----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

රණවිරු රියල් ස්ටාර්

Tuesday, April 12, 2011

රණවිරු ගායන ප්‍රතිභාව ලොවට විදහා පාන

රණවිරු රියල් ස්ටාර්

ඉතිහාසේ පුරාම අපි කතා කළේ අපේ රණවිරුවන්ගේ රණ ශූරත්වය පිළිබඳ. කතාවෙන් විතරක් නොවෙයි ඒ ශූරකම් කොයි තරම්ද කියලත් ඔවුන් පසුගිය කාලේ අපට ඔප්පු කරල පෙන්නුවා.

පුරා දශක තුනකටත් අධික කාලයක් තිස්සේ අපේ රටේ තිබුණු කුරිරු යුද්ධය සම්පූර්ණයෙන්ම තුරන් කරන්න පුළුවන් වුණේ මේ රණවිරුවන්ගේ හැබෑ වීරත්වයෙන් වගේම රටේ නායකයාගේ නිවැරදි නායකත්වයෙන්.

එදා රණ බිමේ අපේ විරුවන් සිය ලේ කඳුළු වගුරුවද්දී සිය දහසක් ජීවිත රණ බිම මත පූජා කරත්දී අපේ රටේ ජනතාව ඔවුන් සමඟ නිරන්තරව සිටියා.

එසේ ජීවිත පරිත්‍යාගයෙන් මවුබිමට නිදහස දිනා දුන්න රණවිරුවන් ගැන කෙරෙන වෙනත් ආකාරයේ සටහනක් මේ.

මේ දිනවල ජාතික රූපවාහිනියෙන් ඔබ නරඹන ’රණවිරු රියල් ස්ටාර්’ පිළිබඳවයි මේ කියන්නේ. මේ මොහොත වන විට රණවිරු ස්ටාර් තරගයේ අවසන් දහදෙනා තරග වදින අයුරු පසුගිය දිනක අපිට ද දැකගන්ට ලැබුණා.

ජාතිත ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා

ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් බ්‍රිගේඩියර් රාජිත අම්පෙමොහොට්ටි ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකාය නියෝජනය කරමින් කෝප්‍රල් සුභාෂිනී ගමගේ, ශ්‍රී ලංකා යුද හමුදා විජයබා පාබළ රෙජිමේන්තුව නියෝජනය කරමින් කෝප්‍රල් අමරසිංහ බණ්ඩාර ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් කමාන්ඩර් ඩේමියන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා නාවික හමුදාවේ උප ලුතිනන් තාරක ලහිරු සම්පත්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ අයේෂා මඩලස්ස, යුද හමුදා විජයබා පාබළ රෙජිමේන්තුවේ කෝප්‍රල් ලලිත් වික්‍රමනායක, ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ ධනුෂ්ක ලක්මාල්, යුද හමුදා සේවා බළකායේ සාමාන්‍ය සෙබළ ඉන්දික අමරංග දසනායක ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පියාසර නිලධාරි සාරංග දයා ක්‍රිශාන්ත මේ අවසන් තරගකරුවන් දසදෙනා අතර වෙති.

ඉදිරි තරගවලටත් සාර්ථකව මුහුණ දෙනවා

-බ්‍රිගේඩියර් රාජිත අම්පෙමොහොට්ටි

බ්‍රිගේඩියර් රාජිත අම්පෙමොහොට්ටි යුද හමුදාවට සම්බන්ධ වී ඇත්තේ 1985 වර්ෂයේදී ය. 1990 වර්ෂයේ අග භාගයේදී රටේ පැවතුණු අයහපත් වාතාවරණය තුළ ක්‍රියාන්විත රාජකාරියේ යෙදුණු බ්‍රිගේඩියර් මොහොට්ටි දෙවන ඊළමේ දී යාපනය මුදා ගැනීමේ සටනට එක් විය.

එහිදී ‘වාසවිලාන්’ කඳවුර බේරා ගැනීමේ සටනේදී වැදුණු වෙඩි පහරක් නිසාවෙන් පාද දෙකම පණ නැති වීමෙන් පුරා වසර 2 1/2ක් ඔහුට එක් තැන් වන්නට සිදු විය.

