----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

විශේෂ හෙළිදරව්වක්...................????????????

Monday, April 30, 2012

එක ගීතයයි, රචකයෝ දෙතුන් දෙනයි

මේ බුද්ධිමය දේපළ අයිතිය කාටද



විශේෂ හෙළිදරව්වක්!


ගී පද රචනය බුද්ධිමය දේපළකි. සමහර විට එම බුද්ධිමය දේපළ සිතාමතාම මංකොල්ල කන අවස්ථා මෙන් ම වැඩි අවධානයක් නොදීම හේතුවෙන් සැබෑ නිර්මාණකරුට අහිමි වී යන අවස්ථා ද කොතෙකුත් දකින්නට ඇත. එවැනි අවස්ථා වලදී එකම ගී පද රචනය සඳහා වරින් වර රචකයින් දෙතුන් දෙනෙකුගේ නම් සඳහන් කෙරී ඇති බැව් ඒ පිළිබඳව විමර්ශනය කරනා කා හට වුව ද අනාවරණය කරගත හැකි කරුණකි. එහෙයින් ඇතැම් ගීත සැබැවින් ම පද රචනය කළ ගී පද රචකයින් කවුරුන් ද යන වග දැන ගැනීම බරපතළ ගැටලුවක් බවට ද පත් වී ඇත.
අප පමණක් නොවේ සිංහල ගී පද රචනා ක්ෂේත්‍රයට මහඟු මෙහෙවරක් ඉටු කර ඇති මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ද එවැනි ගැටලුවලට මුහුණ පා අසීරුවට පත් වූ අවස්ථා ඇත. (උදාහරණයක් ලෙස සුනිල්ගේ ‘නූතන ගේය කාව්‍ය සංහිතා’ 2009 සිව්වෙනි මුද්‍රණයේ 59 පිටුවේ ඇලෝයි ගුණවර්ධන නමින් පළකර ඇති ‘පායා ඇයි හිනැහෙන්නේ’ ගී පදමාලාව ගුණරත්න අබේසේකර විසින් රචිත ගී පදමාලාවක් බවට දැනට කරුණු හෙළි වෙමින් තිබීම අපිට සැළකිල්ලට ගැනීමට පුළුවන)
විශේෂයෙන් ම මෙම ලිපියෙහි අප විසින් සඳහන් කරනු ලබන ඇතැම් ගීත නිර්මාණ කළ පද රචකයින්ගෙන් සමහරෙකු අද වනවිට ජීවතුන් අතර නොමැති හෙයින් ද ගී පට, තැටි, ගීත පොත් මෙන් ම විද්්‍යුත් මාධ්‍ය මගින් ද අදාළ ගී පද රචකයින් පිළිබඳ පරස්පර විරෝධීව නම් සඳහන් කරනු ලබන හෙයින් ද මෙම තත්ත්වය සැබෑ නිර්මාණකරුවන්ට හානිදායක වී ඇති අතර වඩාත් බරපතළ ගැටලුවක් බවට ද පත් වී ඇත.
පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශී
නැති වී - නැති වී නම් ඇගෙ මූණේ
නිල්වන් දෙනෙතේ කාන්තී...!

(ගැයුම - එච්.ආර්. ජෝතිපාල)
“පායා ඇයි හිනැහෙන්නේ” ගීතයේ පද රචකයා ලෙස ගුණරත්න අබේසේකරගේත්, ඇලෝයි ගුණවර්ධනගේත් නම් වරින්වර යොදා ගෙන ඇති අතර එලෙස ඇලෝයිගේ නම ද වෙනත් පද රචකයින්ගේ නම් ද සඳහන් කෙරී ඇති තවත් ගීත කිහිපයක් මුලින් ම ඉදිරිපත් කරමු.
“සුවඳයි මුවේ මල් පැණි” (සරත් මුණසිංහ එනම් දැන් මීගහවෙල සුමනශාන්ත හිමි) - “මුලදී බැන්ඳ ආදරයක මිහිර” (කරුණාරත්න අබේසේකර) - “ඇස් දෙක වාගෙ හිටිය” (චිත්‍රානන්ද අබේසේකර) - “අහන්න මගෙ හොඳ පුංචි පුතේ” (කරු) - “මගෙ ජීවිතයේ සතු වී තිබූ දෙයක්” (කරු) - “පිළිගන්න මම චන්න ඇමැතී” (කරු) - “මා ලැබූ ජීවිතයේ” (ප්‍රේමකීර්ති ද අල්විස්) - “ආදරේ මට නෑ කියා” (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ) - “ආලය කාටත් පොදු දෙයකි” (කරු) එම ගීතය. එම ගීත පද රචනය කළේ ඇලෝයි විසින් ද නැත්නම් අප වරහන් තුළ සඳහන් කර ඇති ගී පද රචකයින් විසින් ද යන වග ගැටලුවක් නොවේ ද?
ගංගා යමුනා හා වුණා - සිසිලෙහි සිසිලක් පා වුණා
දෙහදක් අද දින යා වුණා - ඒ ඔයයි මමයි...!

