----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මට කවදාවත් හෘද සාක්ෂියෙන් බේරෙන්න බැහැ

Friday, January 20, 2012

රන්ජන් රාමනායක

මගේ ජීවිතය ආදරෙන් පිරිලා

සිනමාවේ මෙන්ම දේශපාලන සටන් බිමේ ද රන්ජන් රාමනායක පෙරළිකාර චරිතයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් පසුගිය කාලයේ ඔහු රටේ පුවත් මවන්නෙකු වූයේ සිය පෞද්ගලික ජීවිතයේ හැලහැප්පීම් නිසාවෙනි. නමුදු ඒ සියලු අභියෝගයන්ට පෙරලා අභියෝග කළ ඔහු ජීවිතය දෙස බලන්නේ අකම්පිතවය.

‘ජීවිතය කියන්නේ අපි බලාපොරොත්තු වන දේට නෙවේ. අපට ලැබෙන දේට.’

ඔහු මදෙස බලමින් පවසන්නේ සිනහ මුවිනි. මා රන්ජන් සමඟ අවසන් වරට පැවැත් වූ සංවාදයේදී ඔහු පැවසූ මෙවදන් තවමත් මා මතකයේ රැඳී තිබේ. ‘මම දේශපාලනයට ආවේ ජනතාවට සේවයක් කරන්න’ අද ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. කාලයත් සමඟ බොහෝ දේ වෙනස්ව ඇත. සිනමා නළු රන්ජන් රාමනායක, මහරගම ඔහු පදිංචිව සිටි කුලී නිවසින් පිටමංව අද වෙසෙන්නේ මාදිවෙල මන්ත්‍රී නිල නිවසකය.

පසුගිය කාලේ ඔබ කලා ලෝකයෙන් ටිකක් දුරස් වෙලා සිටි බවක් අපට දැනුණා?

දේශපාලන කටයුතු නිසා මම ටිකක් කාර්ය බහුල වෙලා හිටියා පසුගිය කාලේ. නමුත් ගොඩක් අධ්‍යක්ෂවරුන්ගේ ඉල්ලීම මත මම තීරණය කළා නැවත සිනමාවට එන්න. ‘කිව්වද නහී නොකිව්වද නහී’ සාර්ථකත්වයෙන් පස්සේ එවැනි චිත්‍රපට හතක් පමණ මට ලැබුණා. ප්‍රථම චිත්‍රපටය සුනිල් ටී ප්‍රනාන්දු මහත්මයාගේ ‘ජීවිතය ලස්සනයි’ ෂූටිං ඉවරයි. ක්ලීටස් මෙන්ඩිස්ගේ ‘පරපුර’ චිත්‍රපටයේ මම ද්විත්ව චරිත නිරූපණය කරනවා. ඊට පස්සේ මම සතිස් කුමාර්ගේ ‘සිංහ’ කියන හයිබජට් ෆිල්ම් එකේ රඟපාන්න පොරොන්දු වුණා. උපුල් ජයසිංහ, සුරංග අල්විස්, ජී. නන්දසේන එයාලගේ අලුත් චිත්‍රපට සඳහා දැනටමත් මට ආරාධනා කර තිබෙනවා. ඒ වගේම බූඩි කීර්තිසේනගේ අලුත්ම චිත්‍රපටයේ ප්‍රබල චරිතයකටත් මට ඇරැයුම් ලැබුණා.

අතීතයේ මෙරට විසූ යතිවරයකුගේ චරිතයකුත් ඔබට නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා?

ඔව්. ඒකත් මට සුවිශේෂයි.

කොන්ඩදෙණියේ හාමුදුරුවන්ගේ චරිතය. එහි රූගත කිරීම් ආරම්භ කරන්න නියමිතයි. මගේ පොඩි දින ප්‍රශ්නයකුයි තියෙන්නේ?

මේ චරිතවල විශේෂත්වයක් තියෙනවාද?

‘සිංහ’ චිත්‍රපටය බොලිවුඩ්, හොලිවුඩ් රීමික්ස් එකක්. දැන් එහෙම ට්‍රෙන්ඩ් එකකුත් තියෙනවනේ. එතකොට කොන්ඩදෙණියේ හාමුදුරුවෝ වෙනස්ම මාදිලියේ චරිතයක්. ඒක ඉතාම හොඳ රංගනයක් කරන්න පුළුවන් චරිතයක් කියා මට හිතෙනවා. ‘ජීවිතේ ලස්සනයි’ විනෝදාත්මක චිත්‍රපටයක්. උපුල් ජයසිංහගේ චණ්ඩියා වර්ගයේ චිත්‍රපටයේත් වෙනම රංගනයක් තියෙයි.