”1990 ඔක්තෝබර් 17 වැනිදා තමයි මේ වෙඩි ප්‍රහාරයට ලක් වෙන්නට මට සිදුවුණේ. ඊට පස්සේ ඇඳක් මත ඉඳගෙන වුණත් මට අවශ්‍ය වුණේ ජීවිතය දිනන්න. පුනරුත්ථාපනයකින් පසු අද මම මේ විදියට ජීවිතයට මුහුණ දෙනවා. ඒ කාලෙත් මම සින්දු කියන එක නැවැත්තුවේ නෑ. මගේ නමින් නොවුණත් මීට ප්‍රථමත් මම රණවිරු ගී රැසක් ගායනා කරලා තිබෙනවා.

මුලිනුත් කිව්වා වගේ මට ඕන වුණා ප්‍රයෝජනවත් පුද්ගලයෙක් වෙන්න. ඒ අනුව වෙඩි වැදීමෙන් පස්සෙ මම රට නියෝජනය කරන ක්‍රීඩකයෙක් බවට පත්වුණා. ඊට පස්සෙ ක්‍රීඩා පරිපාලකයෙක් වුණා.

පස්සෙ කාලෙක මා වැනිම වෙඩි වැදුණ හමුදා සහෝදරයන් පුනරුත්ථාපනය කිරීම සඳහා යොමු වී සිටියා. අද වනවිට යුද හමුදා මූලස්ථානය යටතේ තිබෙන පුනරුත්ථාපන මණ්ඩලයේ නියෝජ්‍ය පුනරුත්ථාපන අධ්‍යක්ෂ ධූරය දරනවා.

මගේ ගම ගණේමුල්ල. මම විවාහකයි. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ‘රණවිරු රියල් ස්ටාර්’ පිළිබඳ මගේ ලොකු ප්‍රසාදයක් තිබෙනවා. ඉදිරි තරගවලටත් සාර්ථකව මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා.”

කිරුළ ලැබුණොත් දරාගන්න බැරිවේවි

-කෝප්‍රල් සුභාෂිනී ගමගේ

කෝප්‍රල් සුභාෂිනී ගමගේ යුද හමුදාවට සම්බන්ධ වී ඇත්තේ 1997 වර්ෂයේදීය.

ගම්පහ ගෝතමී බාලිකාවෙන් සහ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලත් ඇය යුද හමුදා සංගීත අංශයට සම්බන්ධ වූවාය.

”යුද හමුදා සංගීත අංශයේ හිටියත් ක්‍රියාන්විතය තිබුණ අවදියේ ඒ පළාත්වලට ගොස් අපේ සහෝදර සහෝදරියන් දිරිමත් කරන්න මා සම්බන්ධ වුණා. ‘රණවිරු රියල් ස්ටාර්’ වැඩසටහන ගැන ලොකු විශ්වාසයක්, ප්‍රසාදයක් තිබෙනවා.

රියල් ස්ටාර් කිරුළ දිනාගන්න ලැබුණොත් ඒක මට දරාගන්න බැරි සතුටක් වේවි. මම විවාහකයි.

මගේ සැමියා ව්‍යාපාරිකයෙක්. පුතෙක් සහ දුවෙක් ඉන්නෙ.

මේ හැමදෙනෙක්ගෙන්ම ලොකු සහයෝගයක් මට ලැබෙනවා.

සංගීතයෙන් ඉදිරියට ගියත් හමුදාව දාලා යන්නේ නැහැ

-කෝප්‍රල් අමරසිංහ බණ්ඩාර

කෝප්‍රල් අමරසිංහ බණ්ඩාර යුද හමුදාවට සම්බන්ධ වූයේ 2004 වර්ෂයේදීය.

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් ඔහු එවකට රටේ තිබුණ යුදමය වාතාවරණය ගැන සිතා සිය සේවය යුද හමුදාවට ලබාදෙන්න ඔහු හමුදාවට එක්විය.

”ඇත්තටම රණවිරුවන් කිව්වම අපි සීමාවෙලා හිටියේ යුද්ධ කරන්නමයි.

ඉන් පරිබාහිරව අපේ දක්ෂතා පෙන්නුම් කරන්න මේ ලබලා දුන්න අවස්ථාවට විශේෂයෙන්ම ආරක්ෂක ලේකම්තුමා ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත විය යුතුයි.

