----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

අද තියෙන්නේ ප්‍රේක්‍ෂකයා නොව සංවිධායකයා ආධිපත්‍ය දරන නාට්‍ය කලාවක්‌

Friday, May 6, 2011

අද තියෙන්නේ ප්‍රේක්‍ෂකයා නොව
සංවිධායකයා ආධිපත්‍ය දරන නාට්‍ය කලාවක්‌
- උදයසිරි වික්‍රමරත්න


"සුද්දෙක්‌ ඔබ අමතයි" අප මෙතෙක්‌ නොලද අත්දැකීමක්‌ ලඟාකර දෙන නාට්‍යයක්‌. නාට්‍ය කලාව යළි ප්‍රේක්‍ෂකයා අතරටත්, ප්‍රේක්‍ෂකයා යළි නාට්‍යාගාරය වෙතටත් ආකර්ෂණීය ලෙස ගමන්කරන මෙවන් කාලයකදි "සුද්දෙක්‌ ඔබ අමතයි" සාර්ථක ප්‍රතිචාර ලබමින් රඟ දැක්‌වේ.

"සුද්දෙක්‌ ඔබ අමතයි" අධ්‍යක්‍ෂණය කරමින් නාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසි උදයසිරි වික්‍රමරත්න සමග සිනමා කලා සංග්‍රහය කළ සාකච්ඡාවක සටහන් මෙසේ පෙළ ගැස්‌වේ. "සුද්දෙක්‌ ඔබ අමතයි" නාට්‍ය සම්ප්‍රදායෙන් බැහැරට යමින් කළ අත්හදා බැලීමක්‌ ලෙසයි ඔබ සලකන්නේ... නාට්‍යයට වර්ෂයක්‌ සපිරෙනවා. ඔබ දකින ගැටළු මොනවාද?

"සුද්දෙක්‌ ඔබ අමතයි" බින්දුවේ සිට ආරම්භ කළ නාට්‍යයකට වඩා සෘණ මට්‌ටමේ සිට ආරම්භ කළ නාට්‍යයක්‌ ලෙස හඳුන්වන්න පුළුවන්. පුහුණුවීම් කරද්දී පවා නාට්‍යය පෙන්වන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අප තුළ තිබුණේ ඉතා අඩු මට්‌ටමකින්. නළුවෙක්‌ වේදිකාවේ තනියම එක දිගට කතා කරගෙන යද්දී ප්‍රේක්‍ෂකයා අහගෙන ඉඳිවීද... සාමාන්‍යයෙන් නාට්‍යයක එක නළුවෙකුගේ දෙබසක්‌ විනාඩි හතරකට පහකට වඩා දිග් වෙද්දී බෝරිං කියලා කියනවා. ඒත් "සුද්දෙක්‌ ඔබ අමතයි..." නාට්‍යයේ එක නළුවෙක්‌ එක දිගට විනාඩි තිස්‌පහකට වඩා කතා කරනවා. ඉතින් ප්‍රේක්‍ෂකයා නැගිටලා යයි... ඔය වගේ දේ තමා පුහුණුවීම් වලදී අපට තිබුණු ප්‍රශ්න. ඒත් මේ ප්‍රශ්නවලට විසඳුම් ලැබුණා නාට්‍යය රඟ දක්‌වද්දී.

නාට්‍යයකදී චරිත අතර ගැටුමක්‌ ඇතිවිය යුතුයි. ඒත් මෙහි එවැනි තත්ත්වයක්‌ නෑ. කොහොමද "සුද්දෙක්‌ ඔබ අමතයි" නාට්‍යයක්‌ වෙන්නේ.

ඒ ප්‍රශ්නයත් අපට පුහුණුවීම්වලදී මතුවුණා. ඒත් ඒ ප්‍රශ්නෙට සාර්ථක උත්තරයක්‌ දෙන්න ලැබුණේ නෑ. නාට්‍යයෙන් ගැටුමක්‌ මගින් ප්‍රේක්‍ෂකයා නාට්‍ය හා රඳවා තබා ගන්නේ ඊළඟට වන්නේ කුමක්‌ද යන සැකය ඇති කරමින්. ප්‍රේක්‍ෂකයා තුළ නොවිසදෙන සැකයක්‌ කුතුහලයක්‌ මතුවෙනවා. ඒත් "සුද්දෙක්‌ ඔබ අමතයි" එවැනි සැකයක්‌ මතුවන්නේ නැහැ. ඒකට හේතුව නාට්‍යය තුළ සිදුවීම් නොමැතිවීම. කතා විතරයි. එතකොට කොහොමද නාට්‍යයක්‌ වෙන්නේ කියන ප්‍රශ්නය මතුවුණා. ඒත් මේ නාට්‍යයේ තියෙන විශේෂත්වය තමයි කථකයා ඊළඟට කුමක්‌ කියයිද යන ප්‍රශ්නය ප්‍රේක්‍ෂකයා තුළ ඇතිවීම. එනිසා ප්‍රේක්‍ෂකයා නාට්‍ය සමග බැඳී සිටින බව මම හිතනවා.

