----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

පෙම්වතියගේ චරිතය ගැන හිතලා පවුල් ජීවිතේ අවුල් කරගන්න බැහැ

Wednesday, April 6, 2011

සචිනි අයේන්ද්‍රා

දුව ලැබුණ නිසා පුතෙක්‌ ගැන හිතනවා

කලකට පෙර සිනමාවෙත් පුංචි තිරයෙත් ජනප්‍රිය යොවුන් නිළියක්‌ ලෙස ප්‍රේක්‍ෂක සිත් සතන් වසඟ කළ සචිනි අයේන්ද්‍රා පසුගියදා මවක්‌ වුණා. ඒ අතර ඇය අඟර දඟර නම් චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුවලටත් දායක වෙලා. මේ කාර්ය බහුලත්වය සමග මවක්‌ වීමේ හැඟීම ඇයට මොන විදිහටද දැනෙන්නෙ කියලා දැනගන්න අපි අදහස්‌ කළා.

සචිනි කොහොමද අද දවසේ වැඩකටයුතු ?

මේ දවස්‌වල නම් බබාගේ වැඩකටයුතු වලට තමයි මුල්තැන දීලා තියෙන්නේ. ඒ වගේම මගේ චිත්‍රපටයත් එළිදැක්‌වුණ නිසා එයටත් ටිකක්‌ මහන්සි වෙන්න වෙලා තිබෙනවා.

මවක්‌ වීම ගැන මොකද හිතෙන්නෙ ?

මම ජීවිතයේ ලබපු උපරිම සතුට තමයි මගේ දුව ලැබීම. ඇත්තටම ඒක කෙනෙකුට වචනයෙන් විස්‌තර කරන්න අමාරුයි. ඒ අත්දැකීම විඳපු කෙනෙක්‌ තමයි ඒ ගැන හොඳින් දන්නෙ.

සචිනි බලාපොරොත්තු වුණේ දුවක්‌. ඒ බලාපොරොත්තුව සඵල වීම ගැන මොකද හිතෙන්නෙ ?

දුව ලැබුණට පස්‌සේ හිතුණ දෙයක්‌ තමයි දුවෙක්‌ වගේම පුතෙක්‌ ලැබුණත් අම්මා කෙනෙක්‌ දරුවකුට දක්‌වන ආදරයේ වෙනසක්‌ වෙන්නේ නැහැ කියන දෙය.

ඇයි දුවලට ඔච්චර ආස ?

මගේ අක්‌කට ඉන්නවා පොඩි දුවෙක්‌. එයාට තිබුණ ආදරය කැමැත්ත නිසා එහෙම වෙන්න ඇති.

එතකොට පුතාලට අකමැතිද?

අපොයි නැහැ. පුතාලටත් කැමැතියි. මම හිතනවා ඊළඟ වතාවේ පුතෙක්‌ ඉපදුණොත් හොඳයි කියලා.

ගොඩක්‌ කාලෙකට පස්‌සෙ නේද චිත්‍රපටයක රඟපාන්නෙ ?

අඟර දඟර චිත්‍රපටයේ මම රඟපෑවෙ අවුරුද්දකට විතර කලින්. මම රංගනයෙන් ඈත්වෙලා නැහැ. හොඳ නිර්මාණයකට දායක වෙන්න බලාපොරෝතතුවෙන් තමයි ඉන්නෙ.

කොහොමද ජීවිතය ?

හරිම සතුටින් ගෙවෙනවා. වැරැද්දක්‌ කියලා කියන්න දෙයක්‌ නැහැ. මොකද මට හොඳ සැමියෙක්‌ ඉන්නවා. ඒ වගේම මගේ ප්‍රාර්ථනා සියල්ලම ඉටුවෙලයි තියෙන්නෙ.

රඟපානවට මහත්තයා විරුද්ධද?

නැහැ. ඔහු කලාව අගයන කෙනෙක්‌. එයා ගොඩක්‌ වෙලාවට මම කරන්න යන වැඩවලට උපරිම සහයක්‌ දෙනවා.

ඔහු ඔබට කැමති වුණේ ඔබ නිළියක්‌ නිසා ලබන ජනප්‍රියත්වය හේතුවක්‌ කරගෙනද?

ඇත්තටම එයා අපේ රටේ චිත්‍රපට ටෙලි නාට්‍ය බලන කෙනෙක්‌ නෙමෙයි. හැබැයි නිළියක්‌ විදිහට එයා මාව අඳුරගත්තා. ටික කාලයක්‌ ආශ්‍රය කරනකොට එයා හොඳයි කියලා මට හිතුණා.

