----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මම ආයෙත් විවාහ වුණා

Saturday, April 16, 2011

අනූෂා සොනාලි අලුත් ජීවිතයක් අරඹයි

උපන්දා සිටම අප ජීවිතයට එක් කර ගන්නා අත්දැකීම් මෙතෙකැයි කියන්නට නොහැක. ඒ අත්දැකීම් රස නීරස, සොඳුරු මෙන්ම කටුක බවින් යුත් ඒවායි. අනූෂා සොනාලි ද එවන් වූ අත්දැකීම් බොහොමයකට මුහුණ දෙමින් ජීවිතය විඳීන්නට උත්සාහ කරන්නියකි.

‘මම ආයෙත් විවාහ වුණා.’ ඇගේ විවාහ ජීවිතයට වසර 1 1/2 කි. දිනේෂ් ඉන්දික රාජකරුණා අනූෂාගේ සැමියායි. සහකාර වතු අධිකාරීවරයෙක් ලෙස ඉන්දික රැකියාව කරන්නේ නුවර හන්තාන ප්‍රදේශයේ.

‘අපි දෙන්නා හඳුන ගත්තෙ ෆෝන් එකෙන්. එයා මාව දැනගෙන හිටියට මම එයාව දන්නෙ නැහැ. රසිකයෙක් විදිහට මට කතා කරපු ඉන්දික දිගින් දිගට කතා කරලා මට ගොඩාක් හොඳ යහළුවෙක් විදිහට ළං වුණා.

ගොඩාක් හොඳ යාළුවෙක් විදිහට එයා ගැන පැහැදීමක් මට ඇති වුණා. ඒ පැහැදීම තමයි අපිව ළං කළේ. මං ඉපදුන දවසෙ ඉඳලා එයාව හම්බ වෙනකල්ම මගේ ජීවිතයේ සිද්ධ වුණ හැම දෙයක්ම එයා මගෙන් ඇහැව්වා. ඒ හැමදේම දැනගෙන තමයි එයා මට ‘විවාහ වෙමු’ කිව්වෙ. අපි දෙන්නගෙ කැමැත්තට අපි දෙන්නා විවාහ වුණා.

විවාහය අවතැන් වූ ගැහැනියකට විශේෂයෙන් සමාජයේ වැඩි අවධානයක් ඇති අයෙකුට විවිධ වූ බලපෑම් ඇති වීම නොරහසකි. විවාහය අවතැන්වීමෙන් ලැබෙන බලපෑම්වලින් මිදෙන්නට ඇති එකම මග නැවත විවාහයද?

‘මම ආයෙ කසාද බැන්දෙ තනිකඩ ගැහැනියක් විදිහට මට එන දේවල්වලින් ගැලවෙන්න නෙවෙයි. විවාහය බිඳිලා ගියහම හුඟ දෙනෙක් අපේ ජීවිතවලට ළං වෙන්න හදන්නෙ අපේ දුර්වලකම්වලින් අයුතු ප්‍රයෝජන ගන්න.

ආදරය, රැකවරණය හොයද්දී ඒ අය අපිට ඒ දෙවල් දෙන්නෙ අනියම් විදිහට. මට ඕන වුණේ මගේම කියලා කෙනෙක්ව. සතුට, දුක එක විදිහට බෙදා ගන්න පුළුවන්, මටයි පුතාටයි ආදරේ කෙනෙක්ව.

ගැහැනියෙක්ට ඒ ජීවිතේ අත්‍යාවශ්‍යමයි. ඒත් එහෙමයි කියලා මගේ තනි කැමැත්තට දෙයක් කර ගන්න බැහැනෙ. ඉන්දිකගෙ කැමැත්ත අසීමිතව තිබුණා නිසා තමයි අපි විවාහ වුණේ.

‘පුතා කැමති වුණාද ඔයා ආයෙ විවාහ වෙනවාට?

මගේ පුතා මං ගැන දන්නවා. එයාටත් තාත්තා කෙනෙක්ගෙ උණුසුම, රැකවරණය ඕන. අපි කසාද බඳින්න කලින් ඉඳලම පුතා එක්ක ඉන්දික ෆෝන් එකෙන් කතා කරනවා.

පුතා එක්ක ඉන්දික හරිම එකතුයි. ඒ දෙන්නා ඉන්න දවසට ගේ පිරිලා. ඒ පිරුණුකම ගැන මට තියෙන්නෙ ලෝබ හිතෙන විදිහෙ සතුටක්.

අනූෂා තම ජීවිතය ගැන කතා කරන්නේ උතුරා යන සතුටිනි. සත්තකින්ම ගැහැනියකට තම පවුල් ජීවිතය තරම් වටිනා කිසිවක් නොවේ.

‘මගේ පුතා හොස්ටල් ඉන්නෙ, සති දෙකකට සැරයක් තමයි ගෙදර එන්නෙ. ඉන්දිකත් නුවර ඉඳලා ගෙදර ආවහම, ඒ දවස් ටිකේම ගේ පිරිලා. අපි දෙන්නාගෙම යාළුවෝ එකට එකතු වෙලා සතුටු වෙනවා.’

අනූෂාගේ ජීවිතයට වට මේ සොඳුරු බව රැක ගැනීම ඇගේ පරම ප්‍රාර්ථනාවයි.

‘පවුල් ජීවිතේක අගය මං හොඳට දන්නවා. මිනිස්සුන්ගෙ ජීවිතවලට කාලෙන් කාලෙට විවිධ අත්දැකීම් එකතු වෙනවා. මගේ ජීවිතයේ සිද්ධ වුණ හැමදේමත් එහෙමයි. කලින් මම සැලෝන් එකක් කළා.

ඒත් ගෙදරින් එළියට යනවට වඩා ගෙදර ඉඳලම ඒ කටයුතු කරන එක හොඳයි කියලා හිතුණ නිසාම ගෙදරට එන රූපලාවන්‍ය කටයුතු විතරයි කරන්නෙ.

හොඳ චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබුණොත් මම රඟපාන්න කැමතියි. පහුගිය කාලෙ වගේම මේ දවස්වලත් මට ගීත ගායනා කරන්න ආරාධනා ලැබෙන ප්‍රසංගවලට සහභාගී වෙනවා.’

ජයග්‍රහණ මෙන්ම පරාජයන් ලැබෙන්නේද මිනිසුන්ටය. ලැබූ පරාජයන්, අමිහිරි අත්දැකීම් මතින් ජීවිතය දිනන්නට හැකි නම් අගනා වෙන කිසිවක් නොවේ.

© Copy Rights - Sarasaviya

0 comments:

Post a Comment