----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

නොමනා හැසිරීම අවසානයේ උසාවිය දක්‌වා දුරදිග ගියා.

Monday, April 30, 2012

"සීතා මං ආවා" චිත්‍රපටය සහය
අධ්‍යක්‍ෂණය කිරීම මා ලද භාග්‍යයක්‌
- දීප්ති වගීශා

කලා ලොවේ දස වසරක අත්දැකීම් පොදි බැඳගත් ඇය, රංගනයට, නිරූපණයට, පිටපත් රචනයට, ගී පබැඳුමට සහ ගීත ගායනයටද සමත්කම් දක්‌වමින් ප්‍රවීණ කලා ශිල්පීන්ගේ නොමඳ පැසසුමටද ලක්‌වීමට තරම් වාසනාවන්ත වූවාය. කලා නිර්මාණයක සුවිසාල කාර්ය භාරයක්‌ වන සහය අධ්‍යක්‍ෂණයටද පිවිසි ඇය, මේ වනවිට ටෙලි නිර්මාණ 15 ක්‌ සහ, සිනමාපට 4 ක්‌ද සහය අධ්‍යක්‍ෂණය කරමින් සිය දක්‍ෂතාවන් එළිදක්‌වා ඇත. ප්‍රවීණ කලා ශිල්පී, ජයසේකර අපොන්සු අධ්‍යක්‍ෂණය කළ, "සීතා මං ආවා" චිත්‍රපටයේද සහය අධ්‍යක්‍ෂිකාව වන්නේ අප කතා නායිකාවයි. මේ චිත්‍රපටය නුදුරේදීම ප්‍රදර්ශනයට නියමිතය. නමින් දීප්ති වගීශා කුමාරි වන ඇය, "දිවයින සිනමා කලා" හා එක්‌ව පැවැත්වූ සංවාදයේදී සිය කලා දිවියේ තොරතුරු පිළිබඳව අප සමඟ පැවසුවේ මෙවන් අදහස්‌ ය.

කලාව පිළිබඳව ඔබේ උනන්දුව සහ දක්‍ෂතාවන් ඇතිවූයේ කොතනදී ද?

මාතර මහමායා බාලිකාවේ මා අධ්‍යාපනය ලබන අවධියේ ක්‍රීඩාව සහ කලාව යන දෙඅංශයටම විෂය බාහිරව දක්‍ෂතා දැක්‌වූවා. පාසලින් පසු ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතාගේ රංග පාසලට එක්‌වී වසර දෙකක්‌ නාට්‍ය හා රංග කලාව පිළිබඳව පාඨමාලාවක්‌ කළා. "අජාසත්ත", "කළුමිටි" ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයකත්, වීථි නාට්‍ය සංදර්ශන කිහිපයකටත්, මා රංගන දායකත්වය එක්‌කළා.

රංගනය වෙනුවෙන් කැමරාවට මුහුණ යොමුකළ ප්‍රථම අවස්‌ථාව පිළිබඳව මතකය කෙබඳුද...?

2002 වසරේදී කලා ශිල්පී ප්‍රියන්ත පතිරගේ මහතා අධ්‍යක්‍ෂණය කළ, "ආදරණීය සුදු නංගි" ටෙලි නිර්මාණය මා රංගන දායකත්වය ලබාදුන් මුල්ම අවස්‌ථාව. ඊට පසු, "මකර දඩයම", "සමනල දඩයම", "අනෝරා", "බොර දිය දහර", "මනෝගේ ලෝකය", "කිදුරංගනා" ඇතුළු ටෙලි නිර්මාණ 15 කදී පමණ මේ වන විට මා මගේ රංගන හැකියාවන් පෙන්වා තිබෙනවා. මේ සෑම තැනකදීම ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ උරෙනුර ගැටී රංගනයෙහි නියෑළුණු නිසා ඔවුනගේ පැසසුමටත්, ඒ ආභාෂයන් මගේ කලා දිවියට ශක්‌තියක්‌ කොට ගැනීමටත් හැකිවූ බව පවසන්නේ නිහතමානී වූ ආඩම්බරයකින්.

