----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මට තරුණ පරම්පරාව අභියෝගයක්‌ නොවෙයි

Sunday, May 6, 2012

මට තරුණ පරම්පරාව අභියෝගයක්‌ නොවෙයි
කුමාරසිරි පතිරණ


අප නුගේගොඩ නාගරික පරිසරයේ පිහිටා තිබූ ඒ නිවසට ගොඩවදින විට, සිරි පොද මහ වැස්‌සක්‌ බවට පරිවර්තනය වී තිබිණි. වැහි බිඳු බිම පතිත වන හඬ ඇරුණු විට නිවස සිසාරා ඇසුණේ මින් පෙර ශ්‍රවණය නොකළ ගීත කිහිපයක හඬය. නාගරික පරිසරයේ වුවද ඒ නිවසේ තිබුණේ එය ඉක්‌මවා ගිය සන්සුන් බවකි.

මේ ගායක කුමාරසිරි පතිරණගේ නිවසයි. කුමාරසිරි පතිරණ ඉතා දිගු කලක්‌ රෝගාතුරව සිට නැවත සිය රසිකයන් අතරට පැමිණීම ඓශ්චර්යයක්‌ යෑයි ඔහු කියන්නේ එය මරණය අභිමුවට ගොස්‌ නැවත පැමිණීමට තරම් අසීරු වූ සැත්කමක්‌ දක්‌වා වූ රෝග තත්ත්වයක්‌ හේතුවෙනි. මෙය මගේ "දෙවැනි ඉපැදීම" යෑයි කුමාරසිරි කියන්නේ එහෙයිනි.

"සිතින් පතා ඉන්නම්" පිවිතුරු හද ළඟ" වැනි ගීත රාශියක්‌ නැවත අලුත් වී රසිකයන්ට දෙනුයේ ඒ "දෙවැනි ඉපැදීම" නිසාය.

කුමාරසිරි පතිරණ මේ සියලු දැ ගැන විස්‌තර අප සමඟ බෙදා ගත් අයුරුය.

"එක මොහොතක මම අසරණ වුණා කියන ආරංචියට රසික රසිකාවියෝ වැල නොකැඩී මාව බලන්න එන්න පටන් ගත්තා. ඒ අය අඬ අඬා මා එක්‌ක කතා කළා. කොච්චර සෙනඟ ආවාද කිව්වොත් ගෙදර ඉඩකඩ නැතිවෙන තරමට සෙනඟ පිරුණා. ඇත්තටම මම එදා තේරුම් ගත්තා.

මට රසිකයෝ කොච්චර ආදරේද කියලා. අද මම මේ විදියට ඉන්නේ ඒ අයගේ ශක්‌තිය මට ලැබුණු නිසයි. අසනීප වෙච්ච කාලේ මම කළේ දිගින් දිගටම පොත් ලියපු එකයි..."

කුමාරසිරි පතිරණ ගායනයෙන් ලේඛන කලාවට යොමු වුණු බව රසිකයෝ දන්නවා. ඒත් ඒ ගැන තව ටිකක්‌ විස්‌තර දැනගන්න කැමැතියි.

ඕව්..... ඒක ටික කාලයක ඉඳන් මම ආශාවෙන් කරන දෙයක්‌. අනික මම ඒක ඉස්‌කෝලේ යන කාලේ ඉඳලම කරපු දෙයක්‌. නමුත් පසුගිය කාලයේ සංගීත ක්‍ෂේත්‍රයට එකතු වීමත් එක්‌කම මම ප්‍රිය කළ ලේඛන කලාව හා සිතුවම්කරණය මගෙන් යම් තරමකට ගිලිහී ගියා. මට කාලයක්‌ තිබ්බේත් නෑ, ඒ නිසාම ඒක හිතෙනුත් අයින්වෙලා තිබ්බේ.

