----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මේ ඔක්කොම වෙන්නේ පාවා දෙන්නන් හින්දයි

Sunday, May 29, 2011

මේ ඔක්කොම වෙන්නේ පාවා දෙන්නන් හින්දයි

- ලකී ඩයස්

නම සිහි වූ තැන මැවෙන චරිත අපමණය. ඒ සියලුම චරිතවලට ඔහු කළ සාධාරණය නිසාම ලකී ප්‍රතිභාපූර්ණ චරිතාංග නළුවකු යැයි සැක නැතිව ලියා තැබිය හැකිය. යශෝරාවයේ බලදේවත් යර්ස් බොස්හි නිහාල් සර්ත් ලකී හොඳින්ම තේරුම් ගත්තේය.

එනිසාම එකිනෙකට අහස පොළව සේ පරස්පර මේ චරිත ද්විත්වය ලකී හරි අපූරුවට ජීවමාන කළේය.

එපමණක් නොව ඔහු මැවූ සෑම චරිතයක්ම ප්‍රේක්ෂක සිත්මත තැන්පත් කරවීමටත්, ඒ චරිත ප්‍රේක්ෂකයා සමඟ ජීවත් කරවීමටත් ලකී වග බලා ගත්තේය.

ලකී ඩයස් යන නළුවා ගැන ඊට වඩා හැඳින්වීම අනවශ්‍යය. ඒ තරමටම ඔහු පෑ ප්‍රතිභාව ප්‍රේක්ෂකයෝ දනිති.

ලකී පසුගියදා අපට හමු වූයේ සිරස රූපවාහිනී නාලිකාව ඇරැඹූ ‘ලක්ෂපති’ තරඟයේ ඉදිරිපත් කරන්නා ලෙසනි.

ඔහුගේ ප්‍රේක්ෂක ආකර්ෂණය කොතරම්ද කිවහොත් ලක්ෂපති වැඩසටහන නැරැඹීමට ලංකාවේ සුවහසක් ජනතාව හුරු වූයේ ලකීගේ ආකර්ෂණීය හඬ සහ ඉදිරිපත් කිරීමේ රටාව නිසාමය.

ඒ වැඩසටහන තුළ සුහදශීලී වූ අවස්ථා, සංවේදී වූ අවස්ථා සහ සතුටු වූ අවස්ථා ඔහු රඟ නොපෑවේය.

ඒ නිසාම ප්‍රේක්ෂකයෝ ලකීට ආදරය කළෝය.

හිටි හැටියේම ලකී ලක්ෂපති තරඟයෙන් ඉවත් වූයේය. මේ සංවාදය ඒ සිදුවීම හාරා අවුස්සා විචාලීම සඳහා නොවන මුත් ඔහුගේ ගමන් මඟ දෙස බැලීමේදී මේ සිදුවීම මෙනෙහි කළ යුතුමය.

මේ දිනවල සිනමාහලේදී චැලෙන්ජස් හරහා අප හමු වන ලකී නිවෙසට පැමිණෙන්නේ වැස්ස නුඹ වාගේ ටෙලි නාට්‍ය තුළිනි.

මෙම නිර්මාණ ද්විත්වයෙහිම ලකී අසිරිමත් ආදර්ශවත් පියකුගේ භූමිකාව මනාව නිරූපණය කරයි.

මේ කතාබහ ඔහු සමඟයි.

එන්න අපි මෙතැන් පටන් ලකීගේ සුන්දර පින්බර සිත කියවමු.

* ලකී අයියේ, කාලෙකට පස්සෙ කොහොමද නිර්මාණ ජීවිතේ අලුත් තොරතුරු . . . .

ඉතාමත් හොඳින් ජීවිතේ ගෙවීගෙන යනවා. මේ දිනවල වැස්ස නුඹ වාගේ ටෙලි නාට්‍යයේ සහ චැලෙන්ජස් චිත්‍රපටයෙන් තමයි ප්‍රේක්ෂක හිතවතුන් මුණ ගැසෙන්නෙ.

* පසුගිය කාලේ ටෙලි නාට්‍ය රංගනයෙන් ටිකක් ඈත්වෙලා නේද හිටියෙ?

ඔව්. ඒකට බලපෑ ප්‍රධාන හේතුව තමයි මම ඕනෑම නිර්මාණයකට කතා කළ සැනෙන් සම්බන්ධ නොවීම. ඒ වගේම මේ යන රටාව ගැන මගේ් හිතේ තියෙන්නේ පහන් හැඟීමක් නෙවෙයි.

