----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඔවුහු එකිනෙකා හඳුනා ගත්හ.

Sunday, May 29, 2011

පසුගිය විසි හය වැනිදා සවස හසලක සුන්දර ගම්මානයේ සිට ඩිලානි අප්සරා බසයට ගොඩ වන්නේ කොළඹ බලා ඒමටයි. ඒ තම පියා සමඟිනි. මාතර මධුෂා ද තම මව සමඟින් උදෑසනම පැමිණෙන්නේ කොළඹ බලාය. මාවනැල්ල තිස්ස බණ්ඩාර ද 27 වැනිදා උදෑසනම කොළඹ බලා පැමිණෙයි.

නිකවැරටිය හර්ෂනාථ බණ්ඩාර ද මේ පැමිණෙන්නේ කොළඹ බලායි. එමෙන්ම මීගමුව ලෙනාඩ් ප්‍රනාන්දුත් පැමිණෙන්නේ කොළඹටයි. මේ පස් දෙනා කොහාටද යන්නේ?

ඒ අන් කොහේටවත් නොව, ලේක්හවුස් ආයතනයේ ‘සරසවිය’ අප පාඨකයන්ට තිළිණ කරන සුන්දර නිමේෂයේ ආශ්වාදය විඳ ගැනීමටයි. ඒ මේ මස ‘කෙළින් හමුව’ සඳහා කුසපත් ඇදීමෙන් තෝරා ගත් පාඨකයන් පස් දෙනායි.

අළුයම දෙකේ කනිසමේ සිට ලේක්හවුස් ආයතනයට මධූෂා තම පියා සමඟ පැමිණ සිටින්නේ තම ප්‍රදේශයේ සිට 27 වැනිදා නවයේ කණිසම වන විට සරසවියට පැමිණීමට තරම් ප්‍රවාහන පහසුකම් නොමැති නිසාය. මෙපමණ දුරක් කරදර විඳගන අප පාඨකයන් සතුටෙන් මොහොතක් ගත කරන්න පැමිණෙන්නේ කලා තරුවලට දක්වක සැබෑම ලෙන්ගතුකම නිසාමයි. ඒ ලෙන්ගතුකමේ තරම කොපමණ ද කියනවා නම් මෙවර දහසක් කුසපත් අතරින් පාඨකයින් වැඩිම ප්‍රමාණයක් දැක් වූයේ පුංචි තිරයේ අවිහිංසක ප්‍රේමවන්තයා ලෙස මේ දිනවල රසික ප්‍රතිචාර නොමඳව ලබන යොවුන් රංගන ශිල්පී සාරංග දිසාසේකරයි.

මොහොතකින් සාරංග අවිහිංසක සිනාවත් සමඟ ඊටම ඔබින අව්‍යාජ බවත් විදහාපාමින් සරසවිය පාඨකයන් ඉදිරියට පැමිණියේ ඔවුන්ගේ සිත් අමන්දානන්දයට පත් කරමිනි. ඔවුහු එකිනෙකා හඳුනා ගත්හ.

මේ පාඨකයින්ගේ් දෑස් දීප්තියෙන් බබලන්නේ සාරංග සියැසින් සජීවීව දැක බලා ගැනීමේ භාග්‍ය උදාවීමේ සතුට නිසාවෙනි.

ලොකු පොඩි බේදයකින් තොරව සාරංග හා සතුටු සාමීචියේ යෙදීමට පැමිණ සිටින මේ පිරිස සාරංග සමඟ දැන් සතුටු සාමිචියේය.

සාරංග ඔබේ පියා දක්ෂ ගායකයෙක්. මව ප්‍රකට නිවේදිකාවක්. මේ සම්බන්ධය ද රංගනයට ඔබට බලපෑවේ?

ඒ හර්ෂනාථ බණ්ඩාරයි. මෙහෙමයි මම කලා පසුබිමක් සහිත පවුලකින් පැවැත ආවත් මගේ් රංගනයට මගේ මාමා වන ඩග්ලස් රණසිංහගේ ආභාෂයත් ලැබුවා. ඊට අමතරව පවුල් පසුබිමත් මගේ උනන්දුවත් යන දෙකම බලපෑවා.

‘ඔබ ඇත්තටම ධනුක වුණා නම් මොනවද කරන්නේ? ඒ තිස්සගේ පැනයයි. ඇත්තටම මම බොඳ මීදුම් නාට්‍යයේ සිටින ධනුක උනා නම් ඊට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකට හැසිරේවි.

මේ සියලු කතාබස් දෙස විමසිල්ලෙන් බලා සිටි ඩිලානි, සාරංගගෙන් මෙසේ විමසයි.

සාරංග අයියේ, බොද මීදුම් රූගත කරන්නේ කොහෙද?