කලක් ඔබ හැඳින්වූවේ අපේ සිනමාවේ ‘සිහින කුමරා’ ලෙස. තවමත් ඒ විශේෂණය ඔබට සුදුසුද? නැතිනම් දැන් එය වෙන කිසිවකුට හිමිද?

මම දන්නේ නෑ ඒක ඉතින්. මාව මිනිසුන්ට පේන හැටි මට තීරණය කරන්න බැහැ. මට රසිකයන්ගේ ඔළුවට පිස්තෝලයක් තියලා කියන්න බැහැ ‘මාව සිහින කුමාරයා කරපියව්’ කියලා. ඒ තීරණය තියෙන්නේ එයාලගේ අතේ.

නෑ ඔබ හිතන විදිහ මම අහන්නේ. රසිකයන්ගේ පැත්තට ඕක දාන්න බැහැ?

ඇත්තටම ඒ විශේෂණයට මම ආසයි. නෑ කිව්වොත් ඒක බොරුවක්.

නමුත් මම දැන් හිතන්නේ නෑ ඒකට සුදුසුයි කියලා. මොකද මම මැදි වියේ පුද්ගලයෙක්. හැබැයි ඉන්දියාවේ නම් ඔය වයස කියන එක නළුවන්ට තාම ප්‍රශ්නයක් වෙලා නැහැ. හොඳම උදාහරණය රැජිනි කාන්ත්. ඔහු තමා ඉන්දියාවේ ඉහළම ගෙවීම් කරන නළුවා. ඉන්දියානු රුපියල් කෝටි විසි පහක් ඔහු අය කරනවා. ෂාරුක් ඛාන්වත් තාම එතැන නැහැ.

ඉතින් ඔහුට ‘සිහින කුමරා’ එහෙම නැතිනම් ‘සුපිරි වීරයා’ කියන ඒක තවමත් අදාලයි. අවුරුදු හැට අටක මිනිහෙක් සිහින කුමරා වෙලා තියෙනවා. අමිතාබ් භච්චන්ටත් එහෙමයි. ෂාරුක්, අමිර්, සල්මන් මේ ත්‍රිත්වයටත් දැන් වයස අවුරුදු පනහට කිට්ටුයි. එත් තවම තියටර් ඕන(ර්)ස්ලා ඉල්ලන්නේ මේ අය.

මෙහෙත් එහෙමද?

නෑ, මම ඒ තත්ත්වයට ආදේශ වෙන්න උත්සාහ කරනවා නෙවෙයි. නමුත් සියල්ල තියෙන්නේ රසිකයන් අතේ.

ඔබ කිව්වට මේක රසිකයන්ට බාර කරන්න එපා කියලා, ඒක කරන්නම වෙනවා. මොකද ඔවුන් හෙට මාව ප්‍රතික්ෂේප කළොත් මට විශ්‍රාම යන්න වෙනවා. ඒක කාටත් එකයි.

ජනප්‍රියත්වය කලින් කලට එහා මෙහා වෙන දෙයක්. ඔබේ දැක්මට අනුව මීළඟ සිහින කුමරා කවුරු කියලද හිතෙන්නේ?

බොහෝ අය ඉන්නවා. ඔවුන්ගේ හොඳ රංගනයන් මම දැක තිබෙනවා. චන්න පෙරේරා, රොෂාන් රනවණ, රොෂාන් පිලපිටිය, රොෂාන් රවීන්ද්‍ර, අර්ජුන් කමලනාත්, සුරාජ් මාපා, සුරේෂ් ගමගේ, පුබුදු චතුරංග, වගේ ටැලන්ට්ස් තියෙන අයට ඒ ජනප්‍රිය කිරුළට අත පොවන්න පුළුවන්. බූදලයක් වගේ අපට මේක අයිති කර ගන්න බෑ. රිලේ එකක් වගේ බැට්න් එක මාරු කර ගන්න ඕනෑ.

