----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

නොනවතින රිද්මයක තාල රටාව ‘සළඹ’

Tuesday, April 12, 2011

ශ්‍රී ලාංකේය නර්තන කලාකෙත අස්වද්දන්නට නර්තන ක්ෂේත්‍රයට පහළ වූ තවත් එක් සුවිශේෂී තරුවක් ලෙසින් ඔහුව හැඳින්වීම නිවැරැදිය. දේශීයත්වය අගයමින් ජාතිකත්වය සුරැකමින්, අපේ කම අපේ අනන්‍යතාවය ජාත්‍යන්තරය කරා රැගෙන ගිය ඔහුගෙන් ගුරු හරුකම් ලැබූ පිරිස අප්‍රමාණය. නර්තන රටා රැල්ලේ දේශීය සලකුණ සොයා නව ශෛලීන්ද හඳුන්වාදෙමින් එහෙත් සම්ප්‍රදායට ගරු කරමින් රසවත් බවත්, නිර්මාණශීලීත්වයත් එකට සුසංයෝග කළ ඔහු නමින් චන්දන වික්‍රමසිංහයන් ය.

ර්තන ක්ෂේත්‍රයෙහි සුවිශේෂී පරපුරක් වූ බුදවත්තයන්ගෙන් පළමු ගුරු හරුකම් ලබාගත් චන්දන වික්‍රමසිංහයන් එහිදී නර්තන කලාවේ වෘත්තීය මට්ටම හඳුනාගත්තේය. ඉන්ඉක්බිති අන්‍ය ලක්‍ෂණ සොයා ශාන්ති නිකේතනයෙන් අධ්‍යාපනය ලබන්නට විදෙස් ගත වන ඔහු නර්තන කලාවේ නවමු යුගයක් සොයා නිර්මාණකරණයට පෙළඹෙයි. මයුර සංදේශය, රාමායනය, ශාකුන්තලය ආදී විශ්ව සම්භාව්‍යයන් නර්තනයෙන් ප්‍රතිනිර්මාණය කරන්නට ඔහු තම අපූර්වත්වය මනාව යොදාගනී. දිය කිඳුරියකගේත් මුහුදු අශ්වයෙකුගේත් ලාලිත්‍යය සේම, ගින්නෙහි ලාලිත්‍ය උණුසුම දෙපාර්ශවයට එකට කැටිව නර්තනයෙන් විදහා පාන්නට සමත් වූ ඔහුට අවැසි වූයේ නිරතුරුව ජාත්‍යන්තරය අතික්‍රමණය කරන්නටය. ශ්‍රී ලාංකේය නර්තන කලාව දසත පතුරාලන්නටය. නවමු සම්ප්‍රදායකින්, සාම්ප්‍රදායකත්වය කැටිවූ නර්තනයේ ඊළඟ යුගය සොයා යන්නටය. යුග පෙරළියක අබිමන් දකින්නටය.

එදා “රිවර් ඩාන්ස් ඔපෙරා” “එම්පරර් ඔෆ් ද මොන්සුන්”, “අන්ඩර් ද ස්ටාර්” සමගින් ඉන්දීය නර්තන ලෝලී පේ‍්‍රක්ෂකයින්ට සමීප වූ ඔහු අතික්‍රමණය කළේ ආසියාව පමණක් නොවේ. ශ්‍රී ලංකාවේ රංග රටා සමගින් ක්වේට් දේශයද නර්තනයෙන් කැලඹූ ඔහු මේ වන විට විදෙස් රටවල් 55 ක ස්වකීය නර්තන රටා ප්‍රදර්ශනය කර තිබේ. තරු දිලෙන රැයක් ප්‍රසංගය තුළ නර්තන පුහුණුකරුවෙකු ලෙසින් නැවුම් අත්දැකීමක් ලාංකීය ප්‍රේක්‍ෂකයාට ළඟා කරවන්නට අවැසි ශක්තිය, ධෛර්යද අපූර්ව නිර්මාණ ප්‍රතිභාවද ඔහු සතුවිය. ඒ නිසාවෙන් දෝ ලාංකිකයින් නව ආරක නර්තන සම්ප්‍රදායකට ඇලුම් කරන්නට විය. ඒ ඔහුගේ පෙළඹවීමෙනි. දේශීය සම්ප්‍රදායට නව ආරක ලක්ෂණ එක්කරනු වස් වරින්වර විදේශීය ආභාෂයන් අත්හදා බලන්නටද ඔහුට ඇවැසි විය. සන්තූර් වාදන ශිල්පී තරුන් භට්ටාචාර්ය, බටනලා ශිල්පී හරිප්‍රසාද් චෞරසියා ආදී වූ විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් සමඟ එක් වී ඔහු සෙව්වේ ඒ නූතනත්වයයි.

