----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ලෝකයම අන්ද මන්ද කළ අපේ එවුන්ගේ පිම්ම

Wednesday, April 6, 2011

මචං

රැකියා සොයා යෑමක්ද? ත්‍රස්තවාදී වැඩක්ද?

සිනමා කෘතින් සදහා පාදක වූ සත්‍ය කතා පිළිබඳ විවරණය

2004 වසරේ සැප්තැම්බර් මස 16 වෙනිදා ජර්මනියේ පුවත්පත්වලත් ජාත්‍යන්තර පුවත් ජාලයන්හිත් පළ වූ ප්‍රවෘත්තියකින් මෙසේ පැවසිණි.

‘ශ්‍රී ලංකාවේ ජාතික අත් පන්දු කණ්ඩායම යැයි පැවසුණ ශ්‍රී ලාංකිකයන් 23 දෙනකුගෙන් යුත් පිරිසක් ජර්මනියට ඇතුළු වීමෙන් පසු අතුරුදහන් වී තිබේ.

සති තුනක සංචාරයක් සඳහා දකුණු දිග ජර්මනියට පැමිණි ඔවුන් විටිස්ලින්ගෙන් නගරයේ කිහිප දිනක්ම ගත කර තිබේ.

ප්‍රාදේශීය බලධාරීන් මුලින් බිය පළ කළේ දිනපතා ව්‍යායාම ලෙස අසල ඇති වනාන්තරයේ දිවීමට ගිය කණ්ඩායම අතරමං වන්නට ඇත කියාය.

එහෙත් පසුව පොලිසිය ඔවුන් ලැගුම් ගෙන සිටි ස්ථානය පරීක්ෂා කිරීමේදී නගරයේ ජනතාව වෙත යොමු කළ ලිපියක් ලැබී තිබේ.

ඔවුන්ගේ ආගන්තුක සත්කාරයන්ට ස්තූති කර අතුරුදහන් වූ කණ්ඩායම එහි සඳහන් කර තිබුණේ තමන් ප්‍රංශය බලා යන බවය.

විටිස්ලින්ගෙන් නගර කණ්ඩායම සමඟ අතුරුදහන් වූ ශ්‍රී ලංකා අත් පන්දු කණ්ඩායම තරග කළ ආකාරය පිළිබඳ ද සැක මතු වී තිබේ.

‘ශ්‍රී ලංකාවේ කණ්ඩායම තරග කළ ආකාරය ඇත්තටම හාස්‍ය ජනකයි’ විටිස්ලින්ගෙන් නගර කණ්ඩායමේ ක්‍රීඩකයෙක් මාධ්‍යයන්ට පැවසුවේය. ‘ඒ ක්‍රීඩා කළ ආකාරයෙන්ම පේනවා ඔවුන් ප්‍රවීණ අත් පන්දු ක්‍රීඩකයන් නොවන බව.’

ශ්‍රී ලංකා අත් පන්දු කණ්ඩායම ජර්මනියට ගෙන්වීමේ මැදිහත්කරු වූ ඩුයිස්බර්ග් ඒජන්සිය සම්බන්ධ කර ගැනීමට අසීරු වු අතර ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බලධාරීන් පවසන්නේ තමන් එවැනි තරග සංචාරයක් පිළිබඳ නොදන්නා බවය.

රොයිටර් පුවත් සේවයෙන් නිකුත් කළ පුවතක මෙසේ සඳහන්ව තිබිණි.

‘ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දුගෙන් විමසූ විට ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවේ ජාතික අත් පන්දු කණ්ඩායමක් නොමැති බවය.

කොළඹ ජර්මන් තානාපති කාර්යාලයෙන් කණ්ඩායමට වීසා නිකුත් කර තිබිණි. එම තානාපති කාර්යාල නිලධාරීන් පවසන්නේ කණ්ඩායම තමන් වෙත ඉදිරිපත් කළ සියලුම ලිපි ලේඛන සත්‍ය ඒවා ලෙස පෙනුණ බවය.

නිව්ස් 24. කොම් හි පළ වූ පුවතකින් පැහැදිලි වූයේ එම පිරිස ත්‍රස්තවාදීන්ද යන සැකය ද ජර්මන් පොලිසියට ඇති වී තිබූ බවය.

මෙම පිරිස ජර්මනියට පැමිණෙන්නට ඇත්තේ රැකියා සොයා ගෙනය යන සැකය ද පවතී. එමෙන්ම මෙම කණ්ඩායම ත්‍රස්තවාදීන් විය හැකි යැයි ද සැක කරන පොලිසිය ප්‍රංශයට යන්නේ යැයි තබා ගොස් ඇති සටහන තමන් නොමඟ යැවීමට කළ උත්සාහයක් ද විය හැකි යයි පවසයි.’

ශ්‍රී ලංකා රජය ද පසුව මෙම සිද්ධිය පිළිබඳ අවධානය යොමු කළ අතර ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව මෙන්ම රජය ද පැවසුවේ මෙරට ජාතික අත් පන්දු කණ්ඩායමක් නොමැති බවය. මෙරට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය පවසා තිබුණේ එම කණ්ඩායම ඒ උපක්‍රමය යොදා ගෙන තිබුණේ දේශපාලන රැකවරණ ලබා ගන්නට ද නැතිනම් නීති විරෝධීව යුරෝපා රටකට සංක්‍රමණය වන්නට ද යන්න අපැහැදිලි බවය. ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හෙයිඩි ජුන්ග් පවසා තිබුණේ නිකුත් කර ඇති වීසා අනුව 2004 සැප්තැම්බර් 8 දා සිට ඔක්තෝබර් 7 දා දක්වා ඔවුනට ජර්මනියේ රැඳී සිටින්නට නීත්‍යානුකූල අවසරය ඇති බවය.