හැබැයි තාම අපේ තරුණ, නවක නිළියෝ අතර ජනප්‍රියම නළුවා රන්ජන් රාමනායක. මොකක්ද මේකේ රහස?

එක හොඳ සුන්දර ප්‍රශ්නයක්. මම වැඩ කරන සෙට් එකක නම් කවුරුවත් නිද්‍රාවට පත් වෙන්නේ නැහැ. විහිළු, තහළු කරලා සුන්දර වටපිටාවක් මම හදා ගන්නවා. මට එහෙම වාතාවරණයක් නැතිනම් ඒ චිත්‍රපටයෙන් අයින් වෙනවා. හිතේ තියෙන නිදහස තමයි මගේ ජීවිතේ ලොකුම දේ. මේ වෘත්තියේ මම නියැළෙන්නේ කිසිම ආතතියකින් තොරව. ඔය නිළියෝ මම හිතන්නේ ඒ දේවල් අගය කරනවා. ඒ අය මා එක්ක වැඩ කරන්න කැමැති ඒ නිසා වෙන්නැති.

තාමත් ඔබට පෙම්වතාගේ චරිත ලැබෙනවා?

පුළුවන් නම් මේක ලියන්න. දිනේෂ් ප්‍රියසාද්ගේ දියණිය ශේෂාද්‍රි, ඇයව මුලින්ම පල්ලියට අරගෙන ගියේ මම. එයාගේ ගෝඩ් ෆාගදර් මම. දැන් ඇයත් සමඟ පෙම්වතාගේ චරිතයට මට කතා කර තියෙනවා. ඒක ලොකු රෙකෝඩ් එකක් වෙයි. මරු නේද . . .?

‘ලීඩර්’ චිත්‍රපටයෙන් පසුව නැවත චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසීමේ අදහසක් ඔබේ නැද්ද?

මගේ චිත්‍රපටයට වුණ දේ ලංකාවේ බොහෝ දෙනෙක් දන්නවා. මම තිත්ත ඇත්ත කතා කරන පුද්ගලයෙක්. බොරුවක් කරලා මට චිත්‍රපටයක් කරන්න පුළුවන්. එතකොට ඒක මගේ චිත්‍රපටයක් නෙවේ වාගේ. මම ‘පාර්ලිමන්ට් ජෝක්ස් 01’ ‘වන්ෂොට් වන්’ සහ ‘ලීඩර් වන්’ අධ්‍යක්ෂණය කළා. ‘පාර්ලිමන්ට් ජෝක්ස්’, ‘වන්ෂොට් වන්’ චිත්‍රපටයේ දර්ශන එවකට රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වූ මහාචාර්ය සෝමරත්න බාලසූරිය කපා දැමුවේ නෑ.

ඔහු ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ කටයුත්ත කළා. එතුමා කිව්වේ අපි මේවා කපන්න, කොටන්න මස්කඩ කාරයෝ නෙවෙයි කියලයි. ආගමකට පහර දෙනවා නම්, කිසියම් සංස්කෘතියකට අගෞරව කරනවා නම් එහෙම නැතිනම් කිසියම් මිය ගිය පුද්ගලයකුගේ නමට හානි වෙන දෙයක් කරනවා නම් අපි එය එක හෙළා ප්‍රතික්ෂේප කරනවා. නමුත් කලාකරුවාගේ නිදහසත්, නිර්මාණ අයිතියත් කප්පාදු කරන්න අපට අයිතියක් නෑ කියන මතයේ පිහිටා තමයි එදා සෝමරත්න බාලසූරිය මහතා ක්‍රියා කළේ. ඔහු වැඩිදුරටත් කිව්වේ ‘ඔබ වැරැදි දෙයක් කර තිබෙනවා නම් මිනිස්සු පාරෙදි අල්ලගෙන ගහයි, නැතිනම් ගෙදරට ගල් ගහයි’ කියලයි.

ඒ කියන්නේ නැවත ඔබ අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙන්නේ නැහැ?

මම කියන්නේ අසංක, සිනමාවේ හොඳ මත ගැටුමක් තියන්න ඕනෑ. විවිධ වර්ගයේ චිත්‍රපට හැදෙන්න ඕනෑ. අපි සත්‍යය මතු කර ගන්න ඕනෑ ඒ හැලහැප්පීම් මැද්දේ. මයිකල් මුවර්, ජෝර්ජ් බුෂ්ව විවේචනය කළේ ඔහු ජනාධිපතිවරයාව සිටියදී. දැන් චිත්‍රපටයක් එනවා ‘කිල් බින් ලාඩ්න්’ කියලා.