හැබැයි ගොඩක්‌ දෙනා නිළියන් බඳින්නේ ඒ හේතුව නිසා නේද?

මම හිතන්නේ සමහර පිරිමින්ට එය වැදගත් ඇති. මගේ මහත්තයාට නම් මම නිsළියක්‌ කියන එක එතරම් වැදගත් හේතුවක්‌ වුණේ නැහැ.

මහත්තයා සමග ගෙවන ජීවිතය ?

ඒ ජීවිතේට අවුරුදු දෙකක්‌ විතර වෙනවා. හරිම සුන්දරයි. එයාගෙ ව්‍යාපාර කටයුතුවලට ගොඩක්‌ උදව් කරනවා.

ඔහු ඔබට බැනලා එහෙම නැතිද?

ඕන තරම් බැනලා තිබෙනවා. මොකද වැරදි වැඩක්‌ කරහම ඕනෑම කෙනෙක්‌ බනිනවානේ. මමත් වැරදි වැඩකළහම මහත්තයා බනිනවා.

මොනවද ඔයා කරන වැරදි වැඩ?

පොඩි පොඩි වැරදි තමයි. සමහර වෙලාවට මහත්ත කියන දේවල් අහන්නේ නැතුව මගේ කැමැත්තට වැඩ කරනවා. එතකොට බැනුම් අහන්න වෙනවා.

නිළියන්ගේ පවුල් ජීවිත අවුල් වෙන්නෙ විවාහයෙන් පසුවත් රංගනයේ යෙදුනොත් කියලා ගොඩක්‌ දෙනා කියනවා. මේ කතාව ඇත්තක්‌ද?

අනිවාර්යයෙන්ම ඇත්තක්‌. රංගනය කියන්නෙ වෙනම ජීවිතයක්‌. මොකද ගොඩක්‌ වෙලාවට ගෙදර ඉන්න ලැබෙන්නේ නැහැ. තමන්ගේ මුළු කාලයම රංගනය වෙනුවෙන් කැප කරලා ගෙදර දොර වැඩ මගහැරියොත් පවුල් ප්‍රශ්න ඇතිවෙනවා. මම හිතන්නේ ගැහැනියක්‌ හැටියට, හැම දෙයක්‌ම සමබරව කරගෙන යනවා නම් සියල්ලම සාර්ථක කරගන්න පුළුවන්.

ඔබට එවැනි ප්‍රශ්න නැතිද?

නැහැ. මොකද මම හැමවිටම මුල් තැන දෙන්නේ මගේ පවුල් ජීවිතයට. ඊට පස්‌සේ තමයි අනෙක්‌ දේවල් ගැන හිතන්නේ. ඒක මම බඳින්න කලින් ඉඳල ගත්තු තීරණයක්‌. සමහර විට මාව වැඩිපුර දකින්න නොලැබුණෙත් ඒක වෙන්න ඇති.

මවක්‌ වීම තුළ රංගන ජීවිතයේ ආදරවන්තියගේ චරිතය සචිනිගෙන් ගිලිහෙයිද?

ඔව්. අනිවාර්යයෙන්ම. සමහර විට අධ්‍යක්‍ෂවරු මට ඒ චරිතය නොදෙන්න ඉඩ තිබෙනවා. ඒක ඇත්තටම අවදානමක්‌. මම ඕනෑ තරම් ආදරවන්තියගේ චරිත රඟපාල තිබෙන නිසා ඒ ගැන කනගාටුවෙන්නේ නැහැ. ආදරවන්තියගේ චරිතය ගැන හිතලා මගේ ජීවිතය අවුල් කර ගන්න බැහැ.

ආදරවන්තියගේ චරිතය පවුල් ජීවිතයට බාධාවක්‌ වෙයි කියලා හිතනවාද?

නැහැ.

ඒ චරිතයට ගැලපෙන සිරුරක්‌ අද ඔබට තිබෙනවාද?

යුවතියක්‌ විවාහවෙලා බබාල හම්බවුණහම සිරුර හරියට නඩත්තු කරන්නේ නැහැ. ඒ නිසා තරබාරු වෙන්න පුළුවන්. එතකොට පෙම්වතියගේ චරිතය ගිලිහිලා යන්න පුළුවන්. මම නම් ඒ තත්ත්වයට පත්නොවී ඉන්න තමයි බලන්නේ. මොකද මම නිළියක්‌ නිසා.


දිනේෂ් විතාන
ඡායා - සමන් අබේසිරිවර්ධන


Copy Rights - Divayina

0 comments:

Post a Comment