----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඉතින් . . . දැන් මම යන්නේ කොහාටද?

Thursday, May 3, 2012

බොරු බේගල් නිසා මගේ රස්සාව නැති වුණා

ඇන්ජලා සෙනෙවිරත්න
පසුගිය කාලයේ රංගන ක්ෂේත්‍රයේ එතරම් ඇන්ජලා සෙනෙවිරත්න ගැන කතාබහට ලක් වූයේ නැත. එහෙත් පසුගිය මස 18 වැනිදා සිට යළිත් ඇයගේ නම සැමගේ මුවග රැව් පිළිරැව් දෙන්නට පටන් ගත්තේය.
‘ඇන්ජලා කුඩු ගෙන්නලා අහු වෙලා’
එකිනෙකා එසේ කසු කුසු ගෑවෝය. තටු ලැබුණු සෙයකින් ඒ පුවත රට පුරා පැතිර යන්නට විය. ඒ පුවතට ජනමාධ්‍ය ලබා දුන්නේ මහත් වූ ප්‍රචාරයකි. ඇය මෙරටට මත්ද්‍රව්‍ය ගෙන් වූ බව ජනතාවට ඒත්තු ගැන්වීම සඳහා මහත් වෑයමක යෙදිණි. ඇය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ මෙරට නියෝජිතවරිය ලෙස ද සමහරු නම් පට බැන්දේය. මේ සියල්ලම සිදු වූයේ ඇත්ත නැත්ත කුමක්දැයි පොලීසිය පරීක්ෂණ පවත්වන අතරතුරේදීය. ඒ සඳහා දින හතරක් පහක් ගත විය.
පරික්ෂණ අවසානයේ හෙලි වූයේ ඇය මේ සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවයි. එහෙත් ඒ වන විට සිදු විය යුතු සියල්ලම සිදු වී හමාරය.
සරසවියට කවදත් හිතවත් මේ සම්මානනීය නිළිය පිළිබඳ මෙවැනි කට කතා අපි මීට පෙර අසා නොතිබුණෙමු.
මේ සිදුවීමෙන් පසු අන්තර් ජාලය ඔස්සේ පවා ඇයට මඩ ගසන්නට විය. අපහාස කරන්නට විය. ඇත්තෙන්ම මේ වගේ භයානක අවස්ථාවකට ඇන්ජලා මුහුණ දුන්නේ කෙසේද? මෙතරම් අපහාස උපහාස විඳ දරා ගන්නේ කෙසේ්ද?
‘මේකට මම සම්බන්ධයි කියලා පත්තරවල පල වෙලා තිබුණා. නමුත් මම කොහෙක්ම මේකට සම්බන්ධ නෑ. ඔය පාර්සලය ආව ලිපිනයේ මම පදිංචි වෙලා හිටියා තමයි. ඒ මීට අවුරුදු දහයකට කලින්. නමුත් පොලිසිය මඟින් තමයි මම දැනගත්තේ මම ඒ ගෙදරින් අවුරුදු දහයකට කලින් ගියත් තවමත් මට රසික රසිකාවන්ගෙන් හා වෙනත් ලිපි ලැබෙන බව.
තව මට දැනගන්න ලැබුණා හෂීස් තැපැල් කළ පුද්ගලයා දැනට තාවකාලිකව ඒ ගෙදර ඉන්නවා කියලත්. රසිකයකුගෙන් මගේ නමට ආපු ලියුමකින් තමයි ඒ පුද්ගලයා ලිපිනය සොයා ගෙන තියෙන්නේ.
ඒ පුද්ගලයා මම කවුද කියලා දැනගෙන ඉඳලා නෑ. ඉන්දියාවෙන් ඒ ලිපිනයට මගේ නමට හෂීස් තැපැල් කරලා තියෙන්නේ ඒ පුද්ගලයාමයි. එයා හිතලා තියෙන්නේ තැපැල් සේවයෙන් පාර්සල් ගෙදරටම ලැබෙයි කියලා. එයා පොලිසියට අහු වුණාම පොලිසිය මාව අඳුණනවද කියලා ඇහුවම, නෑ ලියුමකින් නම ගත්ත බවත් කියලා තිබුණා.
