----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

අවංක ප්‍රේමය හරිම සුන්දරයි

Friday, January 20, 2012

අවංක ප්‍රේමය හරිම සුන්දරයි

ශ්‍යාමා සෆ්නා

රූපවාහිනී වෙළෙඳ දැන්වීම් වලට රංගනයෙන් දායක වෙමින් කලා ක්ෂේත්‍රයට පිවිසුණු ශ්‍යාමා සෆ්නා මහනුවර ප්‍රදේශයේ උපන් යොවුන් නිළියකි. ශ්‍යාමා මේ වනවිට ටෙලිනාට්‍යය 10 ක් වැනි සංඛ්‍යාවකටත් චිත්‍රපට 4 කටත් තම රංගන දායකත්වය ලබා දී ඇත. ප්‍රධාන ප්‍රබල චරිතයක් නිරූපණය කිරීමට සෆ්නාට මෙතෙක් අවස්ථාව නොලැබුණ ද, ටෙලිනාට්‍ය සහ චිත්‍රපටවල මෙතෙක් නිරූපණය කර ඇති චරිතවලට සාධාරණයක් ඉටු කිරීමට ඇය සමත්ව ඇත.

ඔබ කලාවට එන්න පෙරුම් පිරූ කෙනෙක් ද?

මම පාසල් ගියේ ගම්පොළ සහිරා විදුහලට. පාසල් යන කාලෙ රංගනයට යොමු නොවුණත් නැටුම් සහ ගායනාවලට මම යම් කිසි හැකියාවක් පෙන්වූවා. පුංචි කාලෙ මගෙ හීනය වුණේ ගුවන් සේවිකාවක් වෙන්නයි. ඒත් ඒ සිහිනයට ළඟා වෙන්න මට බැරිවුණා. ඉන්පසුවයි මම වෙළෙඳ දැන්වීම් වලට රංගනයෙන් එක් වෙමින් ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගනයට සම්බන්ධ වුණේ.

මේ දවස්වල ඔබ මොනවද කරන්නෙ?

‘සිහින පියාපත’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට විටින් විට සහභාගි වෙනවා. ඉදිරියේදී තවත් ටෙලිනාට්‍ය කීපයකටම මට ආරාධනා ලැබී තියෙනව.

ඔබ මෙතෙක් රඟපෑ නිර්මාණ මොනවාද?

මට මුලින් ම රඟපාන්න ලැබුණේ සිරස නාලිකාවෙන් විකාශනය වුණු ‘හිනා ඉනා’ වැඩසටහනේ. ඉන්පසුව යසෝධරා, උත්පලා, සඳුනි, බොඳ මීදුම් වැනි ටෙලිනාට්‍ය වලත් ‘කොමන් මෑන්’, ‘සුළඟ’ ‘දාසි’ වැනි චිත්‍රපට කීපයකටත් රංගනයෙන් දායක වුණා. හැබැයි මම මෙතෙක් රඟපා ඇති චරිත ප්‍රධාන චරිත නෙමෙයි. ප්‍රධාන චරිතයක් රඟපාමින් මගේ රංගන හැකියාව පෙන්වන්න මට ආසයි. ඒ අවස්ථාව ළඟදීම උදාවෙයි කියල මම බලාපොරොත්තුවෙනුයි ඉන්නෙ.

ඔබ රංගනය හදාරල තියෙනවද?

නැහැ. ඒත් රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න ඒ පිළිබඳව හැදෑරීම අවශ්‍යයි. ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනව රංගනය ගැන ඉගෙන ගන්න.

ඔබ සතු වෙනත් කලා හැකියාවන් මොනවද?

මට බටහිර නර්තනය පුළුවන්. ඒ වගේ ම ගීත ගායනයටත් මම දක්ෂතාවයක් දක්වනවා.

විලාසිතා වලට ඔබ කැමතිද?

මෝස්තර නිරූපණය මම නියැලිලා ඉන්න තවත් ක්ෂේත්‍රයක්. නවීන විලාසිතා වලට මම කැමැතියි. හැබැයි මට ගැළපෙන විලාසිතා පමණයි මම තෝරා ගන්නේ.

ඔබේ පවුලේ තොරතුරු මොනවද?

මගෙ තාත්ත සිංහල. අම්ම ඉන්දීය මැලේ කාන්තාවක්. මට එක මල්ලි කෙනෙක් ඉන්නව. තාත්තා වැඩ කරන්නෙ විදෙස් රටක.

ඔබට භාෂා කීයක් හැසිරවිය හැකි ද?

සිංහල දෙමළ ඉංග්‍රීසි හින්දි කියන භාෂා කතා කිරීමේ හැකියාව මට තියෙනව.

ඔබට පෙම්වතෙක් ඉන්නවද?

හිටියා. දැන් ඒ සම්බන්ධය නැහැ.

ප්‍රේමය පිළිබඳව ඔබට මොනවගේ අදහසක් ද තියෙන්නෙ?

ප්‍රේමය ඉතාම අවශ්‍ය දෙයක්. අවංක ප්‍රේමය හරිම සුන්දරයි.

නිළියක් වීම පිළිබඳව ඔබ සතුටු වෙනවාද?

ඇත්තෙන් ඔව්. රංගන ක්ෂේත්‍රයට එන්න පුංචි කාලෙ බලාපොරොත්තුවක් නොතිබුණත් දැන් මම ගොඩක් සතුටු වෙනවා මේ ක්ෂේත්‍රයට පැමිණීම ගැන. ඒ මොකද කලාකරුවෙක් හෝ කලා කාමියෙක් වෙන්න හැමෝටම අවස්ථාව නොලැබෙන නිසා.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඔබට සහයෝගයක් ලැබෙනවද?

ඇත්තෙන් ම ඔව්. ප්‍රවීණයින් සමඟ වැඩ කරන්න මට අවස්ථාව ලැබිල තියෙනව. ඔවුන්ගෙන් ලැබෙන උපදෙස් වලට මම හොඳින් ඇහුම්කන් දෙනව. මම හැම විටම ප්‍රවීණයින්ට ගරු කරන කෙනෙක්. ඒ නිසා ඔවුන් මට ගොඩක් ආදරෙයි.

රංගනයෙන් ඉදිරියට එන්න ඔබට බොහෝ දෙනෙක් උදව් කරන්නත් ඇති?

ඔව්. රොෂාන් පිලපිටිය, ආනන්ද කුමාර, කපිල සමරකෝන්, සමන්ත වැනි අයගේ උදව් මට ලැබිල තියෙනවා.

ඔබ වඩාත් ම කැමැති නළු නිළියන් කවුද?

ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා කියන ප්‍රවීණ රංගන ශිල්පීන්ට මම ගොඩක් කැමතියි. ඔවුන්ට මම ගොඩක් ගරු කරනවා.

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

ටෙලිනාට්‍ය සහ චිත්‍රපටවල විවිධ චරිත නිරූපණය කරමින් රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න තමයි මගේ ආශාව බලාපොරොත්තුව.


0 comments:

Post a Comment