ඉස්සර ටෙලි නාට්‍යවල හිටියේ සුපිරි රංගන ශිල්පීන් ශිල්පිනියන්. ඒ අය රඟපෑ චරිත ප්‍රේක්ෂකයන්ගේ් හිත් ඇඳ බැඳ ගන්නට සමත් වුණා.

ඉස්සර ටෙලි නාට්‍යවල හිටිය නළුවන් එදා ප්‍රේක්ෂකයන්ට අදටත් මතකයි. ඒත් අද ටෙලිවිෂන්වල විතරක් නෙවෙයි සිනමාවට එන නළුවන්ගේ නම් ප්‍රේක්ෂකයන්ට පහුවෙනිදාට මතක නැහැ. කෙටියෙන්ම කිව්වොත් අද නළු නිළියන් දන්නෙ තමන්ගෙ හරි නමින් නෙවෙයි. චරිතවල නම්වලින්.

අර අරයා, අර ටෙලි නාට්‍යයේ කොල්ල. මෙන්න මෙහෙමයි ප්‍රේක්ෂකයන් නළුවන්ව හඳුන්වන්නෙ.

මේ තත්ත්වයට වගකිව යුත්තේත් මේ කර්මාන්තයේ ඉන්න අය විසින්මයි.

මේ කර්මාන්තයේ ඉන්න පාවා දෙන්නන් සුළු පිරිසක් මේ කර්මාන්තය වලපල්ලට ඇදල දාන තැනට කටයුතු කළා.

බාල ටෙලි නාට්‍යයක් හදලා චැනල්වලට ගිහිං ඉතාම අඩු මුදලට ඒ ටෙලි නාට්‍ය විකුණුවා. චැනල් තමන්ගේ ලාභය ගැන හිතලා ඒවා මිලට අරන් ප්‍රදර්ශනය කළා.

චැනල්වලට දොස් කියන්න බැහැ. මේ පාවා දෙන්නෝ කණ්ඩායම තමයි මේ පිරිහීමට වගකියන්න ඕනේ.

මේ තත්ත්වය යටතේ ප්‍රවීණයන්ට ගෙවන්න මේ නාට්‍යවලට මුදල් ලැබෙන්නේ නැහැ.

ප්‍රවීණයන්ට ගෙවන්න නෙවෙයි ටෙලි නාට්‍යයේ පිටපතේ වාහනයක යන දර්ශනයක් තිබුණා කියමු. අද කරන්නේ වාහනේ වෙනුවට පාපැදියක් යොදා ගනිමින් ඒ දර්ශනය රූගත කිරීම. මේ තත්ත්වය යටතේ කොහොමද වැඩ කරන්නේ.

*ලකී අයියා කිව්වා අද ඉන්න නළුවන්, නිළියන් ප්‍රේක්ෂකයන් හඳුනන්නේ නෑ කියලා. ඔබ ප්‍රේක්ෂක ආදරය නොමඳව ලද පින්බර වාසනාවන්තයෙක්. අද අපි දකිනවා කිසිම තැනක දැකලා නැති නළුවෝ ප්‍රධාන චරිත රඟපානවා. හරියට අහසින් පහත් වෙලා වගෙයි.

ඔව්, මේ තත්ත්වයට වගකිව යුත්තෙත් අර පාවා දෙන කණ්ඩායමයි.

මොකද චරිතවලට ප්‍රවීණයන් ගන්න සල්ලි නැති වුණාම කොහේ හරි ඉන්න කෙනෙක් ඒ චරිතෙට දානවා.

මෙලෝ දෙයක් නොදන්න මේ පිරිස් ඔහේ කැමරාව ඉස්සරහ පිටපතේ තියෙන වචන කියවනවා. හරියට අර පොඩි කාලේ ඉස්කෝලේ පොත් කට පාඩමින් කියවනවා වගේ.

ඉතිං ඒ පිරිස පහුවෙනදාට නළුවන්, තරු බවට පත් වෙනවා. මේකට මාධ්‍යයත් වගකිව යුතුයි.

මේ ‘කඩා පාත් වුණු තරුවලට මාධ්‍ය පිටු ගණන් පබ්ලිසිටි දෙනවා.

ඊට පස්සේ ඒ අය හිතන්නේ ‘මං නෙ නළුවා’, ‘මං තරම් නිළියක් ඉන්නවද තව’ කියලා.

ඒ නිසා මේ අලුත් පරපුර පුහු මාන්නෙන් හිස උදුම්මා ගන්නවා මිසක් දෙයක් ඉගෙන ගන්නේ නැහැ. මේක තමයි ඇත්ත කතාව.