අමෙරිකානුවෝ තිස් හතර දෙනෙක් පාකිස්ථානයට හොරෙන් ඇතුළු වෙලා බිල් ලාඩ්න් මරා දැමූ හැටි ඒකේ රඟ දැක්වෙනවා. එතකොට ‘ෆ්ලයිට් 92’ චිත්‍රපටය. එතකොට ‘ඩා වින්සිකෝඩ්’ චිත්‍රපටය. ඒක ලොකු ආන්දෝලනයක් ඇති කළා මුළු ලෝකයේම. මෙහෙ තහනම් කළ නිසා අමෙරිකාවේදී ඒ ෂෝ එක් බැළුවෙ කාංචනායි, දමිතායි එක්ක. මට තාමත් මතකයි. ඉතින් මම කියන්නේ නිර්මාණකරුවකුගේ අත් බඳින්න හොඳ නෑ. ඒ නිසා බොහෝ විට ඉදිරියේදී මම අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙන එකක් නෑ.

තව නොබෝ දිනකින් ඒ කියන්න් මේ 21 වැනිදාට අපේ සිනමාවට හැට පස් වසරක් සපිරෙනවා. වර්තමානයේ තිබෙන සුබවාදී පරිවර්තනයත් එක්ක අපේ සිනමාවට ඉදිරියේ හොඳ කලක් යාවි?

මම ඔබ එක්ක එකඟ වෙනවා. ඇත්තෙන්ම අද චිත්‍රපට හැදෙනවා. ඒක හොඳ ලකුණක්. අපි අවුරුදු තිහක් යුද්දෙන් බැට කැවා.

ඒ කාලේ රාත්‍රී 9.30 දර්ශන අවලංගු වුණා. 83 ට කලින් අපේ සිනමා ශාලා තුන්සිය ගණනක් තිබුණා. ඒකෙන් එකසිය ගණනක් ජාතිවාදී කෝලාහල හින්දා ගිනි බත් වුණා. අද ඒ ශාපලත් යුද්ධය අවසන්. මේ යුද්ධය දිනන්නට දායක වූ සියලුම දෙනා අපට මිල කළ නොහැකි සාමයක් ගෙනල්ලා දුන්නා. හැබැයි දැන් චිත්‍රපට දුවන්නේ නැතිනම් ඒ වරද අපි පිළිගන්න ඕනෑ. මම හිතන්නේ සිංහල සිනමාවේ අනාගතය ඉතාම සුබයි. නමුත් ඒක අතිශයෝක්තියෙන් තක්සේරු නොකර හොඳ නිර්මාණ කළොත් වැඩි ප්‍රේක්ෂක පිරිසක් සිනමා ශාලාවලට ගෙන්වා ගන්න පුළුවන් වෙයි. සිනමා කර්මාන්තයත් හොඳ අතට හැරෙයි.

පසුගිය කාලයේ ඔබ රියැලිටි ප්‍රසංග වේදිකාවල ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වෙලා හිටියා. නැවත එවැනි ප්‍රසංගයකට ඇරැයුම් ලැබුණොත්?

එක්තරා අවස්ථාවක ස්වර්ණවාහිනී ආයතනයෙන් මට ආරාධනාවක් ලැබුණා පෝග්‍රෑම් එකක් ප්‍රසන්ට් කරන්න. ෂාරුක් ඛාන් පවා එවැනි වැඩ සටහන් මෙහෙයවා තිබෙනවා. මම කලාවේ විවිධ ඉසව් අත පත ගෑ පුද්ගලයෙක්. ඉතින් මම මේ අත්දැකීමත් ලබා ගත්තා. ඒ අතරේ යම් යම් ආන්දෝලනාත්මක දේවලුත් වුණා. මම හිතන්නේ නෑ මේ ඉදිරියේ තිබෙන කාර්යබහුලත්වයත් එක්ක එවැනි දේකට නැවත කාලය මිඩංගු කරන්න හැකි වෙයි කියලා.