රියල් ස්ටාර් ජයග්‍රහණය කළත් මේ ක්ෂෙත්‍්‍රයේ ඉදිරියට ගියත් කවදාවත් යුද හමුදාව දාලා යන්නේ නෑ. යුද හමුදාව කියන්නේ මගේ අම්මා වගේ. කවදාවත් අම්මව දාලා යන්නේ නෑ.

නාවික හමුදාපතිගේ සහයෝගය ගෞරවයෙන් සිහිකරනවා

-කමාන්ඩර් ඩේමියන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කමාන්ඩර් ඩේමියන් ප්‍රනාන්දු සංගීතයට උපන් හපන්කම් ඇති පිරිසක් බිහිවුණ පුරවරයකින් බිහි වූ අයෙක්.

ඔහුගේ ගම මාරවිල වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයෙන් අකුරු කළ ඔහු නාවික හමුදාවට සම්බන්ධ වූයේ 1991 වර්ෂයේදීය.

විශේෂයෙන් මේ මොහොතේ සඳහන් කරන්න ඕන ‘රණවිරු රියල් ස්ටාර්’ වැඩසටහනට සම්බන්ධ වීම සඳහා නාවික හමුදාපතිතුමා විසින් ලබාදෙන සහයෝගය පිළිබඳව ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන. මම විවාහකයි.

මගේ බිරිඳත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 15ක් සේවය කරලා විශ්‍රාම ගියා.

මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා.

හැකියාව දක්වන්න මෙය තෝතැන්නක්

-උප ලුතිනන් තාරක ළහිරු සම්පත්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ උප ලුතිනන් වරයෙකු වන තාරක ළහිරු සම්පත් 2009 වර්ෂයේදී නාවික හමුදාවට සම්බන්ධ වූවෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සංගීත විෂය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ඇති ඔහු ගායනය හා වයලීන් වාදනය ද විශාරද දක්වා හදාරා ඇත.

”මම මූලික අධ්‍යාපනය ලැබුවේ කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලයෙන්. උසස් පෙළ කරන්න කොළඹ රාජකීය විද්‍යාලයට ආවා.

සංගීතය පිළිබඳ උපාධියක් තිබුණත් අද මම මෙතන ඉන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව නිසා.

මගේ හැකියාවන්, දක්ෂතාවය එළි දක්වන්න ‘රණවිරු රියල් ස්ටාර් තරගය’ මට තෝතැන්නක් වුණා.

ඉදිරියටත් තරගයට සාර්ථකව මුහුණ දීම තමයි මගේ එකම බලාපොරොත්තුව.

මගේ හැකියාවටත් ඉඩක් තියෙනවා

-අයේෂා මඩලස්ස

අවසන් දසදෙනා අතර වූ කාන්තා චරිත දෙක අතරින් අනෙක් කාන්තා චරිතය වූයේ ශ්‍රී ලංකා නාවික හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම නියෝජනය කළ අයේෂා මඩලස්සය. 1997 දී නාවික හමුදාවට බැඳුණු ඇය මුලින්ම නාවික හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායමේ නර්තන ශිල්පිනියකි.

සංගීතය විෂයක් වශයෙන් හදාරා නැති වුණත් ගීත ගායනා කිරීමේ හැකියාව උපරිමයෙන් ඇති ඇය කුරුණෑගල නිකවැරටිය නිල්ගස් වැව පදිංචිකාරියකි.

නිකවැරටිය හළඹගල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් ඇය විවාහකය.

ඇගේ සැමියා “ශ්‍රී ලංකා පොලීසියේ සංස්කෘතික අංශයේ නර්තන ශිල්පියකු වෙයි. අයේෂා දරුවන් දෙදෙනකුගේ මවකි.

මේ මොහොත වන විට තුන්වැන්නෙකුගේ පැමිණීම ද අපේක්ෂාවෙන් සිටී.

”මෙතන ඉන්න හැම දෙනාම දක්ෂයෝ. ඒ දක්ෂයෝ අතරින් මගේ හැකියාවටත් කිසියම් ඉඩක් ලැබිලා තිබෙනවා. එය ඔප මට්ටම් කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

මගේ ගායන හැකියාව පවුලෙන් ලැබුණු දෙයක්

-ලලිත් වික්‍රමනායක

කෝප්‍රල් ලලිත් වික්‍රමනායක කුරුණෑගල පොතුහැර ප්‍රදේශයෙන් පැමිණි රණවිරුවෙකි.