මං මේ කියන්නේ ආධුනිකයන් ක්ෂේත්‍රයට පැමිණීම හොඳ නෑ කියන කතාව නෙවෙයි. ආධුනිකයන් අපට අත්‍යවශ්‍යයි.

ආධුනිකයන්ගෙන් තමයි ප්‍රවීණයන් බිහි වෙන්නේ. පොහොට්ටු නැතිව මල් පිපෙන්නේ නෑනෙ. මමත් ක්ෂේත්‍රයට ආවේ ආධුනිකයෙක් විදිහට.

එහෙත් මං බොහෝ දේවල් බොහෝ අයගෙන් ඉගෙන ගත්තා.

ඒ නිසා තමයි අපි අද කොන්ද කෙළින් තියන් වැඩ කරන්නේ.

මට ඇහිලා තියෙනවා අලුත් දරුවන්ගෙ කතාන්දර. ‘මොනවද බං බැළුවම විජයල, ගාමිණීල කරල තියෙන්නෙ’ මේ වගේ පිරිසක් තමයි අද ඉන්නේ.

මේ සියල්ලටම හේතුව තමයි අර මං මුලින්ම කිව්ව පාවා දෙන කණ්ඩායම.

ඒ අය හිතන් ඉන්නේ මොකක් හරි නිර්මාණයක් කරලා කගෙ හරි පස්සෙන් ගිහිං ඒක විකාශනය කිරීම කලාව කියලා. ඒකද ඇත්තටම කලාව කියන්නේ.

* ඔබ මොනවා කිව්වත් ප්‍රේක්ෂකයන් මේ හරසුන් නිර්මාණ වටා එකතු වෙලා ඉන්නවනේ?

ඒකට පිළිතුරු කිහිපයක් තියෙනවා. ඇතැම් අය හොඳ නිර්මාණ දැකලා නැති නිසා මේවා තමයි උසස්ම නිර්මාණ කියලා හිතන් ඉන්නවා.

තවත් අය බලන්නන් වාලේ බලනවා. සල්ලි යන්නේ නෑනේ. ඔහේ බලන් ඉන්නවා.

* අද ඇතැම් චිත්‍රපටවල තත්ත්වයත් ඔබ පෙර කී ටෙලි නාට්‍ය ඛේදවාචකයම නේද?

ඇත්තටම. අද චිත්‍රපටවල ඉන්නෙ පැය විසි හතරෙම නිකන් බලන්න පුළුවන් ටෙලි නාට්‍යවල ඉන්න නළු නිළියොමයි.

ඉතිං මිනිස්සු මේ නළු නිළියො බලන්න රුපියල් දෙතුන් සියයක් ගෙවලා සිනමා ශාලාවලට යාවිද? අද මිනිස්සු චිත්‍රපට බලන්නෙ කට වචනෙන් යන පණිවුඩ නිසා.

‘අර චිත්‍රපටය හොඳයි’, ‘මේ චිත්‍රපටය වැඩක් නෑ’ කියන කවුරු හරි කියන පණිවුඩ හරහා තමයි බොහෝ දෙනා සිනමා ශාලාවට එන්නේ. අද චිත්‍රපටවල තරු නැහැ. ඒකයි මේකට හේතුව.

* වැස්ස නුඹ වාගේ ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය තරමක් වෙනස්?

ඔව්, මෙච්චර ලොකු දරුවො ඉන්න චරිතයක් මං මීට පෙර කරලා නැහැ. ඒ වගේම මේ කොල්ලො ටික වැඩේ හොඳට කරනවා.

මාත් ඉතා ආසාවෙන් මේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ. ඇත්තටම මේ ටෙලි නාට්‍යය ආදර්ශවත්.

* කොහොමටත් ලකී ඩයස් කියන්නේ චරිත සොයමින් යන නළුවෙක් නෙමෙයි.

මම එක අවුරුද්දකට රඟපාන්නේ එක චිත්‍රපටයයි. එක ටෙලි නාට්‍යයි.

එක වතාවක් ගාමිණී ෆොන්සේකා මහත්තයා මම යන ගමන හරි අපූරුවට අනුමත කළා.

* ඉදිරි කටයුතු ගැන කතා කරමු අවසානයේ?

හෙට මොකක් වෙයිද කියලා මං දන්නේ නැහැ. මං මගේ පාරේ ඉදිරියට යනවා.

මුල් මුල් එනවා. ප්‍රහාර එනවා. විවිධ තාඩන පීඩන එනවා. නමුත් මං ඉදිරියට යනවා. නිහතමානීව ආ මඟ දිහා බලල හිනා වෙනවා.

0 comments:

Post a Comment