පෞද්ගලික ජීවිතයේ ඔබ නොයෙක් අභියෝගවලට මුහුණ දුන්නා පසුගිය කාලයේ. ඒ කටුක, අමිහිරි අතීතය ගැන මොකද හිතෙන්නේ දැන්?

ඇත්තටම අසංක, ජීවිතය කියන්නේ අපි බලාපොරොත්තු වන දේ නෙවෙයි, අපිට ලැබෙන දේ. ඒ ස්ක්‍රිප්ට් එක ලියලා ඉවරයි. රන්ජන් රාමනායක රජ ගෙදරට යනවද, මහ පාරේ මිය යනවද කියන එක තීරණය කරන්නේ මහ බඹු නොහොත් ස්වභාව ධර්මය. මට පහළ උසාවියෙන් නැතිනම් ඉහළ උසාවියෙන් බේරෙන්න පුළුවන්.

ඊට පස්සේ ඉන්ටර්පෝල් එකට ගිහිල්ලා ජිනීවා එකෙනුත් බේරෙන්න පුළුවන්. ලෝකයේ හොඳම නීතිඥයෝ දාලා මට බේරෙන්න පුළුවන්. ඒත් මට කවදාවත් හෘද සාක්ෂියෙන් බේරෙන්න බැහැ. මම බයම ස්වභාව ධර්මයට. මට වින කටින්න ගිය කෙනා ප්‍රශ්න ගොඩකට මැදි වුණා. මගේ ජීවිතයේ කෙටි මාර්ග නැහැ. මම හැමදාම හෘද සාක්ෂිය සමඟ ඉන්න කෙනෙක්.

එකිනෙකාට එරෙහිව යුද ප්‍රකාශ කර ගන්නා අද ‘රට හදන තැන’ ඔබ බොහොම නිහඬ චරිතයක් විදිහටයි අපි දකින්නේ?

දැන් පාර්ලිමේන්තුව තුළ තියෙන්නේ මාධ්‍ය සංදර්ශනයක්. සමහරු හිතනවා ටී. වී. කැමරාවක් ඉස්සරහට කාට හරි අපහාස කරලා, මඩක් ගැහුවොත් පොරක් වෙන්න පුළුවන් කියලා. තමන්ට ලකුණු දාගන්න පක්ෂයේ නායකයා එහෙම නැතිනම් ව්‍යවස්ථාව පවා විවේචනය කරන්න ඔවුන් පසුබට වෙන්නේ නෑ. නමුත් මම අවුරුදු විසි පහක් තිස්සේ කැමරා දැකලා තියෙනවා. ඒ නිසා ටී. වී. කැමරාවක් දැක්කම මම කපුවෙක් වගේ පරල වෙන්නෙවත්, මයික් ටයිසන් කෙනෙක් වෙන්නෙවත් නෑ. මැද පෙරදිග විපතට පත් කාන්තාවන් ගැන මම කතා කරනවා. ඒ මම දන්න විෂයය වෙනුවෙන් පෙනී සිටිනවා. රිසානලා, ආරියවතීලාගේ අයිතීන් සුරක්ෂිත කරන්න මම මැදිහත් වුණා.

ආරියවතීට ලක්ෂ හයහමාරක් වටිනා ගෙයක් මගේ වියදමෙන් හදලා දුන්නා, මටවත් ගෙයක් නැතිව. ඒ ගෙදර හදලා දැන් මාස අටක් විතර ඇති. ඇය තාමත් මග බලාගෙන ඉන්නවා මම ඒ ගෙදරට කිරිබත් කෑල්ලක් කන්න එනකල්. මෙවැනි දේවල් මම කරන්නේ මාධ්‍යය සංදර්ශන පවත්වන්න නෙවෙයි.

දැන් හැමදාම පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හැටියටම ඉන්නද බලාපොරොත්තුව?

මේ ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස්වීම. ස්ක්‍රිප්ට් එක මම ලියන්නේ නැති හින්දා ස්ක්‍රිප්ට් එක මම තාම දැකලත් නැති හින්දා මේ චිත්‍රපටයේ ක්ලයිමැක්ස් එක මොකක්ද කියලා මම තාම දන්නේ නැහැ. අවසානය දුක්ඛාන්තයක් ද, සුඛාන්තයක් ද කියලා මම දන්නේ නැහැ. මොකද මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා පේන්න නැහැ. මම නළුවා පමණයි.

