----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ජනප්‍රියත්වය බොරුවක්‌

Thursday, June 23, 2011

ජනප්‍රියත්වය බොරුවක්‌
නදීශා යාපගේ

රංගන ශිල්පිනියක්‌ මුල්වරට සම්බන්ධ වුණු නිර්මාණයෙන්ම ජනප්‍රිය වෙන්න ලැබීම කොතරම් ලොකු වාසනාවක්‌ද? හැකියාව තුළින් ලද ඒ වාසනාව නිසාම නවක ශිල්පිනියන් අතර ඉහළම තලයක රැදීසිsටින්නට සමත් වූ ඇයව බොහෝ දෙනා හඳුනන්නේ අමන්දා හි කැතී නමින්. එලෙසින් දඟකාර කෙළිලොල් චරිතයකට පණ පොවන ඇය නමින් නදීශා යාපගේය.

නදීශා කියන්නද කැතී කියන්නද?

නදීශා කියන්න.

නමුත් ඔබව බොහෝ දෙනා හඳුනන්නේ කැතී නමින්?

කැතී කියන්නේ මම රඟපාන චරිතයක්‌. ගොඩක්‌ අය මට කැතී කියලා කතා කරනවා. චරිතයේ තියෙන දඟකාරකම නිසා වෙන්න ඇති ප්‍රේක්‍ෂකයා අතර කැතී ඉක්‌මණින්ම ජනප්‍රිය වෙන්න ඇත්තේ. කැතීට මම ගොඩක්‌ අදරය කරන්නෙ මේ චරිතය හරහා මට ප්‍රේක්‍ෂකයා පිනවන්න අවස්‌ථාව ලැබුණු නිසයි.

පළමු නාට්‍යයෙන්ම මෙවැනි ප්‍රතිචාරයක්‌ ලැබෙයි කියලා හිතුවද?

නැහැ. මම ජනප්‍රියත්වය හොයාගෙනවත් සල්ලි හම්බකරන්නවත් නෙමෙයි රංගනයට පිවිසුණේ. රඟපාන්න මගෙ හිතේ තිබුණු ආසාව නිසා තමයි ආවේ. මටත් පුදුමයි. ජනප්‍රියත්වය හොයාගෙන එන අය තාමත් එක තැන ඉද්දි මට ලැබෙන ජනතා ආදරය ගැන.

ඒ ජනප්‍රියත්වය දැනෙන්නේ කොයි විදිහටද?

කෙනෙකුගේ ආදරයක්‌ ලබන්න ගිය ආත්මෙක අපි පිං කරලා තියෙන්න ඕන. ඒ පින මගෙ වාසනාවකට මේ ආත්මෙ ලැබිලා තියෙනවා.

රංගනයට එක්‌වීම ගැන අද මොකද හිතෙන්නේ?

සතුටුයි. අවුලකට තියෙන්නේ ජනප්‍රියත්වය තමයි.

ජනප්‍රියත්වයට අකමැතිද?

අකමැත්තක්‌ නැත්තෙමත් නැහැ. එහෙම දෙයක්‌ ගැන බලාපොරොත්තු නොවුණු නිසා පුරුදු නැහැවගේ.

නමුත් නිළියකගේ පැවැත්ම තියෙන්නේ ජනප්‍රියත්වය මත නේද?

ඒ කතාව හරි. මම මගෙ පාඩුවේ ඉන්න කැමති කෙනෙක්‌. නමුත් ජනප්‍රියත්වය නිසා මාව හොයාගෙන ඇවිත් කතාකරන පිරිසක්‌ ඇති වෙලා තියෙනවා. ඒ පසුබිමට මම කැමති නැහැ. රංගනයට එන්න කලින් හිටියා වගේ සාමාන්‍ය මනුෂ්‍යයෙක්‌ හැටියට කතා බහ කරනවනම් තමයි මම කැමති. ජනප්‍රියත්වය නිසා නැති යාළුවොත් නැති නෑදෑයොත් ඇති වෙනවා. ඒ නිසා ජනප්‍රියත්වය බොරුවක්‌ කියලයි මට නම් හැඟෙන්නේ.

නදීශාත් කැතී වගේ දඩබ්බර චරිතයක්‌ද?

කැතී තරම්ම ආවට ගියාට වැඩ කරන කතා කරන කෙනෙක්‌ නම් නෙමෙයි. මම හැම දේකදිම ටිකක්‌ හිතලා බලලා තමයි වැඩකරන්නේ.

අමන්දාගෙන් එහා ගිය නිර්මාණයකට එකතුවුණේ නැද්ද?

ආරාධනානම් කිහිපයක්‌ ලැබුණා. මගෙ බලාපොරොත්තුවක්‌ තියෙනවා වැඩිදුර අධ්‍යාපනයට. ඒ නිසා අධ්‍යාපන කටයුතුවලට යොමු වුණොත් රංගනයට තිත නෙමෙයි ටික කාලෙකට කමාවක්‌ තියන්න සිද්ධ වෙයි.