මම අසනීප වෙලා හිටපු පසුගිය කාලයේ නවකතා පොත් පහක්‌ හා ළමා කතා පොත් හැටක්‌ ලියලා ඉවර කරලා තියෙනවා. ළමා කතා පොත් විස්‌සක චිත්‍ර ඇඳලා දැන් වෙළෙඳපොළට නිකුත් කරලා තියෙනවා. මගේ පළමු නවකතාව "පිවිතුරු හද ළඟ" නමින් වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා.

ඔබේ පළමු "කැපට්‌ පටය" නිකුත් කළෙත් ඒ නමින් තමයි.

ඔව්.... ඒ නමින්ම තමයි මම නවකතාවත් එළිදැක්‌වූයේ.

ගායකයාට තිබ්බ ප්‍රතිචාරය නවකතා කරුවාටත් තියෙනවද?

ඔව් එහි පිටපත් දස දහසකට ආසන්න සංඛ්‍යාවක්‌ මේ වන විට එළි දක්‌වා තිබෙනවා. ලංකාවේ කිසිදු පොත්හලක එය මිලදී ගන්න නෑ. දෙවැනි මුද්‍රණය මැයි මස මැද භාගයේ දී වෙළෙඳ පොළට නිකුත් වෙයි.

පොතේ ප්‍රකාශකයත් ඔබමයි.

ඔව්. මම ඒක පිටට දෙන්නේ නෑ. කර්තෘ ප්‍රකාශනයක්‌ විදියටයි පොත එළි දකින්නේ.

ගායකයා යටපත් වෙලා ලේඛකයා ඉස්‌මතු වෙන්නේ ගායකයාට ඇති ඉල්ලුම අඩුවෙන නිසාද?

නෑ..... කිසිසේත්ම නෑ. මම අසනීප වෙලා හිටපු කාලයේ දී මම හිතුවේ බොහෝ දෙනෙකුට මාව අමතක වෙලා ඇති කියලයි. මොකද මම වසර පහක හයක පමණ කාලයක්‌ රෝගාතුරව හිටියා. ඒ කාලයේ ක්‍ෂේත්‍රයට කිසිසේත්ම සම්බන්ධ වෙලා හිටියේ නෑ. රූපවාහිනියක, ගුවන් විදුලියක මගේ ගීත ඇහුණේම නෑ. හැබැයි ඊට පස්‌සේ මට මගේ ගීත ඇතුළත් සී.ඩී පට තුනක්‌ම කරන්න ලැබුණේ මගේ ගීත වලට තිබෙන ඉල්ලුම නිසා කියලයි මම හිතන්නේ. "සිතට ආපු ආදරේ" සිල් සුවඳත්, මගේ දේවී" කියන කැසට්‌ පට තුනම වෙළෙඳපොළට නිකුත් කළා. ඒවාට වෙළෙඳ ප්‍රචාරයක්‌ හෝ යම් කිසි ඇගයීමක්‌ කිසිදු රූපවාහිනි නාලිකාවක හෝ ගුවන් විදුලි නාලිකාව සිදුවුණේ නෑ. ඒ ගීත කිසිදු නාලිකාවක ප්‍රචාරය වෙන්නේ නෑ.

ඒ ඔබට මේ වෙනකොට ක්‍ෂේත්‍රයේ එතරම්ම පිළිගැනීමක්‌ නැති නිසා නෙවෙයිද?

නෑ. මේ වෙනකොට තරුණ පරපුර වැඩියෙන්ම අහන්නේ මගේ ගීත එතරම්ම අලෙවියක්‌ ඒ සී.ඩී. පටවලට තිබෙනවා. මට ඇත්තටම දැන් කතා කරන්නේ, හිතන්නවත් බැරි තරම් වයසේ රසිකයෝ. සමහර අය හත අට පංති වල අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් ඒ අය කියන්නේ මාව දැකල නැති වුණත් දැන් අහන බොහෝ ගීත වලට වඩා මේ ගීත වලට ඒ අය ප්‍රිය කරන බවයි. මට මේ කාරණේ හොඳින්ම දැනිලා තියෙනවා. ඒ අය කියන්නේ මාව රූපවාහිනි නාලිකාවක හෝ වේදිකාවෙන් දැකලා නැති බවයි. එයින්ම පේනවා මාව ක්‍ෂේත්‍රයෙන් ප්‍රතික්‍ෂේප නොවුණ බවත් අලුත් පරම්පරාවක්‌ මාඑක්‌ක ඉන්න බවත්.