මම වෙනුවෙන් මේ පාර්සලය අසවලාට දෙන්න කියලා අත්සන් කරලා බලය පවරපු ලියුමක් තිබුණා. ඒ ලියුම දාලා තියෙන්නේ ලාංකිකයෙක්.
මගේ අත්සන තුන් වරක් ගත්තා. ඊට පස්සේ අත්සන් දෙක පරීක්ෂා කරලා බැලුවා. ඒවා සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ ලියැවිල්ල මට පෙන්නුවේ ඊට පස්සෙයි. නිකං ඇන්ජලා සෙනෙවිරත්න කියලා ලියලා තිබුණා. තැපැල් දෙපාර්තමේන්තුව මගේ අත්සන දන්නේ නැති නිසා පාර්සල් දෙන්න හදලා ඇරලා බලන්න යද්දී තමයි එක් කෙනෙක් පැනලා ගිහින් තිබුණෙ.
මාධ්‍යකරුවන්ට මේ තොරතුරු ලැබිලා තියෙන්නේ 18 වෙනිදා. මම කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ. 19 වැනිදා මාධ්‍යවේදියෙක් මට කෝල් කරලා ඇහුවා මත්ද්‍රව්‍ය සිද්ධිය ගැන මොනවද කියන්න තියෙන්නේ කියලා. මම කිව්වා මම කිසි දෙයක් දන්නේ නෑ කියලා. ඒ පුද්ගලයා වෙබ් අඩවියක තිබූ පුවතක් මට කිව්වා. ඒ වෙලාවේ තමයි දැනගත්තේ සිද්ධියේ බැරෑරුම්කම.
19 වෙනිදා ඉඳලා හැම පත්තරයකම මේ පුවත පල වෙලා තිබුණා. මම පිළිගන්නවා එය බැරෑරුම් ප්‍රශ්නයක් කියලා. නමුත් සමහර පුවත්පත් මා ගැන වරදවා තේරුම් යන විදියටයි පුවත් පල කරලා තිබුණේ. සමහරු මම අතුරුදන් කියලත් ලියලා තිබුණා. මම අතුරුදන් වුණේ නෑ. ගෙදරමයි හිටියේ. ඇයි මම හැංගෙන්නේ. මම වරදක් කරලා නෑනේ.
මාධ්‍යවේදියෝ දෙතුන් දෙනෙක් හැර අනිත් කවුරුවත් මාත් එක්ක කතා කරලා ලිපි පල කළේ නෑ. මේ වගේ පත්තරවල පල වුණාම මිනිස්සු මොනවද මම ගැන හිතන්නේ. ඒක මට මානසික පීඩාවක් විතරක් නෙවෙයි. ජීවිතයට ලොකු පාඩුවකුත් වුණා.
මම අවුරුදු එකොළහක් සෞදි තානාපති කාර්යාලයේ තානාපතිවරයාගේ ලේකම් විදියට රැකියාව කළා. මේ සිද්ධිය නිසා මට ඒ රැකියාවත් අහිමි වුණා.
පත්තරවල කියලා තියෙනවා පැය හතරක් මගෙන් ප්‍රශ්න කළා කියලා. කවුරුවත් මගෙන් ප්‍රශ්න කළේ නෑ. කට උත්තරයක් ලබා ගත්තා පමණයි. ඒ දේ කළේත් ඉතාමත්ම හොඳින් ඉහළින් සලකලයි. මට චෝදනා කළේ නෑ. මනස වැට්ටුවේ නෑ.
මේ වගේ දේවල් ලෙහෙසි පහසු දේවල් නෙවෙයි. මම වැරැදිකරුවෙක් නොවුණත් හිතේ චකිතයක් ඇති වුණා.