‘කොට්ටාව, බත්තරමුල්ල, බණ්ඩාරගම වගේ ප්‍රදේශවල තමා බොඳ මීදුම් රූගත කරන්නේ.

ලෙනාඩ් ප්‍රනාන්දු

අපටත් රූගත කිරීම් බලන්න පුළුවන්ද?

ඒ මධූෂාගේ හඬයි.

‘ඇත්තටම පුළුවන්. රූගත කරන වෙලාවක ඔයාලට එන්න පුළුවන්. සාරංග මේ දිනවල තව නිර්මාණවලට දායකත්වය දෙනවාද? ඒ ලෙනාඩ් ප්‍රනාන්දුයි.

ගඟ අද්දර මේ දිනවල සිරස ටී. වී. ඔස්සේ විකාශය වෙනවා. ඊට අමතරව ටෙලි නාට්‍ය කිහිපයක් තව විකාශය වෙනවා. වැහි පබළු සේලත් ඉන් එකක්.

ළඟදී චිත්‍රපට එහෙම නැතිද? ඒ ඩිලානියි.

මම රඟපෑ සංගිලි, සුපර් සික්ස් ඇතුළු චිත්‍රපට හතරක් පමණ ළඟදීම තිරගත වේවි. ඊට අමතරව තවත් නිර්මාණ කිහිපයකටම ආරාධනා කරලා තියනවා. මධූෂා ඔයා මෙනාවද කරන්නෙ?. ඒ පෙරලා සාරංගගෙන් මධූෂා වෙත පැනයකි.

මම උසස් පෙළ ලියලා මේ දිනවල ජයසේකර අපොන්සු මහත්මයාගේ භාෂා කියන පාසල් නාට්‍යයේ රඟපානවා.

ඔබේ පියා ලංකාවේ සිටි සුන්දර ගායකයෙක් වන නාරද දිසාසේකරයි. ඔබට ගීත ගායනයේ හැකියාවක් තියනවාද?

මෙහෙමයි, මට ගීත ගායනා කිරීමේ හැකියාව තිබෙනවා. එහෙත් දුවන්නන් වාලේ දුවනවා වාගේ් ගීත ගායනා නොකර නිවැරැදිව ගීත කිහිපයක් නිර්මාණය කරන්න මගේ අදහසක් තියෙනවා.

ඔබට ‘නිල් දිය යහන’ රංගනය ගැන දැන් මොකද හිතෙන්නේ? ඒ හර්ෂනාථගේ පැනයයි.

දැන් එම රඟපෑම නැවත කරන්න ලැබුණොත් ඊටත් වඩා තාත්ත්විකව කරනවා කියන එකයි මගේ් හැඟීම.

සාරංග ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට පසුබිම් ගායනය කර තිබෙනවාද?

ළඟදී රූගත කෙරුණ සුසීමා ටෙලි නාට්‍ය ඇසුරින් නිපදවෙන සූසීමා චිත්‍රපටයට මම පසුබිම් ගායනයෙන් එක් වුණා.

මේ කතාබහ අතරතුර සාරංගගෙන් සමරු සටහන් ගන්නද ඔවුන් අමතක කළේ නැහැ. සාරංග ද අත්සනින් යුතු ඡායාරූප කිහිපයක් මේ පස් දෙනා අතර බෙදා දුන්නේ සතුට දෝරේ ගලා යමින් තිබෙන විටදීය.

විවිධ රසාලිප්ත සිදුවීම් මැද මේ ගෙවෙන සුන්දර මොහොත මේ ආදරණීය පාඨකයන් පස් දෙනාට නම් අති සුන්දර මොහොතක් වනවාට නොඅනුමානයි.

මේ සිදුවීම් අතර ඔවුන් ගෙන ආ කැමරාවලින් ඡායාරූප ලබා ගැනීමටද ඔවුන් අමතක කළේ නැහැ.

සාරංග ද ඔවුන් හා සතුටෙන් ගෙවන සුන්දර මොහොත ආදරයෙන් ගත කිරීම පාඨකයන්ට පමණක් නොව ඒ සඳහා පාලමක් සාදා දුන් සරසවිය අපට ද සතුටකි.

ඔබටත් මෙවන් සුන්දර මොහොතක් අත් විඳින්නට අවශ්‍ය නම් අපේ කෙළින් හමුවන්න කූ®පනය පුරවා අදම අප වෙත ලැබීමට සලස්වන්න.

මේ සමූහ ඡායාරූපයයි. ඔක්කොම එක් වී කේක් කපලා.
සාරංගගේ අතින් සමරු සටහන් තැබූ මොහොත. තිස්ස බණ්ඩාර
ඩිලානි අප්සරා මධූෂා
සිය ආදරණීය පාඨකයන්ගෙන් කේක් කෑල්ලක රස විඳිනා සාරංග.

0 comments:

Post a Comment