(ගැයුම් - පැට්‍රික් දෙනිපිටිය, මල්ලිකා ද සිල්වා)
සිරිල් ඒ සීලවිමලගේ නම විටෙකත් තවත් විටෙකදී කරුණාරත්න අබේසේකරගේ නමත් පද රචකයා ලෙස යොදා ගෙන ඇති “හොඳ සිරියාවයි ආකාසේ” ගීතයේ බුද්ධිමය දේපළ අයිතිය කවුරුන් සතු විය හැකි ද? තවද සීලවිමල ද, ප්‍රේමකීර්ති ද නැත්නම් චිත්‍රානන්ද අබේසේකර ද සැබෑ පද රචකයා යන වග නිරාකරණය කරගත යුතු තවත් ගීතයකි.
“හිස් ටින් එකක් වගෙයි අපේ ජීවිතේ” නම් ගීතයක්. (අප දන්නා අයුරු නම් එය “දැන් මතකද” චිත්‍රපටය සඳහා සීලවිමල විසින් රචිත ගී පදමාලාවකි. එහෙත් තවත් පද රචකයින් දෙදෙනෙකුගේ නම් මේ ගීතයට ඈදුණේ කෙලෙසින් දැයි අපි නොදනිමු) “කවුද ඔබ කවුරුන්දෝ” ගීතයට ද පද රචකයින් ලෙස වරින් වර සීලවිමල, ප්‍රේමකීර්ති සහ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ යන තිදෙනාගේ නම් වෙන වෙනම සඳහන් වී ඇත.
“මල් කැකුලී කෝමලී මනාලී” ගීතයේ පද රචකයා ලෙස ජෝර්ජ් ලෙස්ලිගේ නම් වරෙක දීත් තව වරෙකදී රවිලාල් විමලධර්මගේ නමත් සඳහන් වී තිබේ. එසේ ම ‘’ඔකඳ වෙලා සිත” ගී පද මාලාවේ පද රචකයා ලෙස වරින් වර වෙන වෙන ම ධර්මසිරි ගමගේ. ජෝර්ජ් ලෙස්ලි සහ ක්ලැරන්ස් විජේවර්ධනගේ නම් යොදා ගෙන ඇත.
ක්ලැරන්ස් පද රචකයා ලෙස විටකදීත් තවත් විටක දී ප්‍රේමකීර්ති පද රචකයා ලෙසත් “මදහස පාලා ඔබේ අත දීලා” ගීත පදමාලාව වෙනුවෙන් යොදා ගෙන ඇත. එමෙන් ම “උමයංගනියෝ සුර ලාලනියෝ’ ගීතයේ පද රචකයා ලෙසින් ද ක්ලැරන්ස්ගේ නම මෙන් ම කරුණාරත්න අබේසේකරගේ සහ කේ.ඩී.කේ. ධර්මවර්ධනගේ නම් ද වෙන් වශයෙන් යොදා ගෙන තිබීම අපට නම් ගැටලුවකි. “ඈත රන් විමන්” ගීතයට ද පද රචකයා ක්ලැරන්ස් ගේ නම සේම ෂෙල්ටන් වීරරත්නගේ නම ද සඳහන් කෙරී ඇත.
“මල් පිබිදෙන එක වසන්ත සමයක” ගීතයට පද රචකයා ලෙස ක්ලැරන්ස් ගේ නම සේම කරුණාරත්න අබේසේකරගේ නම ද වෙන වෙනම යොදා ගත් අවස්ථා ද ‘දිනෙක මේ නදී තිරේ’ පද රචකයා ලෙස ක්ලැරන්ස් ගේ නමත් කුලරත්න ආරියවංශගේ නමත් වෙන වෙනම සඳහන් වූ අවස්ථා ද ඇත.
මඟ තොටදී හමුවෙද්දී - අපට කතා හැදුණා
ලොව කැළඹී ගිනි ගද්දී - දෙදෙනා
කතා කෙරුවා...!