"සුද්දෙක්‌ ඔබ අමතයි ප්‍රදර්ශනයේදී" ඔබට ලැබුණ අත්දැකීම්?

ඇත්තටම පළමු දර්ශන වාරයේ සිටම අපි තව තවත් ඉගෙන ගත්තා. මංගල දර්ශනයේදීම හොඳ ප්‍රතිචාර ලැබුණා. පේරාදෙණිය සරසවියේ සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී "සුද්දෙක්‌ ඔබ අමතයි" රඟ දක්‌වද්දී ලද ප්‍රතිචාර විශිෂ්ටයි. මෙවැනි ප්‍රතිචාර ලබද්දී නාට්‍ය වෙනුවෙන් අප විඳි දුක්‌ මහන්සිය, අපට එල්ලවූ දරුණු විවේචන නිසා ඇතිවූ සිත් පීඩාවන් සියල්ල අමතක වුණා.

මේ නාට්‍යයේ ගැටුමකුත් නැහැ. ඒත් ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබෙන බව ඔබ කියනවා. තනි නළුවෙක්‌ට එවන් ප්‍රතිචාර ලැබේවිද?

ඔබට එක උදාහරණයක්‌ කියන්නම්. එල්පින්ස්‌ටන් රඟහලේදී ප්‍රකට විචාරකයෙකු වන විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්‌ නාට්‍යය නැරඹුවා. නාට්‍යය අවසානයේදී ඔහු අප වෙත පැමිණ කීවේ බර්නාඩ්ෂෝට අනුව ගැටුමක්‌ නැති තැන නාට්‍යයක්‌ නැත. එහෙත් මෙහි නාට්‍යයක්‌ ඇත" කියා. රුවන්වැල්ලේදී ගුරු උපදේශක මහත්මයෙක්‌, ඔහු නාට්‍ය කලාව පිළිබඳව උපදේශකයෙක්‌ පැවැසුවා සම්මත නාට්‍ය මූලධර්ම අනුව මෙය නාට්‍යයක්‌ නොවූවත් මෙමගින් අලුත් නාට්‍ය මූලධර්මයක්‌ හදන්න පුළුවන් කියලා. චරිත අතර ගැටුමක්‌ නොවූවත් නාට්‍යයේ කථකයා හා ප්‍රේක්‍ෂකයා අතර ගැටුමක්‌ තිබෙන බව තවත් විචාරකයෙක්‌ කිව්වා.

ඔබ වරෙක පැවසුවා අද තිබෙන්නේ සංවිධායකයා ආධිපත්‍ය දරන නාට්‍ය කලාවක්‌ කියා. ඒ ඇයි?

මෙය ප්‍රවේශමෙන් කිව යුතු කරුණක්‌. නාට්‍ය සංවිධායකයන් නාට්‍ය ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධියට දායකත්වයක්‌ ලබා දෙනවා. ඒක පිළිගත යුතුයි. ඒත් අනෙක්‌ පැත්තෙන් අලුතින් බිහිවන හොඳ නාට්‍ය ප්‍රේක්‍ෂකයා වෙතට යැමට බාධාවන ලෙස සංවිධායකයන් තම ඒකාධිකාරි බලය අයථා ලෙස යොදා ගන්නවා. මේ සංවිධායකයන්ගේ අනුග්‍රහය නොලබන හොඳ නාට්‍ය දර්ශන වාර දෙක තුනකින්ම නතර වෙනවා.

ඔබේ රැකියාව නාට්‍ය කලාව නොවේ. කොහොමද රැකියාව කරමින් නාට්‍යයක්‌ අරන් රට වටා යන්නේ?

මෙහි සම්පූර්ණ ගෞරවය මා පුද කරන්නේ මා සේවය කරන පීනික්‌ස්‌ අලෙවි ප්‍රචාරණ ආයතනයේ අධිපති අර්වින් වීරක්‌කොඩි මහතාට. නාට්‍යයක්‌ කරන්න කලින් මනුෂ්‍යයෙක්‌ ජීවත්ව සිටිය යුතුයි. මට ඒ හැකියාව සහ අවස්‌ථාව ලබාදී තිබෙන්නේ මගේ ආයතනයේ ප්‍රධානියයි. රටේ කලාව වෙනුවෙන් මගෙන් මෙහෙවරක්‌ සිදුවෙනවානම් ඒ ගෞරවයේ ප්‍රධාන හිමිකරුවා වන්නේ ඔහු. සමාජයේ අසරණව සිටි මා හිස ඔසවා සිටින්නේ ඒ නිසා. "සුද්දෙක්‌ ඔබ අමතයි" කරද්දී මගේ ආයතනයේ සහෝදර කාර්ය මණ්‌ඩලයේ සහායත් සිහිපත් කළ යුතුයි.

අජිත් අලහකෝන්


Copy Rights - Diwayina

0 comments:

Post a Comment