රූපවාහිනි නාලිකාවක කෙසේ වෙතත් වේදිකාවේදී ඔබ හෝ දකින්න නෑ කියන්නේ කොහොමද ඔබ ප්‍රසංග වේදිකාව අත් හැරලද ?

නෑ.....නෑ. මට ඕන තරම් ප්‍රසංග තිබෙනවා හැබැයි මම ප්‍රතිපත්තියක්‌ විදිහට ප්‍රසංග වේදිකාවක මගේ ගීත ගායනා කරන කොට ඒවා වීඩියෝ ගත කරන්න දෙන්නේ නෑ. මොකද ඊට පස්‌සේ ඒ ප්‍රසංග තැටිගත කරලා "පේව්මන්ට්‌වල පවා විකුණන්න දාලා තියෙනවා. මම හිතන්නේ අපේ වටිනාකම ඒ අය තුට්‌ටුවටම දානව කියලයි. එහෙම දැක්‌කාම රසිකයන්ටත් අපිව එපා වෙනවා. අන්න ඒ වීඩියෝ පටවල මාව දකින්න නැති නිසා වෙන්න ඇති ඔහොම කියන්නේ. මට මේ ගමන හරි සැහැල්ලුයි..... සුන්දරයි මම බොහෝ විට රසික රසිකාවියන් හඳුනාගන්නෙත් ප්‍රසංග වේදිකාව හරහා පමණයි.

පැරණි ගායක ගායිකාවන් බොහෝ දෙනෙක්‌ මෙන් ඔබත් යෑපෙන්නේ ඔබේ පැරණි ගීත වලින්මයි. ඇයි අලුත් ගීත නිර්මාණය නොවෙන්නේ? ඒවා ජනප්‍රිය නොවෙයි කියලා හිතෙනවාද? අලුත් පරම්පරාව එක්‌ක හරි හරියට නිර්මාණ කරන්න අපහසුද?.

නෑ..... මම කවදාවත් පරණ ගීත මතම යෑපෙන්න උත්සාහ දරන්නේ නෑ. මම හැම මොහොතකම අලුත් නිර්මාණයකට ඉඩ හදාගන්නවා. මැයි මාසයේ මම අලුත්ම ගීත එකතුවක්‌ එළි දක්‌වන්න සූදානම්. ඒ හැම ගීතයකම ගී පද රචකයා මම, තනු නිර්මාපකයා මම, සංගීත අධ්‍යක්‌ෂවරයාත් මමයි. ඇත්තටම මට මේ මොහොත වනවිටත් අලුත් පරම්පරාව අභියෝගයක්‌ නොවෙයි. මට නිෂ්පාදකයොත් ඕන තරම් ඉන්නවා. ඒත් මම ඉදිරියේදී මගේම කැසට්‌ නිෂ්පාදන ආයතනයක්‌ පටන් ගන්නවා. මගේ පුතා එක්‌ක මේ ව්‍යාපාරික කටයුත්ත එළිදක්‌වන්නේ. කේ. පී. මියුසික්‌ නමින් මගේ අලුත් ගීත එකතුව එළි දැක්‌වෙන්නෙ ඒ නිෂ්පාදන ආයතනයෙන්.



සංවාදය - උදේශ සංජීව ගමගේ
ඡායාරූප - සිරිපාල හල්වල

Diyayina

0 comments:

Post a Comment