(ගැයුම - මිල්ටන් මල්ලවආරච්චි)
“මඟ තොටදී” යනුවෙන් ඇරඹෙන ගීත කිහිපයක් ම මිල්ටන් මල්ලවආරච්චි විසින් ගායනා කර ඇති අතර එම ගීත සඳහා ද වරින්වර ගී පද රචකයින් කිහිප දෙනෙකුගේ නම් යොදා ගෙන ඇත. ඒ මෙසේ ය. “මඟ තොටදී හමු වෙද්දී” ගීතයට කේ.ඩී.කේ. ධර්මවර්ධන සහ ප්‍රේමකීර්ති ද අල්විස් ලෙසින් ද ‘මඟ තොට දී හමුවෙලා’ ගීතයට කේ.ඩී.කේ.., ප්‍රේමකීර්ති සහ ක්ලැරන්ස් ලෙසින් ද - ‘මඟ තොටෙහි ද නැත හමුවෙන්නේ” ගීතයට වර්නන් පෙරේරා, ප්‍රේමකීර්ති සහ කේ.ඩී.කේ. ලෙසින් ද වේ.
කේ.ඩී.කේ. ධර්මවර්ධන පද රචකයා ලෙසින් වරෙක සඳහන් වී ඇති “හවසට පායා අරුණේ සැඟවෙන” ගීතයේ පද රචකයා ලෙස තවත් වරෙක දී ප්‍රවීණ සංගීතඥයෙකු ව සිට නැසී ගිය ස්ටැන්ලි පීරිස්ගේ නම ද සඳහන් කෙරී ඇති අතර “ආදරේ රන් බිඟුන් නැසු බාඳුරා මල” ගීතයේ පද රචකයා ලෙස කේ.ඩී.කේ. ගේ මෙන් ම ප්‍රේමකීර්තිගේ නම් වෙන වෙනම යොදා ගත් අවස්ථා ද ඇත. එමෙන් ම “වෙන්වන්නවදෝ ළං වූවේ” සහ “ළංවන්නවදෝ වෙන් වූවේ” යන ගීත පද මාලාවන්ට ද රචකයින් දෙදෙනෙකුගේ නම් වෙන වෙනම සඳහන් කෙරී ඇත. ඒ, කේ.ඩී.කේ. සහ උපාලි ධනවලවිතාන ගී පද රචකයින්ගේ නම් ය.
උපාලි ධනවලවිතාන ගී පද රචකයා ලෙස වරෙක සඳහන් කෙරෙන “වලා වියන් තරු සෙවණේ සිහින සැදැල්ලේ” ගීතයේ පද රචකයා ලෙස තවත් වරෙකදී සඳහන් කෙරෙන්නේ ගාමිණී විජේතුංග යනුවෙන් ය. එසේ ම ‘අතීත දිවියේ අනන්ත අඳුරේ’ ගීතයට ද වෙන් වෙන්ව උපාලිගේත් කරුණාරත්න අබේසේකරගේත් නම පද රචකයා ලෙස සඳහන් වී ඇති අතර ‘මංගල නැකතින් යන්නට’ - ‘හදවත ඉල්ලා’ - ‘මේ ගංගා ධාරේ’ සහ ‘රුවට රුවේ සකුරා ඉවුරේ’ වැනි ගීත සඳහා පද රචකයා ලෙස උපාලිගේ නමත් එකී ගී අනුපිළිවෙළට සේන සමරසිංහ, වර්නන් පෙරේරා, ආචාර්ය අජන්තා රණසිංහ සහ කුලරත්න ආරියවංශ යන ගී පද රචකයින්ගේ නම් සඳහන් කෙරී තිබේ.
අජන්තා ගී පද රචකයා ලෙසින් විටෙකදී සඳහන් කෙරී ඇත “මාළිගා පෙම් මාළිගා” ගීතයේ තවත් විටෙකදී පද රචකයා ලෙසින් සඳහන් කෙරී තිබෙන්නේ පේ‍්‍රමකීර්ති ය. ප්‍රේමකීර්ති ගී පද රචකයා යයි විටෙක සඳහන් කෙරී තිබෙන ‘කුරුල්ලනේ මේ රාජ කුමාරිට කුමාරයෙක් නෑ” ගීතයේ පද රචකයා ලෙස අජන්තාගේ හෝ උපාලිගේ නම් සඳහන් කෙරුණු අවස්ථා ද වේ. “හන්තානේ කඳු මුදුන සිසාරා” ගීතයේ පද රචනයට ද අජන්තාගේ නම වරෙක සඳහන් වන අතර තවත් වරෙකදී විජය රාමනායකගේ නම සඳහන් වේ.
“මනලෝලි මනමාලියේ” ගීතයේ පද රචකයා රූකාන්ත ගුණතිලක ලෙස සඳහන් කෙරෙන අවස්ථාවන් මෙන් ම හේමසිරි හල්පිටගේ නම සඳහන් වන අවස්ථා ද වේ.
දසක ගණනක් පුරා නත්තල් සමයේ දී ඇසෙන “පුළුන් වගේ සුදු රැවුල දිගයි” ගීතයට සහ “සිහිල් සුළං පාවී දස අතට හමන්නේ” ගීතයටත් පද රචකයින් ලෙස දෙදෙනෙකුගේ නම් වරින්වර යොදා ගෙන තිබේ. ඒ - උපාලි අත්තනායක සහ සී.ඩී. ෆොන්සේකාගේ නම් ය.
ජනප්‍රිය ළමා ගීත දෙකක් වන ‘හිංචි පිංචි හාවා’ සහ ‘ටක් ගානවා ටික් ගානවා’ සඳහා ද ගී පද රචකයින් සිව් දෙනෙකුගේ නම් සඳහන් කෙරෙමින් ඇත. ‘හිංචි පිංචි හාවා’ ගීතයේ පද රචකයා ලෙස ක්ලෝඩ් ද සොයිසාගේ සහ කරුණාරත්න අබේසේකරගේ නම් ද ‘ටක් ගානවා ටික් ගානවා’ ගීතයේ පද රචකයා ලෙස ප්‍රේමකීර්ති ද අල්විස්ගේ සහ ඈ. ලයනල් ද සිල්වාගේ නම් වෙන් වශයෙන් වරින්වර සඳහන් කෙරේ.
දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල් වියේ
නොදැනීම අපගේ ම සිත් යාවුණා
දසුනින් ම හසුනක් මවා...!