මෙතෙක්‌ කළ රංගනයන් වෙනුවෙන් ලැබුණු ජනතා ප්‍රසාදය පිළිබඳව ඔබ තෘප්තිමත්ද?

"මනෝගේ ලෝකය" හි මා රඟපෑ දමිළ කාන්තාවගේ චරිතයටත්, "බොර දිය දහර" සෝමාගේ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. රංගනය වෙනුවෙන් යමක්‌ කළ හැකිවූ චරිත මා මේ වන විට නිරූපණය කොට තිබෙනවා. කොහොම වුණත්, රඟපානවා යෑයි කියන්නේ පෙනී සිටීමකට නොවෙයි. ඒ නිසා...පෙනී සිටීම සඳහා පමණක්‌ ලැබුණු චරිත බොහොමයක්‌ මා අතහැර දැමුවා.

සහය අධ්‍යක්‍ෂණයට පිවිසෙන්නේ කොතනදීද...?

මා රංගන දායකත්වය දැක්‌වූ 4 වන ටෙලිනාට්‍ය නිර්මාණය වූ, බොර දිය දහර, මට ඒ සඳහා මඟ විවර කර දුන්නා. අධ්‍යක්‍ෂ ප්‍රියන්ත පතිරගේ මහතා තමයි මා එයට යොමු කළේ. රංගනයෙහි යෙදෙමින් සහය අධ්‍යක්‍ෂණයත් සිදුකරළීම මට අලුත් අත්දැකීමක්‌ වූවත්, මෙහි දෙවැනි සහය අධ්‍යක්‍ෂිකාව වෙමින් එA අභියෝaගය ජයගත්තා.

මේ දක්‌වා ඔබේ සහය අධ්‍යක්‍ෂණයට නතුවූ නිර්මාණ පිළිබඳව යමක්‌ පැවසුවොත්..

"බොරදිය දහර", "සමනල දඩයම", "සිපුරි වාසනා" ඇතුළු ටෙලි සහ සිනමා පට 15 කදී පමණ මා සහය අධ්‍යක්‍ෂිකාව වුණා. අවසන් වරට මා සහය අධ්‍යක්‍ෂණය සිදුකළේ, ප්‍රවීණ කලා ශිල්පී ජයසේකර අපොන්සුගේ "සීතා මං ආවා" සිනමා පටයේදීයි. එය නුදුරේදීම තිරගත වෙයි.

සහය අධ්‍යක්‍ෂණය කියන භූමිකාව පිළිබඳව කෙටියෙන් යමක්‌ පැවසිය හැකිද...?

ඇත්තෙන් මෙය, කලා නිර්මාණයක භාරදූර කර්තව්‍යයක්‌. වගකීම් සහිතයි. ඒ නිසා දැඩි කැපකිරීමෙන් සහ සංයමයෙන් මෙය ඉටුකළ යුතුයි.

වඩා වැදගත් වන්නේ මේ පිළිබඳව දැනුවත්ව සිටීමයි. එසේ නොමැති අවස්‌ථාවලදී සිදුවන්නේ අධ්‍යක්‍ෂක සමඟ ගැටුමකට යැමයි. හැබැයි, අවබෝධයෙන් වැඩ කරන්නන්ට මෙවැනි තත්ත්වයක්‌ ඇතිවන්නේ නැහැ.

ඔබ කලා ශිල්පිණියක වීම පිළිබඳව අද සිටින්නේ සතුටින්ද..?

වසර දහයක්‌ වූ මගේ කලා දිවියේදී සැප දුක කියන දෙකම අවබෝධ කරගත්තියක ලෙස තමයි දිවි ගෙවන්නේ. ඇත්තෙන්ම මා ජීවත්වන්නේ කලාව නිසා. ඒ නිසා කලාව ජීවත් කළ හැකි සෑම තැනකදීම ඒ වෙනුවෙන් මා පෙනී සිටිනවා. කලා ලෝකය තුලත් අසාධාරණ ක්‍රියා නැතුවා නොවේ. බොහෝ විට නිර්මාණ සඳහා අප දක්‌වන ලද දායකත්වයන් වෙනුවෙන් ගෙවීම් සිදුකරන අවස්‌ථාවලදී එවැනි ක්‍රියා සිදුවෙන බව පැවැසිය යුතුයි. මෙවැනි අවස්‌ථාවන් හි අවසානය නීතිය ඉදිරියට යැම දක්‌වා වර්ධනය වී තිබෙනවා. එය කනගාටුදායක තත්ත්වයක්‌.