වැඩිදුර අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තු වෙන්නේ මොන විෂය පථයක්‌ ඔස්‌සේද?

වීඩියෝ එන්ජිනියරින් ගැන ඉගෙන ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

රංගනයට යොමුවීම නිසා සංගීතය අමතක වෙලාද?

සංගීතයට තමයි මම පුංචි කාලේ ඉඳලම ආස කළේ. ඒවගේම තමයි කැතී චරිතය දඟකාර වුණත් බොක්‌ස්‌ ගිටාර් එක ප්ලේ කරන සංගීතයට ලැදියාවක්‌ දක්‌වන කෙනෙක්‌. ඒ නිසා රඟපෑම තුළත් සංගීතය බද්ධ වෙලා තිබුණා.

නදීශා අද ලංකාවේ ජීවත් වුණත් ඔබ ඉපදුණේ හැඳුණේ වැඩුණේ පිට රටක?

ඔව්. මම ඉපදුණේ ලෙබනන්වල බේරූට්‌ නගරයේ. මගෙ අම්මයි තාත්තයි ඒ රටේ තමයි රැකියා කළේ. මට ඉන්නේ අයියා විතරයි. අපි දෙන්නම ඉස්‌කෝලේ ගියේ එකට. අවුරුදු 15 දී තමයි මම ලංකාවට ආවේ.

ජීවිතේ අරමුණ වුණු ගමන් මාවතේද අද ඔබ ගමන් කරන්නේ?

කොහෙත්ම නැහැ. පොඩිකාලේ මම හරි ලැ-ජයි. ඒ තත්ත්වය තිබියදීත් අද මම රඟපානවා කිව්වහම පොඩිකාලේ මාත් එක්‌ක හිටපු කවුරුත් විශ්වාස කරන්නෙ නැහැ. මගෙ අරමුණ වුණේ ඔෆිස්‌ එකක කැරකෙන පුටුවක වාඩිවෙලා රැකියාවක්‌ කරන්න. නමුත් යන්න බලාපොරොත්තු වුණු පාරේ නෙමෙයි වෙනත් පාරක තමයි යන්න සිද්ධ වුණේ. නමුත් පාර වෙනස්‌ වුණාට වැරදුණේ නම් නැහැ.

ආගම දහමට තියෙන නැඹුරුවීම මොනවගේද?

මගෙ අම්මා තාත්තා දෙන්නම බෞද්ධ. නමුත් මම ඉගෙන ගත්තේ ලෙබනන්වල නිසා කතෝලික ආගම තමයි හදාරන්න සිද්ධ වුණේ. පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්ත නිසා කතෝලික ආගම තමයි අදහන්නේ. ඒකට පවුලේ කිසිම ප්‍රශ්නයක්‌ නැහැ.

රංගන කටයුතුවල නිරත වුණොත් ටෙලිනිර්මාණ අතර පමණද රැඳෙන්න බලාපොරොත්තුව?

හැමදේම බදාගෙන කරන්න ඕන අදහස මට නැහැ. ඒ වගේම තමයි එකවගේ චරිත රඟපාන්නත් කැමැත්තක්‌ නැහැ. හොඳ නිර්මාණ ලැබුණොත් නිතර නැති වුණත් කලාතුරකින් හෝ රැඳී ඉන්නවා.

වෘත්තිය කුමක්‌ වෙයිද?

තාම හිතාගන්න බැහැ. ගුවන් සේවිකාවක්‌ වෙන්නත් කැමැත්තක්‌ තිබුණු නිසා ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්නත් පුළුවන්.

රංගනයෙදි උස බාධාවක්‌ වුණේ නැද්ද?

නැහැ. මගෙ උස අඩි පහයි අගල් අටයි. සමහර තැන්වලදි පොඩි පොඩි ගැටලු මතුවුණත් පොදුවේ වාසියක්‌ වුණා. බාස්‌කට්‌ බෝල් ක්‍රීඩා කරපු නිසා වෙන්න ඇති මෙච්චර උස යන්න ඇත්තේ.

නමුත් විවාහයේ දී නම් උස ගැන වැඩි සැලකිලිමත් වෙන්න වෙයි නේද?

සමහර විට. උස අය දැකලනම් තියෙනවා. ඒත් මට හරියන කෙනෙක්‌ තාම හම්බ වුණේ නම් නැහැ. කොහොම වුණත් ඒ ගැන හිතන්න කලින් තව ගොඩක්‌ දේවල් තියෙනවා ඉෂ්ට කරගන්න.

දැන් ඔබ නිරූපිකාවක්‌ නොවේද?

රංගනයෙන් ඈත් වුණත් නිරූපණයෙන් නම් කවදාවත් ඈත්වෙන්නේ නැහැ. හැමදේටම වඩා මම ඒකට ආසකරන නිසා.


ලක්‌මිණි අතුකෝරල
ඡායා - සමන් අබේසිරිවර්ධන


Copy Rights - Divayina

0 comments:

Post a Comment