(ගැයුම - සනත් නන්දසිරි)
මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි ගයන ‘දඟකාර ඔය දෑස’ ගීතය අප දන්නේ සුනිල් ගුණවර්ධන විසින් රචිත ගී පදමාලාවක් ලෙසින් ය. එහෙත් මෑතකදී පුද්ගලික විද්්‍යුත් මාධ්‍යයකින් අසන්නට ලැබුණේ මෙම ගීතයේ පද රචකයා ප්‍රණීත් අබේසුන්දර බැව් ය. එමෙන් ම සඳළු තලේ සිට පෙරමඟ බලනා මානවිකාවියෙ’ ගීතයේ පද රචකයා ලෙස නිමල් රත්නසිරි රූපසිංහ අප හඳුනාගෙන උන්නත් එම ගීතයේ පද රචකයා ලෙස සුනිල් ගුණවර්ධනගේ නම් සඳහන් වූ අවස්ථා ද ඇත.
“මැණිකේ ඔබේ සිනාවේ” ගීතයේ පදමාලාවට ද විමලදාස පෙරේරා සහ හේම ශ්‍රී ද අල්විස් යන පද රචකයින් දෙදෙනාගේ නම් වෙන වෙනම වරින්වර සඳහන් කෙරී ඇති අතර හේම ශ්‍රී සහ තලවතුගොඩ සරත් චන්ද්‍රසිරි ‘මගෙ දෑසෙ කඳුළු’ ගී පදමාලාවේ අයිතිය සඳහා මේ දිනවල ‘රසඳුන’ මගින් කරුණු සනාථ කරමින් සිටියි. ඒ හා සමගාමීව ‘රුවන් අඹර සෙමර සලන’ ගීතයේ පදමාලාවේ අයිතිය පිළිබඳව ද ලලිත් එස්. මෛත්‍රිපාල සහ ලයනල් සී. ද අල්විස් ගී පද රචකයින් දෙදෙනාගේ නම් සඳහන් කෙරෙමින් තිබෙනු නොරහසකි.
කරුණා සුවඳ තවරාලු මුව පියුමේ
මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ...!

