----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මහ ලොකු බලාපොරොත්තු මගේ ජීවිතයේ නැහැ

Thursday, April 28, 2011

මහ ලොකු බලාපොරොත්තු මගේ ජීවිතයේ නැහැ

තිසුරි යුවනිකා

අද ‘සතුටු සාමීචියට’ එක්වන්නී තිසුරි යුවනිකාය. ඇය රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලිගේ එකම දියණියයි. තිසුරි දැන් භද්‍ර යෞවනයේ පසුවන සුන්දර යුවතියකි.

තිසුරි මවු කුස සිටියදීත් ඇයගේ මව රංගනයේ යෙදුණාය. එහෙයින් රංගනය ඇයට මවගෙන් උරුමවූවක් ලෙස පැවසීම නිවැරැදිය.

පසුගිය අවුරුද්දෙ ඔබ උසස් පෙළ විභාගයට පෙනී සිටිය නේද?

ඔව්; මම උසස් පෙළට කළේ ප්‍රංශ බස, සිංහල බස, තර්ක ශාස්ත්‍රය කියන විෂයන්. විභාගය සමත් වුණත් විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදි වගේ.

හැබැයි මගෙ අධ්‍යාපනික කටයුතු මම මඟ නවත්වන්නෙ නැහැ. කොහොම හරි ඉදිරියට ඒවා කරගෙන යනවා. මගෙ ආසම විෂය තර්ක ශාස්ත්‍රය. එයින් උපාධියක් කිරීමට මම උපරිම උත්සාහය ගන්නවා.

කලා කටයුතුවලට මේ දවස්වල මොන විදියට ද සම්බන්ධ වෙලා ඉන්නෙ..?

මම රංගනයෙන් දායක වුණු “සවීණා” ටෙලි නාට්‍යයත් “සඳ සඳ වගේ” ටෙලි නාට්‍යයත් මේ දවස්වල විකාශය වෙනවා. “සඳ සඳ වගේ” ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් ඉවරයි. “සවීණා” ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඉදිරියේදි මම රඟපාන ටෙලිනාට්‍ය කීපයකම වැඩ කටයුතු පටන්ගන්න නියමිතයි.

ඔබ රංගනයට පිවිසුණේ මව නිසා නේද?

ඇත්තෙන්ම ඔව්. මට රංගන ක්ෂේත්‍රයට එක්වෙන්න පාර කැපුණේ අම්ම නිසයි.

ඔබේ රංගන කටයුතුවලදී දෙමව්පියන්ගෙන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක් ද?

මගෙ අම්මා හොඳ රංගන ශිල්පිනියක් නිසා මේ ක්ෂේත්‍රය ගැන හොඳට දන්නවා. තාත්තත් කලාව ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. ඒ දෙන්න මගෙ සෙවණැල්ල වගේ මගෙ ළඟින්ම ඉඳගෙන මට විශාල ශක්තියක් දෙනවා. මගෙ රංගන කටයුතුවල අඩුපාඩු පෙන්නල දෙන්නෙ මගෙ රංගනයන් අගය කරන්නෙ ඒ දෙන්න.

ඔබ රංගනයේ යෙදුණු වඩාත්ම කැමැති ටෙලි නාට්‍යය සහ චරිත කීපයක් සිහිපත් කළොත්...?

මාව කවුරුත් හඳුනගත්තෙ කුමාරසිරි අබේකෝන් අංකල්ගෙ “ඊස්වර සති” ටෙලි නාට්‍යයේ කළ රංගනයෙන්. ඒකෙ මම රඟපෑවෙ මගෙ අම්මගෙ දුව හැටියට. ඊට පසුව මම රඟපෑ සනත් අබේසේකර අංකල්ගෙ “දරුවන්ගේ අම්මලා” ටෙලි නාට්‍යයේ දෝනි කියන චරිතය ප්‍රේක්ෂකයින්ට ගොඩක් සමීප වුණා. රට ගිය අම්ම කෙනකුගෙ දුක් විඳින දරුවකුගෙ චරිතයක් ඒක.

