----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ජෝ අබේවික්‍රම නම් වූ රංගධරයා

Sunday, May 20, 2012

ඔහුගේ නම අසා ඔහුගේ මුහුණ බලා ඔහු කියන දෙයට සවන් දී ඔහුගේ දැඟලිල්ල දැක අපි වසර 50ක් සිනාසුනෙමු. ඔහු දැඟලුවේ අනෙක් විකට නළුවන් සේ කම්බි පණුවෙකුගේ රංගන විලාසයෙන් නොවේ. එය ඔහුගේ පුරුද්ද නොවීය. කවුරුන් හෝ ලියාදෙන දෙබස් පමණක් අසා සිනා නොවුන අප ඔහුගේ රංගන තාලය, ඔහුගේ ඉරියව්, ඔහුගේ කට, අතපය, ඇඟපත හරවන හරවන තාලයට මෙම වසර 50 තුළ අපි සිනාසුනෙමු.


එහෙත් අප අද සැරසෙන්නේ අව්‍යාජ, නිරහංකාර ගමින් ආ පුංචි මිනිසෙකුගේ රංගන ශෛලියට සිනාසෙන්නට නොව ලොකු කඳුළු කැටයක් ඔහුගේ මළ සිරුරට පතිත කරන්නටය. ඔහුගේ රංගන ශෛලිය වසර 50ක් නැරඹූ අපට ඒ තරමටම දුක හිතෙන්නේ ඔහු රඟ නොපෑවත් ජීවත් විය යුතු යැයි යන සිතිවිල්ලෙනි.
ශ්‍රී ලාංකේය සිනමාවේ ත්‍රිමූර්තියෙන් එක් මූර්තියක් ලෙස ප්‍රකට ජෝ අබේවික්‍රම නම් වූ දැවැන්ත විකට රංගධරයා වෙනුවෙන් මෙම සටහන තබන්නේ ශ්‍රී ලාංකේය සිනමාවට ඇත්තම විහිළු හඳුන්වා දුන් අති දක්‍ෂ රංගන ශිල්පියෙකු ලෙසය.
මෙම රංගධරයා වෙනුවෙන් ත්‍රිමුක්තියේ ඉතිරිව සිටින අනෙක් දැවැන්තයා වන ටෝනි රණසිංහ අපටත් වඩා ජෝ අබේවික්‍රම වෙනුවෙන් එක දිගට හඬා වැළපෙනු ඇත. ජෝ සමඟ සිටි අනෙක් මූර්තිය ලෙස සලකන ගාමිණී ෆොන්සේකා ඉක්මනටම මා හමුවෙන්නට වරෙන් යැයි කියා ජෝ අබේවික්‍රමට හඬ නගා කියනු නොඅනුමානය.
දේවසුන්දරී චිත්‍රපටයේ රඟපෑවත් 1957 දී මුලින්ම ප්‍රදර්ශනය වූ සරදම චිත්‍රපටයෙන් ඔහු අප සිනා සයුරේ ගිල්වූයේ ආධුනික විකට ශිල්පියෙකු ලෙස නොව පළපුරුදු රංගධරයෙකු ලෙසිනි. ජෝ අබේවික්‍රම රඟ පෑ චිත්‍රපට 160න් එකක්වත් අප ප්‍රතික්‍ෂේප නොකරන්නේ ජෝ අබේවික්‍රම රඟ පෑ නිසා නොව සියලු චිත්‍රපටවල ජීවත් වූ බැවිනි.
සරදමින් පටන්ගෙන ශ්‍රී 296/ රන්මුතුදූව/ ගැටවරයෝ/ චණ්ඩියා/ සාරවිට/ අල්ලපුගෙදර ඇතුළු චිත්‍රපට රැසක විහිළු කළ ජෝ අබේවික්‍රම රත්නපුරේ ලෙල්ලොපිටියේ සිට කොළඹට ආවේ සාමාන්‍ය ගමේ මිනිසකු ලෙසය.
එසේ පැමිණි ඒ මිනිසා චිත්‍රපට කර්මාන්තය තුළ විකට රංගධරයෙකු ලෙස සිදු කළ මහා විප්ලවය මේ රටේ පේ‍්‍රක්‍ෂක ජනතාව කිසි දිනෙක අමතක නොකරනු ඇත. එමෙන්ම ජෝ අබේවික්‍රමයන් තුංමන් හන්දිය/ පුරහඳ කළුවර/ පූජා/ වැලිකතර/ පරසතු මල්/ බඹරු ඇවිත්/ සිරිබෝ අයියා වැනි චිත්‍රපට තුළින් චරිතාංග නළුවකු සිය රංග ප්‍රතිභාව අති විශිෂ්ට ලෙස ප්‍රදර්ශනය කළ ජෝ අබේවික්‍රමයන් සම්මානලාභි රංගධරයෙකි.
වසර 84කට ආසන්න කාලයක් සිය අතිවිශිෂ්ට රංගනයෙන් මේ රටේ සිනමා ක්‍ෂේත්‍රය ඔපවත් කරමින් මෙන්ම පේ‍්‍රක්‍ෂකයන් හිනැස්සූ ජෝ අබේවික්‍රම මිය ගියත් ඔහු අපට ඉතිරි කර ගිය නිර්මාණයන් සර්වකාලීනය. ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියාගේ හිඩැස පියවෙනතුරු ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම මියගියද ජෝ අබේවික්‍රම නම් ප්‍රතිභාපූර්ණ චරිතාංග රංගන ශිල්පියා මිය නොගියේ යැයි සිතා ඔහුගේ රුව දෙස බලා අපි සැනසෙන්නෙමු.

0 comments:

Post a Comment