(ගැයුම - නිහාල් නෙල්සන්)
කරුණා සුවඳ තවරාලු මුව පියුමේ’ ගීතයේ පදමාලාව ද අප හොඳින් හඳුනා ගෙන සිටි නැසීගිය ගී පද රචකයෙකු වූ කොලින්ස් අලුත්ගේ විසින් රචිත ගීතයක් වුව ද එම ගීතයේ පද රචකයා ලෙස ගායන ශිල්පී නිහාල් නෙල්සන් ගේ නම සඳහන් වී තිබෙනු ද දක්නට ලැබුණි.
ලලිත කලා ඔප කරනා
සීගිරි ළඳුනේ ඇයි ඔබ තනි වී
ශෝ දුකිනී ඉන්නේ...!

(ගැයුම - චිත්‍රා සෝමපාල)
අතීතයේදී අපට ඇසුණු ඉතා රසබර ගීත ගණනාවකම පද රචකයින් අවිනිශ්චිත වී ඇති අතර ‘ලලිත කලා ඔප කරනා’ ගීතය ද ඊට අයත් වී ඇත. කෙනෙකු ‘ලලිත කලා’ ආටිගල සරත්චන්ද්‍රගේ පදමාලාවකැයි සඳහන් කරද්දී, විද්්‍යුත් මාධ්‍යයකින් එය පියසේන කොස්තාගේ පදමාලාවක් ලෙස හඳුන්වා ඇත. තවත් තැනෙක එම ගීතය හර්බට් ඇම්. සෙනෙවිරත්නගේ පදමාලාවක් යනුවෙන් සඳහන්ව තිබෙනු ද දුටුවෙමු.
“කෝ අද මැණිකා කොහෙද ගියේ” ධර්ම ශ්‍රී කල්දේරා විසින් රචිත ගීතයකැයි තැනෙක සටහන් වන අතර එය කරුණාරත්න අබේසේකර විසින් රචිත ගීතයක් ලෙස ද සඳහන් ව තිබේ. එසේ ම “දීපශිඛා දැල්වේ ජීවිත මේලාවේ” ගීතයේ පදමාලාවේ රචකයා ලෙස ධර්ම ශ්‍රී ගේ නම මෙන් ම කරුගේ නම ද වෙන වෙනම යොදා ගෙන තිබෙනු ද දකින්න ලැබුණි.
“දුර පෙනෙන තැනිතලා’ ගීතයේ පද රචකයා ලෙස සරත් විමලවීරගේ නමත් ආටිගල සරත්චන්ද්‍රගේ නමත් වෙන වෙනම කියැවේ. “ඈ නීල වරළ පීරලා” ගී පදමාලාව ද පද රචකයා පිළිබඳ ගැටලු සහිත ගී පදමාලා අතරට එක්වන්නේ එහි පද රචකයා ලෙස වරෙක දී කරු ද, තවත් විටෙකදී සරත් මුණසිංහ ද, මේ වනවිට ධනපාල උඩවත්ත ද නම් කෙරී ඇති හෙයින් ය. “මම බොහොම බය වුණා” ගීතයේ පදමාලාවට හිමිකරු ලෙස එම්.එස්. ප්‍රනාන්දුගේ නමත් වොලී බැස්ටියන් ගේ නමත් වෙන වෙනම සඳහන් වූ අවස්ථා දක්නට ලැබුණි.
“ඇයි දුක් වන්නේ කරදර වන්නේ” කරු විසින් රචිත පදමාලාවක් ලෙස මෙන් ම බ්‍රයන් ප්‍රනාන්දු විසින් රචිත පදමාලාවක් ලෙසින් ද සඳහන් කෙරී ඇත. “ඔබ නිදන්න” ගීතයේ පද මාලාවට කරු, අජන්තා සහ මෙල්රෝයි ධර්මරත්න වෙන වෙනම පද රචකයා ලෙස සඳහන් කෙරී ඇති අතර “ආයුබෝවන් ජපන් ළදේ සයොනාරා” ගීතයේ ද පද රචකයා ලෙස කරු සහ මෙල්රෝයිගේ නම් වෙන වෙනම සඳහන් කෙරි ඇත. “උන්මාදිනියේ වෙන් වී යන පිටුපාලා’ ගීතයේ පද රචකයා ලෙස කරුගේ නමත් ලලිත් එස්. මෛත්‍රිපාල ගේ නමත් වෙන් වශයෙන් සඳහන් වී තිබෙනු දකින්න හැකි විය.
“මේ පාළු මාවතේ” ගී පද රචකයා ලෙස ද කුලරත්න ආරියවංශගේ සහ වර්නන් පෙරේරාගේ නම් වෙන් වෙන්ව යොදා ගෙන තිබේ.
“සඳ වැසුනට ඉර ගිලුණට කමක් නෑ” සහ “සුජාතා” ගීත පදමාලා සිසිර සේනාරත්න විසින් රචිත ඒවා බැව් මෙන් ම ‘සඳ වැසුණට’ කරු විසින් රචිත ගීතයක් බැව් ද, ‘සුජාතා’ හර්බට් ඇම්. සෙනෙවිරත්න විසින් රචිත ගීතයක් බැව් ද සඳහන්ව ඇති අයුරු ද අප දුටුවෙමු.
ගායන ශිල්පී සී.ටී. ප්‍රනාන්දු විසින් ගයන ලද ගීත කිහිපයකම ගී පද රචකයින්ගේ නම් ගැටලු සහගත විය. “මේ ලෝකේ සැමා රසේ” (බිළිඳා නැළවේ උකුලේ) පද රචකයා ඇලන්සන් පියදාස ද නැත්නම් සරත් විමලවීර ද යන වග නිවැරදි ව කීමට වන්නේ වරින් වර වෙන වෙනම ඔවුන් දෙදෙනාගේ ම නම් එම ගීතයේ පද රචකයා ලෙස යොදා ගෙන ඇති නිසා ය. පහත දක්වන ගීත ද එම ගැටලුව සහිත ඒවා වේ. “කිමද සුමිහිරියේ’ (කරු/ සරත් විමලවීර) - “පින් සිදු වෙන්නේ අනේ බාල ළමුන්නේ” (ආර්.එන්.එච්. පෙරේරා/ විමලවීර) - ආනෙ ඩිංගක් ඉන්නකෝ’ (ඩී.සී. ජයසිංහ/ විමලවීර) - “අඹරුක් සෙවණැල්ලේ” (රත්නසේන ඩයස්/ විමලවීර) “මා බාල කාලේ” මාලනී විජේවීර/ විමලවීර) එම ගීතයන් ය.
ආදරෙ කරලා ඇති කරලා
රන් කූඩුවෙ දමලා ආහාර කවලා
පෙම් බස් දොඩවලා රස කරලා
ගියානෙ මාල ගිරවි මා තනි කරලා...!