මම අතුරුදන් කිව්වට හැමදාම මම මේ ගෙදරමයි හිටියේ. සෙනසුරාදා මත් ද්‍රව්‍ය නාශක අංශයෙන් ගේ ළඟට ඇවිත් තිබුණා. මම ඒ වෙලාවේ නම් ගෙදර හිටියේ නෑ. එයාලා මට ෆෝන් කරලා කිව්වා ඉරිදා උදේ 9.30 ට එන්න කියලා.
මට මෙහෙමත් හිතෙනවා. අංක 67 හඩ්සන් පාරේ දැනට පදිංචි වෙලා ඉන්නේ වෙනත් තානාපති කාර්යාලයක ලේකම්වරියක්. ඇය ස්විස් ජාතික කාන්තාවක්. විවාහ වෙලා ඉන්නේ ලාංකිකයෙක් සමඟ. ඔහු ඉංග්‍රීසි වේදිකා ලෝකේ චරිතයක්. මමත් ඉංග්‍රීසි වේදිකා ලෝකේ නිළියක්.
මම සෞදි තානාපති කාර්යාලයේ වැඩ කරනවා. ඒ නිසා තානාපති කාර්යාලයත් ඒ තැනැත්තිය හොඳින් දන්නවා. මට ලියුම් එන බව කිසිම දවසක දැන් වූයේ නෑ. මට ප්‍රශ්නයක් ඇති වෙනවා ඒ බව ඇය මට නොකිව්වේ ඇයි කියලා.
මගේ කට උත්තරයෙන් පස්සේ පොලිසිය තේරුම් ගත්තා මම මෙයට කිසිසේත්ම සම්බන්ධ නැති බව. අජිත් රෝහණ මහතා (පොලිස් මාධ්‍ය ප්‍රකාශක) ඒ බව මාධ්‍යවේදීන්ට දැන්වූවා. මගේ නිවැරැදිභාවය ප්‍රකාශ කර සිටියා. ඒත් අපේ මාධ්‍යවේදීන් ඒ බව හෙලි කරන්න එතරම් කැමැත්තක් නැති බව පේනවා.
මම හිතාගෙන හිටියේ මාධ්‍ය කියන්නේ බොහොම නිදහස්, ස්වාධීන සේවයක් කියලා. නමුත් ඒගොල්ලෝ හරි හැටි හොයා බලන්නේ නැතිව මගේ ජීවිතයට ලොකු බලපෑමක් ඇති කළා. ඇයි එයාලා මේ ගැන මගෙන් ඇහුවේ නැත්තේ. මගේ ෆෝන් නම්බර් එක හෝ ලිපිනය අවශ්‍ය නම් චිත්‍රපට සංස්ථාවට කතා කරලා ගන්න තිබුණා.
මම මේකෙන් හරියට කලකිරුණා. රට දාලා යන්නත් හිතුණා. එත් . . . දැන් ගියොත් හිතයි මම මේක කරලා රට පැන්නා කියලා. ඒ නිසා මම යන්නේ නෑ.
ඉන්ටර්නෙට් එකේ කියලා තිබුණා මම කුඩු ගහනවා කියලා. ඇස් දෙක බැලුවම ඒක පේනවා කියලා. මගේ මේ ඇසක් ඉදිමිලා තියෙන්නේ එක ඇහැක් ඔපරේෂන් කරලා තියෙන නිසා. මම රිය අනතුරකට ලක් වුණා. ඒකෙන් තමයි මගේ ඇහැට මෙහෙම වුණේ. අනිත් ඇහැත් ඔපරේෂන් කරන්නයි ඉන්නේ. මම ඉන්නේ මේ වගේ කෲර මිනිස්සු අතර ද කියලා වෙලාවකට හිතෙනවා. මම කාලයක් කලාවෙන් ජනතාව පිනෙව්වා. එත්, වෙච්ච දෙයක් නෑ. කවුරුත් මට මඩ ගහන්නයි බලා ඉඳලා තියෙන්නේ.
මම මුලින්ම හිතාගෙන හිටියා මේ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන් හේතු දෙකක් ගැන. එකක් තමයි කවුරු හරි මගේ නම පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ බඩු භාණ්ඩ මෙරටට ගෙන්වා ගෙන පහසුවෙන් ක්ලියර් කර ගන්නවා කියලා. ඒ ජනප්‍රිය නම්වලට කවුරුත් සලකන නිසා.