ඔබ ඡ්‍යොතිෂය විශ්වාස කරන, ඒ පිළිබඳ අධ්‍යයනය කළ කෙනෙක්. කොහොමද නව වසර සුබද?

තමුන්ගේ අනාගතය ගැන දැනගන්න ජ්‍යෙතිෂ්‍යවේදියෙකුම වෙන්න ඕනෑ නෑ අසංක. උදේ නැගිට්ටම තේරෙනවා.

අපි කණ්නාඩියෙක් ගිහින් බලද්දී දවස කොහොමද කියලා අපට දැනගන්න පුළුවන්. එතකොට ලැබෙන මුල්ම දුරකතන ඇමැතුම, ගෙදර සේවකයෝ හැසිරෙන හැටි දැක්කම දවස සුබ ද, අසුබ ද කියලා මට නම් තේරෙනවා.

ඡ්‍යොතිෂය මම විශ්වාස කරනවා. අපට හඳහන වෙනස් කරන්න බෑ. ඒත් වැස්සක් ළඟ බව දැනුනොත් අපිට කුඩයක් අරගෙන පාරට බහින්න පුළුවන්. අන්ධකාරයේ යන කොට අපට විදුලි පන්දමක් ගෙන යන්න පුළුවන්. ඡ්‍යොතිෂයෙන් කෙරෙන්නේ ඒ වගේ දෙයක්. පහුගිය කාලේ මට ඒරාෂ්ටකයක් තිබුණා. දැන් ඒ සේරම ඉවරයි. ඒ කාලේ මට චිත්‍රපට රැසක් අහිමි වුණා. ඒත් මේ අවුරුද්දේ ආරම්භයේදීම චිත්‍රපට අටක් ලැබුණා.

එතකොට මේ වසර ඔබේ පෞද්ගලික ජීවිතයටත් සුබදායී වෙයි?

ගොඩක් දුරට එහෙම වෙයි.

ඒ කියන්නේ මේ වසරෙදී ජීවිතයේ එකලාසයක් වෙනවා?

ඔබ අදහස් කළේ විවාහය ගැනද?

ඔව් . . . ඔව් . . .

මගේ ජීවිතය ආදරෙන් පිරිලා. මට පාළුවක් දැනිලම නැහැ. මට හැබැයි බ්‍රිජට් කියන මාතාව තරම් ආදරය කරපු ජීවියෙක් තාම හමුවෙලා නැහැ. ඒ මගේ අම්මා. මම විවාහ වෙයිද, සමහර විට විවාහ නොවීම හිඳීද කියන්න මම දන්නේ නැහැ. හැබැයි දැනටත් මගේ ජීවිතයේ ඉතාම කිට්ටු, සමීප ඇසුරක් තියෙනවා.

ඒ සමීප ඇසුර ඔබ පවත්වන්නේ ඇය අනාගත සහකාරිය කර ගැනීමේ බලාපොරොත්තුවෙන් නෙවෙයිද?

ඒක මම සොභා දහමට බාර දීලා තියෙන්නේ. හිතට එක එක දේවල් ගලාගෙන එනවා. ‘තනිකම වගේ සුවක් ලොවේ – මිනිසත් බවේ තවත් කොහේ’ කියලත් හිතෙනවා.

ඒකටත් මම ආසයි. හරි සුන්දර, බැඳීමක් නැති නිදහස් හැඟීමක් ඒක. අර ‘කවාලා විළඳ ජාති ඇති කළත් රන් කූඩුවේ ගිරවා දමාලා යන්නේ ඉගිලී රැව් දිදී ලබනා සේ වන සැපතා’ එහෙමත් හිතෙනවා. මගේ මුණ තියෙන, මම වගේම කොලු පැටව් හතර පස් දෙනෙක් හදාගෙන ඉන්න ඇත්නම් ඒකත් හරි ජොලි දෙයක්. මොකද මම වඩාත් ඇළුම් කරන්නේ දරුවන්ට. කාගේ හරි චීස් බෝලයක් වගේ දරුවෙක් දැක්කම මට ලෝභ හිතෙනවා, අනේ මට මේ ලෝකේ මිස් වුණ දෙයක් නේ මේ කියලා. ඒක සුන්දර බිරියක් අහිමිවීමට වඩා වැඩි වේදනාවක්.

0 comments:

Post a Comment