----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ගැහැනු විතර ද චපල ?

Sunday, May 13, 2012

ගැහැනු විතර ද චපල ?


සමාජයේ දක්නට ලැබෙන විවිධ ගැටලු වල දී බොහෝ විට කාන්තා පාර්ශ්වය වෙත දෝෂාරෝපණ, වැරදි, චෝදනා එල්ල වීම බහුලව සිදුවෙනවා. මේ නිසා ම ගැහැනිය චපල යැයි කියමනක් ව්‍යවහාරයට එක් වී තිබෙනවා. සැබවින් ම ගැහැනිය පමණ ද චපල? පිරිමින් චපල නැති ද? මේ ගැන විමසා බලන්නට අපි කටයුතු කළා. රංගන ශිල්පිනියන් කිහිප දෙනෙක් මේ පිළිබඳ අදහස් පළ කළා.







හොඳ පිරිමි වගේම නරක පිරිමිත් ඉන්නවා
චංචලා වර්ණසූරිය
වැරැද්දක් කළොත් කවුරු එය කළත් වැරැද්ද වැරැද්දමයි. මේ ලෝකයේ විවිධාකාර අදහස් උදහස් ගති පැවතුම් ඇති මිනිසුන් ජීවත් වෙනවා. මේ නිසා ගැහැනු පිරිමි භේදයකින් තොරව දෙගොල්ලන් අතින් ම අඩු වැඩි වශයෙන් වැරැදි සිද්ධ වෙනවා.
මේ හින්දා චපල කාන්තාවන් වගේ ම චපල පිරිමි කියන දෙපාර්ශ්වයම ලෝකෙ පුරාම ඉන්නවා. මම කාන්තාවක් විදිහට පිරිමි ගැන කතා කළොත් හොඳ පිරිමි වගේ ම නරක පිරිමිත් මේ සමාජයේ ඉන්නවා.
මනුස්සකම තියන අය වගේ ම අමනුෂ්‍යයන් විදිහට දිවිගෙවන අයත් ඉන්නවා. මේ සමාජයේ පිරිමියෙක් විදිහට ජීවත්වෙන්න බැරි පිරිමින් අනන්තවත් ඉන්නවා. විශේෂයෙන් ම ගැහැනිය සූරාගෙන කන, ගැහැනිය ගෙන් ජීවත්වන පිරිමි ඉන්නවා.
පිරිමියා මොන වරද කළත් ඒ අය හරි ඉක්මනින් ජීවිතය හදා ගන්නවා. ගැහැනිය වරදක් කරලා ඇගේ ජීවිතය කඩාගෙන වැටුණොත් ඇයට ජීවිතය හරිගස්ස ගන්න, ජීවිතය යළි ගොඩනඟාගන්න එක ඉතාම අමාරුයි. ඒ මොකද නින්දා අපහාස බොහෝ දේ ගැහැනියට නිතැතින් ම එල්ල වන නිසා. මේ හැමදෙයක් ගැනම සාධාරණව බලල තමයි මේ චපලත්වය ගැන තීරණය කළ හැක්කේ.

එක පාර්ශ්වයකට ඇඟිල්ල දිගු කිරීම වැරැදියි
මාධනී මල්වත්ත
චපලයි කියන දේ මනුෂ්‍යයාගේ ස්වභාවය අනුව ඔවුන් ගේ ගති පැවතුම්වල අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. මෙතනදී ගැහැනු වේවා පිරිමි වේවා එක පාර්ශ්වයකට චපලයි කියලා ඇඟිල්ල දිගු කරන්න බැහැ. අද සමාජයේ ගැහැනු පිරිමි දෙපාර්ශවයම එක හා සමානව පවුලේ ආර්ථිකය නඟා සිටුවීමට උරදී තිබෙනවා. මේ නිසා මම දකින්නේ අද සමාජයේ ගැහැනිය හා පිරිමියා ශක්තිය අතින්, ආර්ථිකයට උරදීම අතින් සමානත්වයෙන් සිටිනවා.
මේ නිසා ගැහැනියට හැමවිටම චපලයි වෙනස්වන සුලුයි කියල, ඇඟිල්ල දිගු කිරීම වැරදියි. මෙයට හේතුවක් ලෙස මම දකින්නේ දකුණු ආසියාතික රටවල බොහෝ දුරට පුරුෂ මූලික සමාජයක් තමයි පවතින්නේ. මේ නිසා ගැහැනියට එල්ලවන පීඩනය වැඩියි. මේ තත්ත්වය ලංකාවේදී වැඩවසම් යුගයේ දී ඉතා ප්‍රබලව තිබුණා. මේ නිසා මනුෂ්‍ය ස්වභාවය මත ඇතිවන චපලත්වය හේතුවෙන් එක පාර්ශවයකට පමණක් ඇඟිල්ල දිගු කිරීම නිවැරදි නැහැ කියලයි මම කියන්නේ.