අනිත් එක තමයි මේක ඕනෑකමින් කෙනෙක් මට පහර දෙන්න, මඩ ගහන්න, කැලලක් ඇති කරන්න කරපු දෙයක් කියලා.
ඒත් . . . මට පස්සේ තමයි හෙළි වුණේ ඒ දෙකම නෙවෙයි කියලා. ඒ බ්‍රිතාන්‍ය ජාතිකයා මම කවුද කියලා දන්නෙත් නෑ.
පුවත්පත්වල පල වූ වාර්තා හේතුවෙන් මට රැකියාවත් අහිමි වුණා. ඒකට මුල් වූයේ පුවත්පත්වලින් ප්‍රකාශ කළ දේවල්. තානාපති කාර්යාලයේ නිලධාරීන් මට කිව්වා ඔයා නිවැරැදි වුණාට පුවත්පත්වලින් දුන්න ප්‍රචාරය වැඩියි. ඒ නිසයි මේ තීරණය ගත්තේ කියලා.
ඇන්ජලාට වූ මේ කරදරය පිළිබඳ තොරතුරු සොයා ගිය අපට ඇය නිර්දෝෂී බව ඔප්පු වූ ආකාරය ද හොඳින් තහවුරු විය.
හඩ්සන් පාරේ නිවසට නිතරම විජාතික අමුත්තන් පැමිණේ. ඒ . . . එහි පදිංචිකාරිය ස්විස් ජාතික කාන්තාවක වන බැවිනි. සිද්ධියට අදාල බ්‍රිතාන්‍ය ජාතික තරුණයන් දෙදෙනා ද අප්‍රේල් මාසයේ මේ නිවෙසට පැමිණ ඇත. ඒ නිවාඩුවක් ගත කිරීම සඳහාය.
හෂීස් නැමැති මත්ද්‍රව්‍යයට තදින්ම ඇබ්බැහි වී සිටි මේ දෙදෙනාට මත්ද්‍රව්‍ය නැතිවම බැරිය. ලංකාවට ආ විට ඒවා සොයා ගැනීම ද අපහසුය. එයට කළ යුත්තේ කුමක්දැයි කල්පනා කළ තරුණයන් ලංකාවට පැමිණෙන ගමනේදී ඉන්දියාවට ද ගියේය. එහිදී හෂීස් මිල දී ගෙන තමන් ලංකාවේදී නවතින නිවසේ ලිපිනයට තැපැල් කළේය. ඇන්ජලාගේ නම සොයා ගත්තේ එම නිවෙසේ ලියුම් පෙට්ටියේ තිබූ ලිපියකිනි. එහි ඇන්ජලා සෙනෙවිරත්න යන නම සඳහන්ව තිබිණි. ඔවුන් ඒ නමට පාර්සල් තැපැල් කිරීමට පෙළඹුණේ එලෙසිනි. එහෙත් එහි නම සඳහන්ව තිබුණේ ‘ඇන්ජිලා’ ලෙසිනි.
හඩ්සන් පාරේ අංක 67 නිවෙසට ලියුමක් එන්නේ මේ අතරය. එය ඇන්ජලා සෙනෙවිරත්න නමට තිබු අතර මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබෙන පාර්සල් තුනක් පැමිණ භාර ගන්නා ලෙස එහි සඳහන්ව තිබිණි.
ඒ වන විට බ්‍රිතාන්‍ය ජාතික තරුණයන් දෙදෙනා මේ නිවෙසට පැමිණ තිබූ අතර ඒ ලිපිය බැලූ ඔවුන් පාර්සලය ලබා ගැනීම සඳහා ඉදිරිපත් වුණා. පිටරට සිට එන පාර්සල් බාර ගැනීම සඳහා එහි නම සඳහන් අයිතිකරු හෝ අයිතිකරුගේ අත්සන සහිත බලය පැවරීමේ ලිපියක් තිබිය යුතුය. දන්න හඳුනන ශ්‍රීී ලාංකිකයකු ලවා බලය පැවරීමේ ලියුමක් සකසා ගෙන ඇන්ජලා සෙනෙවිරත්න ලෙසින් අත්සනක් ද යොදවා ගෙන එම ලිපිය ද රැගෙන ඔවුහු මධ්‍යම තැපැල් හුවමාරුවට ගියහ.