නර්තන අනුමණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසින් කටයුතු කරන ඔහු පිළිබඳ යළිදු කතිකාවතකට මුල පිරෙන්නේ “සළඹ” ප්‍රසංගයත් සමගිනි. අප්‍රේල් මස දෙවනදා (02) කැනඩාවේ ටොරොන්ටෝ හිදීත්, තෙවෙනිදා (03) කැනඩාවේ ඔටාවාහිදීත් “සළඹ” හි සැබෑ අරුත, දකින්නට කැනඩාවාසින් වාසනාවන්ත වූයේ, ජාත්‍යන්තර ය තුළ ශ්‍රී ලාංකික අභිමානය තවත් උසුලා තබමිනි. විවිධ වකවානුවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් හඬක් නැගූ ප්‍රබල කැනේඩියානු මාධ්‍යයන් වූ “වොයිෂ් ඔෆ් ලංකා” හි විසි වන සංවත්සරය වෙනුවෙන්, චන්දන වික්‍රමසිංහයන්ගේ “සළඹ” ට ඇරයුම් ලැබෙන්නේ ඔවුන් කළ මෙහෙවරට උපහාරයක් පුදකරන්නට, අගයන්නට ලාංකිකයින් වෙනුවෙන් අවස්ථාවක් ලබා දෙමිනි. විශේෂත්වය වනුයේ චන්දන වික්‍රමසිංහයන්ගේ “සළඹ” සියලුළු නර්තන කණ්ඩායම් අතරින් අන් අයට සේම ඔවුනට ද සුවිශේෂී වීමය.

චන්දන වික්‍රමසිංහයන් හා ඔහුගේ නර්තන කණ්ඩායමේ එකතුවක් ලෙසින් නිර්මාණය වූ “සළඹ” නර්තන අංග 26 කින් යුතු නොනවතින රිද්මයක නාද රටා මැවෙන ප්‍රාසාංගික අත්දැකීමකි. සම්ප්‍රදායික නර්තනයන්, ජන නැටුම්, විනෝදාස්වාද නර්තන, සහ නිර්මානාත්මක නර්තනය යනාදී වූ නර්තන විශේෂයෙන් හේ මනා සංකලනයකින් “සළඹ” සුසැදිය. එපමණක් නොව අපේ අන්‍යතාවය ලොවට කියාපෑ හැකි ආගමික විශ්වාස, හුදු මිථ්‍යා මතවලට පමණක් නොව ප්‍රායෝගික ලෝකයේ ද දක්නට ලැබෙන බලි තොවිල් ආදී යාතු කර්ම ආශි‍්‍රත වූ සම්ප්‍රදායික ජන නර්තනයන් ද බටහිර ශෛලින්ට අනුගත වූ ද බොලිවුඩ් සිනමා නර්තනයන්ට නෑකම් කියන්නා වූ ද අංගයන්ගෙන් “සළඹ” පරිපූර්ණ වේ.

වොයිෂ් ඔෆ් ලංකා හි සභාපති ධූරන්දර රංජිත් වික්‍රමසිංහයන් ගේ හා මාලනී ජයතුංගයන්ගේ ඇරයුම චන්දන වික්‍රමසිංහයන්ගේ ‘සළඹ” වෙනුවෙන් ලැබෙන්නේ ඒ වූ සුවිශේෂීත්වය ඔවුන් ට සුවිශේෂී වූ හෙයිනි. චන්දන වික්‍රමසිංහ වූ කලී එක් අතකින් රසකාමියෙකි. තවත් අතකින් නර්තන කලාවේ නවතාවයන් වරින්වර නිර්මාණය කරමින් අලුත් යමක් අලුත් ලෙස කළ අයෙකි. එපමණක් නොව සාහිත්‍ය ඇසුරු කරමින් සියලු විෂය පථයන්ගෙන් යම් යම් දෑ උකහා ගනිමින් එයද අපූර්ව ලෙස නිර්මාණකරණයෙහි ලා භාවිතා කළ අයෙකි. චන්දන වික්‍රමසිංහයන්ගේ “සළඹ” ප්‍රසංගය මේ වන විටත් රටවල් රාශියක් ආවරණය කරමින් විදෙස් ජන ප්‍රසාදයද හිමිකරගත්තකි.

වොයිෂ් ඔෆ් ලංකා ආයතනය “සළඹ” හරහා සිදුකිරීමට සූදානම් වන්නේ තවත් එක් ආකාරයකට ඒකාකාරීබවෙන් මිදුණු නර්තන රටා සම්ප්‍රදායක් විඳින්නට අවස්ථාව සලසාදීමයි. මෙය එක් අතකින් අවධානය යොමුකිරීමේදී ලාංකික නර්තනය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. එපමණක් නොව එය ලාංකීය නර්තන ශිල්පන් ලැබූ සුවිශේෂී වරමකි. හොඳ අවස්ථාවකි. ලංකාවේ නර්තන කලාවේ නවතාවයන් හඳුනාගත්, ඒවා තාල රටා සමගින් හැඩ බවට පත් කර නර්තන රටා මැවූ චන්දන වික්‍රමසිංහ නම් වූ ඔහු, ස්වකීය නර්තන කණ්ඩායමේ දක්‍ෂතා මේ වන විට ලෝකය පුරා ප්‍රේක්ෂකයින්ට විඳින්නට අවස්ථාව ලබාදී තිබෙන්නේ ඉතා කෙටි කාලයක් තුළදීය. නර්තන කලාවට පැමිණ දශකයක් ඉක්මවුවද , ලැබූ ජනපි‍්‍රයත්වය, ජාත්‍යන්තර තුළ ලාංකේය නාමය ඔසවා තබන්නට ඔහුට හැකිවීම ඉතා නිහතමානී ලෙසින් අත්විඳින ඔහු සැබැවින්ම අපට අභිමනකි.

0 comments:

Post a Comment