----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ආදරය ගැන හිතන්න ඕනෑකමකුත් නෑ; වෙලාවකුත් නෑ

Wednesday, April 13, 2011

නතාෂා පෙරේරා

මීට කලකට පෙර ළමා ගායිකාවක ලෙස කා අතරත් ජනප්‍රියව සිටි ඇය අද නව යොවුන් වියේ පසුවන කලා ශිල්පිනියකි. ගායිකාවක, නිවේදිකාවක ලෙස මෙන් ම රංගන ශිල්පිනියක ලෙස ද අද ඇය කාගේත් ආදරය දිනා සිටින්නීය. මේ සුන්දර යෞවනිය නතාෂා පෙරේරා ය.

“සුළඟක් සේ...” ගීතය ගයමින් ගායනයට පිවිසි ඇය ‘සුළං කුරුල්ලනේ’ නමින් ගීත එකතුවක් ද එළිදැක්වූවා ය.

මේ දවස්වල ඔබේ කාලය ගත වෙන්නෙ කොහොමද?

මේ දවස්වල මම තරමක් කලා කටයුතුවලින් ඈත් වෙලයි ඉන්නෙ. මගෙ අධ්‍යාපන කටයුතුවලට වැඩි කාලයක් යොදවන්න සිදුවීමයි ඒකට හේතුව. පසුගිය කාලෙ මම රූපවාහිනිය වෙනුවෙන් නිර්මාණය කළ ගීත කීපයකම රූප රචනාවලට පෙනී සිටියා. දැන් ඒව සෑම නාලිකාවකම වාගේ විකාශය වෙනවා. ලහිරුගෙ ‘සුදු ගවුමෙ ඇයි මඩ ගෑවුණේ...’, රසිකගෙ ‘සබඳිනී’ වැනි ගීත ඒ අතරින් විශේෂයි.

ඔබ නිරත වෙලා ඉන්න අධ්‍යාපන කටයුතු මොනවාද?

මම දැනට උසස් අධ්‍යාපනය හදාරනව. නීතිය තමයි මම ඉගෙන ගන්න විෂය. මේ අවුරුද්දෙ අග අවසන් විභාගයට මුහුණ දෙන්න තියෙනව. මම දැන් සම්පූර්ණ කාලය යොදවන්නෙ විභාගයට හොඳින් මුහුණදීම සඳහා පාඩම් කරන්නයි.

දිගටම රංගනයේ යෙදෙනවද?

මම කැමැති ම සංගීතයට. රංගනයේ දිගටම යෙදෙන්න මගෙ බලාපොරොත්තුවක් නෑ. හැබැයි හොඳ නිර්මාණයකට ඇරියුමක් ලැබුණොත් ඒකට සහභාගි වෙනව.

ජීවිතයේ අනාගත බලාපොරොත්තු මොනවාද?

මගෙ එකම අරමුණ මම ඉගෙන ගන්න හැම දෙයක් ම ඉතා ම සාර්ථකව නිම කිරීම. අනාගතයේදී හොඳ නීතිඥවරියක් වීමත් මගෙ තවත් බලාපොරොත්තුවක්.

රංගනය පිළිබඳව හදාරන්න බලාපොරොත්තු වෙනවද?

මම වැඩියෙන් ම යොමු වෙලා ඉන්නෙ සංගීතය නිසා සංගීත විෂය නම් කොහොමත් ඉගෙන ගන්නව. නමුත් ඉදිරියේදී මම රංගනයේ යෙදුනොත් රංගනය ගැන හදාරන්නත් මගෙ හිතේ තියෙනව. ඒ මොකද ඕනෑම දෙයක් පිළිබඳව හැදෑරීමක් කළොත් ඒක සාර්ථකව කරන්න හැකියාව ලැබෙන නිසා.

කොහොමද ඔබේ සංගීත කටයුතු?

මම ඉන්දියානු භාත්ඛණ්ඩ විභාගය කළා. ඒ වගේ ම ආනන්ද රාජපක්ෂ ගුරුතුමා යටතේ සංගීතය හදාරල විශාරද විභාගයට පෙනී සිටියා. ඒකෙ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නව. ඊට අමතරව මගෙ තුන්වැනි ගීත එකතුව ළඟදීම රසිකයින්ට ඉදිරිපත් කරන්නත් සූදානම් වෙනව. මීට ඉස්සර මම ඉදිරිපත් කළ “සුළං කුරුල්ලනේ” ගීත එකතුවට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. සංගීතය තමයි මගෙ ජීවිතය.

ඔබට සංගීත භාණ්ඩ වාදනයත් පුළුවනි ද?

ඔව් ගිටාරය, ඕගනය, සිතාරය මට හොඳට පුළුවනි.

ඔබේ කලා කටයුතුවලට අම්මාගෙන් ලැබෙන්නෙ මොනවගේ සහයෝගයක් ද?

කලා කටයුතුවලදී විතරක් නෙමෙයි මගෙ ජීවිතයේ සෑම දෙයකදීම මගෙ හෙවණැල්ල වගේ ඉන්නෙ මගෙ අම්ම. මගෙ මීළඟ ගීත එකතුව එළි දක්වන්න අම්ම මේ දවස්වල ගොඩක් වෙහෙසෙනව.

ඔබේ විවේකය ගත වෙන්නෙ කොහොමද?

සංගීතය එක්ක තමයි මගෙ විවේකයෙන් වැඩි කාලයක් ගත වෙන්නෙ. ඊට අමතරව පොත් කියවන්නත් කැමැතියි.

රසික රසිකාවියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඔබට කරදරයක් ද?

නැහැ. ඔවුන්ගෙ ආදරය, හිතවත්කම කරදරයක් කියල මම හිතන්නෙ නෑ. මගෙ රසික රසිකාවියන් පෙන්වා දෙන හොඳ නරක දෙක ම මම සතුටින් බාරගන්නව.

නව යොවුන් වියේ පසුවන යුවතියක් හැටියට ප්‍රේමණීය ආරාධනාවක් ලැබී තියෙනවද?

නැහැ තවම නෑ. මට තවම ඒව ගැන හිතන්න ඕන කමකුත් නැහැ. වෙලාවකුත් නැහැ.

නවීන විලාසිතාවලට ඔබ කැමතිද?

මම ලස්සනට අඳින්න පළඳින්න ආසයි. ඒක සෑම තරුණියකගෙ ආසාව. හැබැයි මම තෝරාගත්තෙ මට ගැළපෙන විලාසිතාවන්. ගොඩක් වෙලාවට මට ඇඳුම් තෝරල දෙන්නෙ මගෙ අම්මා.

ඔබ වැඩියෙන් ම යන්න කැමති රට මොකක්ද?

මම කැමැති ම ලංකාවට. යන්න කැමැතියි එංගලන්තය, නවසීලන්තය, වැනි රටවලට.

ඔබ ආඩම්බරකාර චරිතයක් ද?

අනේ නැහැ. මම ආඩම්බර නැහැ. මාව ආශ්‍රය කරන අය මාව හොඳින් දන්නව.

ඡායාරූපය - රන්දික අහංගම

Copy Rights - Silumina

0 comments:

Post a Comment