එම පාර්සල් පිළිබඳ යම් සැකයක් තිබූ බැවින් රේගුª නිලධාරීන් ද කැඳවා සියලු දෙනාම ඉදිරියේ එක් පාර්සලයක් විවෘත කර පරික්ෂා කිරීමේදී එහි තිබී හඳුන්කූරු පැකට්, විසිතුරු ආභරණ හා දිග අතට දෙකට නැවූ පොතක් හමු විය. හොරය හසු වන්නේ පොත විවර කිරීමේදීය. පොත ඇතුලේ යම් ද්‍රව්‍යයක් අඩංගු පාර්සල් දෙකක් සූක්ෂමව අසුරා තිබිණි.
ඒ සමඟම එක් බ්‍රිතාන්‍ය ජාතික තරුණයකු ස්ථානයෙන් පලා ගියේය. අනිත් තරුණයා පාර්සල් ද රැගෙන පලා යාමට උත්සාහ කළ ද රේගුª නිලධාරීන් හා තැපැල් නිලධාරින් එක්ව අල්ලා ගත්තේය. අනතුරුව අනෙක් පාර්සල් දෙක ද පරික්ෂාවට ලක් කළ අතර ඒවායේ ද දෙකට නැමූ සඟරා ඇතුලේ තිබී යම් ද්‍රව්‍යයක් අඩංගු කුඩා පාර්සල් හමු විය. හමු වූ පාර්සල් සංඛ්‍යාව අටකි. පසුව කළ පරීක්ෂණවලදී ඒවා හෂීස් නැමැති මත්ද්‍රව්‍ය බවට හඳුනා ගැනිණි. ඇන්ජලා සොයා මෙහෙයුම් ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. මේ කිසිවක් නොදත් ඇය හෂීස් සිද්ධියට පැටලෙන්නේ නිරපරාදේය.
වසර එකොලහක් තිස්සේ ඇය සෞදි තානාපතිවරයාගේ ලේකම් ලෙස රැකියාව කරගෙන පාඩුවේ ජීවත් වූවාය. එහෙත් කොහේවත් යන කරදරයක් ඇයගේ හිස මත වැටුණේ ඇයගේ නරක වෙලාව නිසාම විය යුතුය. අවසානයේ ඇයට සිදු වූයේ කුමක් ද? රැකියාව අහිමි වීම පමණි. රැකියාව අහිමි කිරීම සඳහා හේතු වූ කරුණු කාරණා මොනවාදැයි ඔබ දන්නවාද? ඇය හෂීස් ගෙන් වූ බවට පුවත්පත්වලින් ලබා දුන් අති මහත් ප්‍රචාරයයි.
මේ ප්‍රචාරයන් සමඟ ඇයට ආදරය කළ සැවොම ඇයට වෛර කරන්නට විය. ඇයට මඩ ගසා ඇයගේ චරිතය පවා ඝාතනය කිරීමට පටන් ගත්තේය.
‘මට මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් චෝදනා නෑ. පොලීසියෙන් මාව නිවැරැදි කාරියක් කළා. මට චෝදනා තිබුණේ මාධ්‍යයෙන්. මාධ්‍යය තමයි මාව වැරැදි කරුවෙක් කළේ. එසේ කරන්න ලොකුª උත්සාහයක යෙදුණේ. ඒ අයගේ උත්සාහය සාර්ථක වුණා. මට රැකියාව අහිමි වුණා. ඉතින් . . . දැන් මම යන්නේ කොහාටද? . . .’ ඇය කඳුළු පිරි දෙනෙතින් ප්‍රකාශ කළාය.

0 comments:

Post a Comment