එක ගැන විවිධ මත තියෙනවා. නිළියන් ගැන විවිධ කතා ඇහෙනවා. ඉතිං මේ හැමදේමත් බලපානවා.
මලීකාගේ පවුලේ විස්තර ටිකක් කියමු?
අපි පදිංචි වෙලා ඉන්නේ දෙහිවල. අම්මයි තාත්තයි අක්කයි මමයි. අක්කා විවාහ වෙලා ඉන්නේ.
මීට කලින් රංගන කටයුතු කරලම නැද්ද?
වෙළෙඳ දැන්වීම් කිහිපයක් කරලා තියෙනවා. ඊට අමතරව සින්දු විෂුවල් කිහිපයකට කතා කළත් මම ගියේ නැහැ. නමුත් මේක අහම්බෙන් ලැබුණු අවස්ථාවක්.
හොඳයි ‘සුපර් සික්ස්’ සිනමාපටය ගැන මොකද හිතෙන්නෙ.
ඇත්තටම මම වාසනාවන්තයි කියලා හිතෙනවා. ලංකාවේ වැඩිම වියදමක් දරලා හදපු සිනමා පටය. ඔවුන් හැමදේම ඉතාම නිරවුල්ව, පැහැදිලිව සංවිධානය කරලා තිබුණා. නිෂ්පාදක සදේශ් හා ඔහුගේ බිරිය නිතරම අපි ගැන සොයා බැලුවා. මම හිතන්නේ ඉතාම ලස්සන සිනමාපටයකට මට දායක වෙන්න ලැබුණා. උදාර හොඳ අධ්‍යක්ෂවරයෙක් බව ඔහු ඔප්පු කරලා තියෙනවා.
වෘත්තියෙන් ඔබ ගුවන් සේවිකාවක් විදිහට කටයුතු කරන අතරේ කාලය හොයා ගත්තේ කොහොමද?
ඒ ගැන මම කියන්නම ඕන. ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනය ලොකු සහායක් ලබා දුන්නා. ඉදිරියට යන ළමයින්ට විශාල ශක්තියක් ලබා දෙන්නේ. ආයතනයක් විදිහට ඔවුන් ලබා දෙන ධෛර්යයට මම කෘතගුණ වෙන්න ඕන.
මුලින් ම කැමරාව ඉදිරියට ගියාට පස්සේ මොකද හිතුණේ.
(සිනාසී) ඇත්තම කිව්වොත් බැණුම් ඇහැව්වා ගොඩක්. ඒ වගේ ම ඉගෙන ගත්තා. එතන හිටපු රංගන ශිල්පීන් ඔක්කොම සීනියර්ස්ලා. ඒ අය හැමෝම වගේ මට උදව් කළා. මම ගොඩක් වැරැදි අඩුපාඩු හදාගත්තා කියලා මට දැනුණා.
පළමු සිනමා පටයත් එක්කම ඔබ ගැන අන්තර්ජාලයේ විවිධ පුවත් පළවෙන්නත් පටන් අරන්.
ඔව් මම දැක්කා. ඒක තමයි මම මුලින් කිව්වේ මේ ක්ෂේත්‍රයේ පුදුම දේවල් සිද්ධවෙන්නේ. කටකතා හදනවා. අපිට ප්‍රසිද්ධිය හදල දෙනවා. හැබැයි අපරාදේ මම වගේ කෙනෙකුට මෙහෙම ප්‍රසිද්ධිය ලබලා දෙනවට. මේ දේවල් පළ කරන අයට පහළ මානසිකත්වයක් තියෙන්නේ. ජීවිතේ නරක දෙයක් කළාම මේ ජීවිතේ ඉන්න කාලේම ඒ දේවල් වලට පටිසන් දෙයි කියලා මම විශ්වාස කරනවා. උඩ දෙවි කෙනෙක් ඉන්නවනේ.
දවසක ඔබට ආයෙත් රඟපාන්න හිතුණොත්.
ඉස්සර මමත් ආස නැහැ රඟපාන්න. නමුත් දැන් ආසාවක් තියෙනවා. ඒත් ආයෙමත් රඟපාන්නේ නැතිවෙයි.
ඔහු ද කියන්නේ එපා කියලා.
ඔව් මට පෙම්වතෙක් ඉන්නවා. එයාගෙනුත් වැඩි කැමැත්තක් නැහැ. මුලින් කිව්වා වගේ ගෙදරිනුත් කැමැති නැහැ. ඒ වගේ ම මගේ වෘත්තිය එක්ක කලාවට සම්බන්ධ වෙලා දීර්ඝව කටයුතු කරන්නත් අමාරුයි.
ඔහු කලාවට සම්බන්ධ කෙනෙක් ද?
නැහැ. එයා කලාවට සම්බන්ධ නැහැ.
හෙට දවසේ මොකක්ද ඔබේ බලාපොරොත්තුව.
ඔව් ගැහැනු ළමයකුගේ එකම හීනය විවාහය. ඒ දේ කරන්න දැන් මගේ වයස හරි. කලාවටත් ලොකු කැමැත්තක් තියෙනවා. නමුත් ඉතින් මේ ක්ෂේත්‍රයේ කැපිලි, කෙටිලි, මඩ ගැහීම් වැඩියි. උඩට එනවට කැමැති නැහැ. කෙනෙක් ගේ වැරැදි තමයි කියන්නේ. හොඳක් කියන්නේ අඩුවෙන්.
‘සුපර් සික්ස්’ සිනමාපටයේ විලාසිතා ගැන මොකද හිතන්නේ.
හැම දේකටම මම කැමැති වුණේ නැහැ. ඒ නිසා පොඩි පොඩි ප්‍රශ්න ඇති නොවුණා නෙවෙයි. විලාසිතා ගැන මම හිතන්නේ ගැහැනු ළමයෙක් විදිහට තමන්ගේ වයසට විලාසිතා කරන්න ඕන කියන එකයි.
අවසන් වශයෙන් ඔබේ රංගන චාරිකාව මෙතනින් ඉවරද?
බොහෝ දුරට. කොහොම වුණත් මම වාසනාවන්තයි කියලා හිතෙනවා. ‘සුපර් සික්ස්’ කියන්නේ හොඳ චිත්‍රපටයක්. ඒ අවස්ථාව ලබාදුන්නේ උදාර, සදේශ් ඇතුළු සියලුම රංගන ශිල්පීන්ට, කාර්මික ශිල්පීන්ට ස්තුතිවන්ත වෙන්න ඕන.



0 comments:

Post a Comment