පසුගිය සමයේ ඔබට යම් අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවූ බව පුවත්පත් වාර්තාකොට තිබුණා. ඒ සිදුවීම ගැන කියන්න සතුටුද?

ඒ සිදුවීම් වුණේ මා බසයෙන් ගමේ යමින් සිටි අවස්‌ථාවක. යම් පුද්ගලයකුගේ නොමනා හැසිරීම අවසානයේ උසාවිය දක්‌වා දුරදිග ගියා. මෙතන දී මා කියන්නේ ඒ පුද්ගලයාට වෙනස්‌ ආකාරයකින් සමාජය දෙස බැලිය යුතුව තිබූ බවයි. මම එහෙම කියන්නේ කාන්තාව කියන්නේ සෑම පුද්ගලයකුගේම මවක්‌ හෝ සොයුරියක්‌ ලෙස සිතායි. එදා ඔහු කරපු වරදට උසාවියේදී වන්දි ගෙව්වා. නන්නාදුනන කාන්තාවකට වැද නමස්‌කාර කොට සමාව ඇයදුවා. ඔහුගෙන් වන්දි ඉල්ලන්න කිව්වා. නමුත් මා එසේ කළේ නැහැ. කලාකරුවා කියන්නේ මහජනතාවට ආදරය කරන්නෙකුට. ඉතිං කලා ශිල්පිණියක ලෙස මා ඒ ගැනත් දෙවරක්‌ සිතුවා.

අනාගත සැලසුම් මොන විදිහද...?

මේ වසර අවසානයට ප්‍රථම ටෙලි නාට්‍යයක්‌ අධ්‍යක්‍ෂණය කිරීමට බලාපොරොත්තුවෙන් පසුවෙනවා.

ඊට අමතරව පිටපත් රචනයක්‌, ගීත ගැයීමත් ගීත ලිවීමත් තව දියුණුකර ගන්නට වෙහෙසෙනවා. මේ දිනවල ජනප්‍රිය වී ඇති "රෑ අහස පුරා නිල් තාරුකා පායලා" නම් වූ ගීතය මගේ පබැදුමක්‌. ගායනා කරන්නේ නිරෝෂ් ඉන්දික. මේ වන විට මා රචනා කළ ගීත 10 ක්‌ පමණ ජන ප්‍රසාදයට ලක්‌වුණා. මා වෘත්තියෙන් රංගන ශිල්පිණියක්‌ වූවත්, වැඩි කැමැත්ත අධ්‍යක්‍ෂණයට. ඉදිරියේදී ඒ සඳහා වැඩි අවකාශයක්‌ ලබාගැනීම තමයි සැලසුම.

ඔබේ පවුලේ තොරතුරු......

මගේ පවුලේ සාමාජිකයන් 5 යි. නැඟණියන් දෙදෙනයි. මා විවාහකයි. මගේ දුව නේත්මානි දිල්කි. වයස 13 යි. ඇය මා උගත් පාසලේම ඉගෙනුම ලබනවා. නො.147, නව නිවාස, විවෘත විශ්ව විද්‍යාල පාර, නූපේ මාතර ලිපිනයත්, 075-9286269 දුරකථන අංකයත් මෙලෙස සටහන් කරනුයේ, දීප්ති වගීශා කලා ශිල්පිණිය සමඟින් තවදුරටත් තොරතුරු හුවමාරු කර ගැනීමේ පහසුව ඔබට සලසමිනි. අපි ඇඟේ ඉදිරි කලා දිවියට මෙලෙස සුබ පතමු.

සුජීව තත්සර
ඡායාරූප - වාසල සේනාරත්න


Divayina

2 comments:

මා ඇයට කැමතියි

මා ඇයට කැමතියි

Post a Comment