(ගැයුම - මී මැස්සෝ)
ජනප්‍රිය කණ්ඩායම් ගීතයක් වූ ‘ආදරෙ කරලා ඇති කරලා’ ගීතයේ පද රචකයා ද ගැටලුවකි. වරෙක දී එහි පද රචකයා ජෝ.බී. පෙරේරා ය. විටෙක දී ජෝනස් පෙරේරා වන අතර තවත් විටෙකදී ලාල් හේවාපතිරත්න ය.
කරුණාරත්න අබේසේකර ද සිරි කුලරත්න ද “පියාපත් සළා මම ඔබ සොයා එම රැයේ” ගීතයේ පද රචකයා යැයි ගීත පොත් දෙකක් අතැතිව කෙනෙකු අපගෙන් විමසූ අවස්ථාවක් විය. ගී පොත් දෙකේ දෙදෙනාගේ ම නම් වෙන වෙනම පළ වී තිබුණි. අපගෙන් පැනය ඇසූ අය පැවසුවේ කැසට් පට දෙකක කවර වල ද මේ අයුරින් ම පළ වි තිබුණු බව ය. ඇත්තටම මේ බුද්ධිමය දේපළ කාගෙද? පිළිතුරු ලෙසින් කිසිවක් කීමට අපි අපොහොසත් වෙමු.
“රසඳුන” මෙම හෙළිදරව්ව කරනු ලැබුවේ සැබෑ ගී පද රචකයා කවරෙක්ද යන වග ගැටලු සහිතව (එක ගී පද රචනයට පද රචකයින් දෙතුන් දෙනෙකුගේ නම සඳහන් ව) සමාජ ගත වී ඇති ගීත අතළොස්සක් පිළිබඳව පමණි. මෙහි දැක් වූ ගීතයන්ට අදාළ හිමිකම් නිවැරදිව සනාථ කළ හැකි ගී පද රචකයින්ට සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ට සිය අයිතිය තහවුරු කරගැනීම උදෙසා ‘රසඳුන’ ඉදිරි කලාප වල ඉඩකඩ වෙන් කර දීමට අපි බලාපොරොත්තු වෙමු.



0 comments:

Post a Comment