කුරුණෑගල ලක්දාස් මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලත් ඔහු උසස් පෙළ හැදෑරීමෙන් පසු යුද හමුදාවට එක්විය.

”යුද්ධය තිබෙන කාලේ පලාලි, කිලාලි, පූනරින්, පුල්මුඩේ වැනි පළාත්වල මම සේවය කළා.

දැන් යුද හමුදා මූලස්ථානයේ ලිපිකරුවකු වශයෙන් සේවය කරනවා. ගීත ගායනා කිරීමේ හැකියාව මට පුංචි කාලේ ඉඳලම තිබුණා.

සමහරවිට අපේ පවුලෙන් ඒක මට ලැබුණ දෙයක් වෙන්නැති. අපේ තාත්තටත් හොඳට ගීත ගායනා කරන්න පුළුවන්.

මම විවාහකයි. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා.


ධනුෂ්ක ලක්මාල්

ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ සාමාන්‍ය සෙබළෙකි.

දැනට උඩවලව යුද හමුදා කඳවුරේ සේවය කරන ඔහු කුඩා කළ පටන්ම සංගීතයට දැඩි කැමැත්තකින් පසු වූවෙකි.

උඩවලව මහා විද්‍යාලයෙන් සහ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් ඔහු යුද හමුදාවට සම්බන්ධ වීමට ප්‍රථම කුඩා සංගීත කණ්ඩායමක රිදම් ගිටාර් වාදකයකු වශයෙන් ද කටයුතු කර ඇත.


ඉන්දික අමරංග දසනායක

යුද හමුදා සේවා බළකායේ ඉන්දික අමරංග දසනායක 2007 වර්ෂයේදී යුද හමුදාවට සම්බන්ධ විය.

රත්නපුර කලවාන වැද්දාගල ප්‍රදේශයෙන් පැමිණි ඔහු කලවාන ජාතික පාසලෙන් සහ මල්ලත්තව මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූවෙකි.

ඉදිරියේදී සංගීතය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබන්නට ද ඔහු බලාපොරොත්තු වෙයි.


පියාසර නිලධාරි සාරංග දයා ක්‍රිශාන්ත

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සම්බන්ධ වූයේ 2007 වර්ෂයේදීය. 1996 දී සරසවි අධ්‍යාපනය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට පැමිණි ඔහු ඉන් අනතුරුව පුරා වසර 07ක් එම විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් ද සේවය කළේය.

තංගල්ල දීපංකර කනිෂ්ට විද්‍යාලයෙන් සහ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් ඔහු විවාහකයෙකි.

සංගීත උප ගුරුවරියක සමඟ විවාහ වී සිටින ඔහුට දරුවන් දෙදෙනෙකි.

මේ සියලු රණවිරුවන්ගේ දක්ෂතා එකම වේදිකාවකදී දකින්නට අවස්ථාව සැලසූ පුරෝගාමී අපූරු පුද්ගලයකු මේ පසුපස වේ. රණවිරු රියල් ස්ටාර් හි අරමුණ සහ ඉදිරි දැක්ම පිළිබඳ කතා කරන්නට එක්වූයේ ජාතිත ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතාය.

”රණවිරු රියල් ස්ටාර්” සංකල්පය ආරම්භ කළේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අදහසකට අනුව. දීර්ඝ කාලයක් පුරා මානුෂීය මෙහෙයුමක නිරත වෙලා හිටපු අපේ රණවිරුවන් වෙනුවෙන් විවිධ සුබසාධක වැඩසටහන් රැසක් පසුගිය කාලයේ අපි ආරම්භ කළා.

පසුගිය කාලය තුළ යුදමය කටයුතුවල විතරක් නියැලිලා සිටි මේ රණවිරුවන් එක්තරා කොටුවීමකට හසුවෙලා තිබුණා. අනෙක් කාරණාව තමයි නොයෙක් රූපවාහිනී නාලිකා රියැලිටි වැඩසටහන් ආරම්භ කළත් ඒවාට සම්බන්ධ වෙන්න අපේ රණවිරුවන්ට අවස්ථාවක් අවසරයක් දීලා තිබුණේ නෑ.