ඒ ටෙලි නාට්‍යය විකාශය වන දවස්වල මහ පාරෙදි මාව දකින සමහර අම්මල මාව බදාගෙන අඬනවා. ඒ වගේම ප්‍රදීප් ධර්මදාස අයියගෙ “ඇහිපිල්ලමක් යට” ටෙලි නාට්‍යයේ මම කළ ද්විත්ව චරිතය ප්‍රේක්ෂකයින් ඉතාම කැමැත්තෙන් වැලඳගත්තා. ඒකත් මගෙ රංගන ජීවිතයේ අමතක නොවන රංගනයක්. සුදත් දේවපි‍්‍රය අංකල්ගෙ ‘උඩුගංයාමය’ චිත්‍රපටයේ මම කළ චරිතයටත් මම හරිම කැමැතියි.

පාසල් යන කාලෙ රඟපෑමට යොමුවීම අධ්‍යාපනයට බාධාවක් වුණාද?

නැහැ. මම රංගන කටයුතු බාරගත්තෙ පාසල් නිවාඩු කාලෙ. ඒ නිසා අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වුණේ නෑ. අනෙක මගෙ පාසලේ (අනුලා විද්‍යාලය) ගුරු තුමියන් මට විශාල සහයෝගයක් ලබා දුන්නා.

ඔබ ආනන්ද අබේකෝන්ගේ ‘කන්දෙ ගෙදර’ ටෙලි නාට්‍යය නරඹල තියෙනවද?

ඔව්. ඒ ටෙලි නාට්‍යයේ මගෙ අම්ම රඟපෑවෙ අම්මට මාව ලැබෙන්න ඉන්න විට; ගර්භනී කාන්තාවක් හැටියට. පසු කාලෙක ඒ ටෙලි නාට්‍යය නරඹද්දි මට දැනුණෙ හරිම අමුතුම විදියෙ හැඟීමක්. ඒ ටෙලි නාට්‍යයෙ අම්මගෙ කුසේ ඉන්නෙ මම නේද කියල හිතනවිට මට දැනෙන්නෙ පුදුම විදියෙ හැඟීමක්. ආනන්ද අන්කල් දැනුත් මුනගැහුනම කියනව ඔයා මුලින්ම ඇට්කළේ මගෙ ‘කන්දෙ ගෙදර’ ටෙලි නාට්‍යයේ කියල.

මාව ලැබෙන්න ඉන්න විට අම්මගෙ මූණ ඉදිමිලා තිබුණු හැටි, අම්ම අමාරුවෙන් ඇවිද්ද හැටි හරිම ස්වභාවිකයි. ඒක රඟපෑමක් නෙමෙයි වාගෙ. අම්ම තමයි මට ඉන්න හොඳම යෙහෙළිය. අම්මගෙන් හංගන්න මට කිසිම දෙයක් නෑ.

රසික ප්‍රතිචාර ඔබට කරදරයක් කියල හිතනවද?

නැහැ කොහෙත්ම නැහැ. රසිකයින් නිසයි අපි මෙතන රැඳිල ඉන්නෙ. මම රඟපාන්නෙ ජනපි‍්‍රය වෙන්න නෙමෙයි. මම උත්සහ ගන්නෙ මම කරන චරිතයට සාධාරණයක් කරන්න. ඒකට ප්‍රතිචාර ලැබෙන විට අහිංසක සතුටක් මට දැනෙනවා. ඒක ආඩම්බරකමක් නෙමෙයි.

රංගනය හදාරන්න බලාපොරොත්තුවක් තියෙනවද?

අනිවාර්යෙන් ම අනාගතයේදි මම රංගනය ඉගෙන ගන්නවා. මම දැන් රඟපාන්නෙ අම්මගෙන් ලැබුණු දායාදයක් හැටියට. ඕනම දෙයක් හොඳින් ඉගෙන ගත්තොත් ඒක හොඳින්කරන්න පුළුවන් නිසා මම රංගනය ගැන ඉගෙන ගන්නව.

ජීවිතය සහ කලාව තුළ ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද?

මගෙ ජීවිතයේ විශාල බලාපොරොත්තු නෑ. අධ්‍යාපන කටයුතු හොඳින් නිම කරල කාටවත් කරදරයක් නොවී සමාජයට බරක් නොවී ජීවත්වීමයි බලාපොරොත්තුව. මට ගැළපෙන, මට කළ හැකි හොඳ නිර්මාණවලට දායක වෙලා කලා ක්ෂේත්‍රයේ දිගටම රැඳී ඉන්නයි මගෙ බලාපොරොත්තුව.

0 comments:

Post a Comment