වැරදි දෝෂාරෝපණ සියල්ල කාන්තාවන්ටයි
තෙසාරා ජයවර්ධන
අඩු තැනින් වතුර ගලා යනවා වගේ කාන්තාවන්ට දෝෂාරෝපණය කිරීම අද බහුලව සිදුවෙනවා.
නිවෙසක සියයට අනූපහක් වැරදි කරපු පිරිමියකුත් සියයට පහක වැරැද්දක් කළ ගැහැනියකුත් එකට ජීවත්වෙන කොට මුලින් ම ඇඟිල්ල දිගු වන්නේ සියයට පහක් වැරදි කළ කාන්තාව හරියට සියයට අනූපහක් වැරදි කරපු ගාණටයි. මේ තත්ත්වය අද බහුලව සමාජයේ දැකගන්න පුළුවන්. යුරෝපයේ මානව හිමිකම් පනත යටතේ ස්වාමි පුරුෂයකුට තම බිරිඳ සමඟ එක්වීමට පවා බිරි ඳගේ කැමැත්ත අවශ්‍ය වෙනවා.
නමුත් අපි දැනුවත්ව ලංකාවේ විවාහ ජීවිත තුළ පවා ස්ත්‍රි අපචාර අඩම්තේට්ටම්, ගෘහස්ථ ප්‍රචණ්ඩතා කොතෙකුත් සිදුවෙනවා. මේ තුළ පිරිමියා සිදු කරන වැරදි වලට ඇඟිල්ල දිගු වෙනවා අඩුයි. කාන්තාවට තමයි සමාජයෙන් දෝෂාරෝපණ, වැරදි එල්ල වන්නේ. මෙයට හේතුව මම දකින්නේ තවමත් අපි දකුණු ආසියානු පීතෘ මූලික සමාජය තුළ සාම්ප්‍රදායිකව එල්බ සිටීමයි. “ගැහැනු කවුරුද වරදෙ නොබැදෙන” ඉතාම පැරණි කවියාගේ කියමන තුළ සිට තමයි තාමත් අපේ සමාජය කාන්තාව දෙස බලන්නේ. වරද ඇත්තේ එතැනයි.

චපල පිරිමි ඉදිරියේ ගැහැනු මෝඩයි
දුලීකා මාරපන

චපලයි කියල දෙයක් මේ සමාජයේ නැහැ. මෙය මිනිසුන් නිර්මාණය කළ දෙයක්. වචනය පවා ඔවුන් තම වාසියට නිර්මාණය කළ දෙයක් ලෙසයි මම දකින්නේ. අද සමාජයේ හුඟක් පිරිමි චපලයි. මේ චපල පිරිමින් ඉදිරියේ ගැහැනු මෝඩවීම ගැන මම කනගාටු වෙනවා. යම් ප්‍රශ්නයක දී තමන්ට එකට ජීවත් වන්නට සැමියා නුසුදුසු නම් ඔහුගෙන් ඉවත් වීම අද සමාජයේ සිදුවෙනවා. මෙය චපල කමක් ද? මම නම් දකින්නේ තමන්ගේ දුර්වලකම් වසාගන්න මිනිස්සු හදාගත් දෙයක් තමයි මේ චපලත්වය කියන්නේ.







Silumina

0 comments:

Post a Comment