ඒ නිසා ආරක්ෂක ලේකම්තුමාට අවශ්‍ය වුණා, අපේ රණවිරුවන්ගේ ඒ දක්ෂතාත් එළියට ගේන්න. ඒක තමයි මේ වැඩසටහනේ මූලික අරමුණ වුණේ. ජනාධිපතිතුමන්ට මේ අදහස ඉදිරිපත් කළ ගමන්ම එතුමාගේ සම්පූර්ණ ආශිර්වාදය ලැබුණා.

මේ වනවිට සමීක්ෂණ වාර්තා හෙළිදරව් කර ඇත්තේ වෙනත් රියැලිටි වැඩසටහන්වලට වඩා ප්‍රේක්ෂක ප්‍රතිචාර උසස් මට්ටමින් රණවිරු රියල් ස්ටාර් වැඩසටහන වෙත ගලා එන බවයි.

”රණවිරුවන්” උදෙසාම දැනට ලෝකයේ පැවැති ප්‍රථම රියැලිටි වැඩසටහන මේක. අනිත් පැත්තෙන් මේක විකාශය වෙන්නේ ශ්‍රී ලංකාවේ උතුර, දකුණ නැඟෙනහිර, බටහිර ඇතුළු හැම පැත්තකටම හොඳින් පෙනෙන ජාතික නාලිකාවේ.

අපට අනුග්‍රහය දක්වන ඩයලොග් ආයතනය කියා සිටිනවා SMS පණිවුඩ මෙතෙක් නොවූ විරූ ප්‍රමාණයන් මේ සඳහා ලැබෙමින් පවතින බව.

වෙනත් රියැලිටි වැඩ සටහන් සේම SMS ප්‍රතිචාර ලබා ගැනීම ද රණවිරු රියල් ස්ටාර් හි වේ. එහි විනිවිද භාවය පිළිබඳව ද විශ්වසනීය තත්ත්වයක් ගොඩනැඟීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය මැදිහත්ව කටයුතු කරයි.

”එස්.එම්.එස්. ගණනය කිරීම සිදුකරන්නෙත් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ මගේ අධීක්ෂණයෙන් යුතුව පිහිටුවා ඇති මධ්‍යස්ථානයක. ත්‍රිවිධ හමුදාවම නියෝජනය වන නිලධාරීන් තුන්දෙනෙක් ඉදිරියේ තමයි මේ ගණනය කිරීම් සිදු කරන්නේ.

අනිත් පැත්තෙන් ලංකාවේ ප්‍රථම වතාවට විනිශ්චය මණ්ඩලය ලබාදෙන ලකුණු ප්‍රමාණය සටහන් කිරීමට අපි ඉලෙක්ට්‍රොනික් පෑනක් භාවිතා කරනවා.

ඒ පෑන කොම්පියුටර් යන්ත්‍රයට සම්බන්ධ කර තමයි ඒ ලකුණු ලබා ගන්නේ. ඒ නිසා ඉතා ක්‍රමානුකූලව, නිවැරදිව, විශ්වසනීයව තමයි මේ ගණනය කිරීම් සිදුවන්නේ.

මීළඟට රණවිරු ස්ටාර් වෙනුවෙන් අපි අති විශාල ත්‍යාග ප්‍රමාණයක් ලබාදෙන්න සූදානම්.

දැනටත් බත්තරමුල්ල ප්‍රදේශයේ මිලියන 15ක වටිනාකමක් ඇති නිවෙසක් ඉදිවෙමින් පවතිනවා ප්‍රථම ස්ථානය සඳහා.

දෙවන ස්ථානය සඳහා මුදලින් රුපියල් මිලියන 2ක් සහ තෙවන ස්ථානය සඳහා මුදලින් රුපියල් මිලියනයක් ලබාදෙන්න සූදානම් කර තිබෙනවා. අවසන් 24 දෙනා දක්වාම විවිධ ත්‍යාග ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.

අවසන් මහා තරගය යුද ජයග්‍රහණයට වසර දෙකක් සපිරෙන මොහොතේ පැවැත්වෙන උත්සවයන්ට සමගාමීව මැයි 29 දින සවස සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා.

0 comments:

Post a Comment