2004 සැප්තැම්බර් 24 දා ඖස්බර්ග් වෙතින් නිකුත් වූ පුවතකින් කියැවුණේ පුහුණුකරු ඇතුළු අත් පන්දු කණ්ඩායමේ 23 දෙනා අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය ලැයිස්තුවට ඇතුළත් කළ බවය. එම කණ්ඩායම තම කිළිටි රෙදි පවා නවාතැන් ගෙන සිටි ස්ථානයේ තබා ගොස් ඇති බවද, තබා ගොස් ඇති ලිපියේ ප්‍රංශය බලා යන බව සඳහන් වුව ද ඔවුන් පවසා ඇත්තේ සංවර්ධනය වන රටවල මිතුරන් කළ ඉල්ලීමකට අනුව අත් පන්දු පුහුණුු කඳවුරකට සහභාගී වීමට යන බව යැයි ද එම පුවතේ සඳහන් විය.

එම ‘පුහුණු කඳවුර’ වෙනත් රටකට නීති විරෝධීව සංක්‍රමණය වීමට යොදා ගත් තවත් උපක්‍රමයක් විය හැකි යැයි බලධාරීන් සැක කරන බව එම ප්‍රවෘත්තියේ සඳහන් විය.

මේ සමකාලීනව ඉතාලි චිත්‍රපට අධ්‍යක්ෂ උබර්තෝ පැසලෝනි ඔස්ට්‍රේලියාවට පැමිණ තිබුණේ තම අලුත්ම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සඳහාය.

එහෙත් එම කටයුත්ත අසාර්ථකව ආපසු ඉතාලියට ගුවනින් ගමන් කරන අතරතුර ඔහු පුවත්පතකින් දැක තිබුණේ ශ්‍රී ලංකාවේ ජාතික අත් පන්දු කණ්ඩායම යැයි කියා ගත් පිරිසක් ජර්මනියේදී අතුරුදහන්ව ඇති බව දැක්වෙන පුවත්ය. එම පුවත්වලට පසුබිම්ව රසවත් කතාවක් ඇතැයි උප කල්පනය කළ පැසලෝනි වහා මේ පිළිබඳ සාකච්ඡා පවත්වා ඇත්තේ මෙරට සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ සමඟිනි. ‘මචං’ චිත්‍රපටයේ ආරම්භය වූයේ එයයි.

ඒ අනුව උබර්තෝ පැසලෝනි හා රුවන්ති ඩි චිකේරා එක්ව චිත්‍රපටයේ තිර රචනය සැකසූහ. තිර රචනයේ සඳහන් වනුයේ මෙරට අගනුවර දරිද්‍රතාවෙන් පෙළෙන පැල්පත්වාසී තරුණ පිරිසක් නීති විරෝධී සංක්‍රමණය සඳහා අත් පන්දු කණ්ඩායමක් ලෙස පෙනී සිටිමින් ලිපි ලේඛන සකසා, ඡායාරූප ආදිය ගෙන ජර්මනියට යන අන්දමයි.

එහෙත් දැනගන්නට ලැබෙන අන්දමට සත්‍ය සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ කන්ද උඩරට උසස් විද්‍යාලයක ඉගෙනුම ලැබූ ඉංග්‍රීසි බස මනාව හැසිරවීමෙ හැකියාව තිබූ, ඕනෑම ස්ථානයක වැදගත් අය ලෙස පෙනී සිටීමේ හැකියාව සහිත වූ තරුණ පිරිසක් බවය. කෙසේ වෙතත් සිද්ධියට වසර ගණනාවක් ගත වී ඇතත්, නීති විරෝධීව සංක්‍රමණය වූ 23 දෙනකුගෙන් යුත් එම පිරිස තවමත් නීතියේ රැහැනට හසු වී නැත.

ධර්මප්‍රිය ඩයස්, ගිහාන් ඩි චිකේරා, දර්ශන් ධර්මරාජ්, නාමල් ජයසිංහ, සුජීව ප්‍රියලාල්, පුබුදු චතුරංග, දයාදේව එදිරිසිංහ, මාලිනී ෆොන්සේකා, අයිරාංගනී සේරසිංහ ආදී නළු නිළියන් රඟපෑ ‘මචං’ 2008 සැප්තැම්බර් 12 දා ඉතාලියේ ප්‍රදර්ශනය ඇරඹුවේය. ශ්‍රී ලංකා - ඉතාලි හවුල් නිෂ්පාදනයක් වූ ‘මචං’ වෙනිස්, ටෙරොන්ටෝ, ෆ‍්‍රකුකෝකා ආදී ජාත්‍යන්තර චිත්‍රපට උළෙල රැසකට ඉදිරිපත් කෙරිණි.

බ්‍රසල්ස් චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස ‘මචං’ සම්මානයට පාත්‍ර වූ අතර කේරළ චිත්‍රපට උළෙලේදී ඊට පේ‍්‍රක්ෂක සම්මානය හිමි විය. ඩර්බන් චිත්‍රපට උළෙලේ දී ඊට හිමි වූයේ හොඳම තිර රචනය සඳහා වූ සම්මානයයි. ‘සරසවිය’ සම්මාන උළෙලේදී ද හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම තිර රචනය ඇතුළු සම්මාන රැසක්ම දිනා ගන්නට ‘මචං’ චිත්‍රපටය සමත් වූයේය.

1 comments:

Anonymous said...

මේක ඇත්ත සිද්දියක් මත පදනම කරගත්ත එකක් කියල මන් දංඋඉ දන්නේ, ස්තුතියි ලිපියට

Post a Comment