----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

වයසට නොයෑමේ රහස මගේ හිතහොඳකමයි

Wednesday, April 6, 2011

වයසට නොයෑමේ රහස මගේ හිතහොඳකමයි

කීර්ති පැස්කුවල්

කඳුළ ඉතින් සමා වෙයං
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා
සිරි යහනේ තනි රකින්න...!
පද - ලක්මාලි කාරියවසම්

ජීවිතයේ වසන්ත කාලයට මෙන්ම ගිම්හාන කාලයටත් උචිත හඬක් හිමි ඔහු ගැයූ ගී, සෑම ශ්‍රාවක පිරිසකගේම සිත්ගත් ගී මුතුවැල් විය. අපේ සංගීත ක්ෂේත්‍රයේ ළයාන්විතයා වන කීර්ති පැස්කුවල් පරපුරෙන් පරපුරට ගීතයෙන් මිහිර බෙදන සැබෑම කෝකිලයකු බව නොරහසකි. කීර්තිගේ ගී හඬට පෙම් බැඳි ගීතලෝලී ඔබ වෙනුවෙන් “එවර්ගී‍්‍රන් හිට් ඔප් කීර්ති පැස්කුවල්” ගී ඇල්බමය පසුගියදා නිකුත් කළ ඔහු සමඟ “ස්වර වර්ණ” මෙවර වර්ණ ගන්වමු.

“එදා මෙදා මා ගායනා කළ ජනපි‍්‍රයම ගීත තිස්හයක් තමා මේ ඇල්බමයට ඇතුළත් කළේ. මගේ ගීත රසිකයන්ට මම එදා ගැයූ ගීත දැන් තාක්ෂණයට ලබා දීම මගේ යුතුකමක් කියලා මට හිතුණා. මේ ගීත සංයුක්ත තැටිවල තිබුණේ නැහැ. මොනෝ ක්‍රමයට පටිගත කර තිබුණු ගීත ස්ටීරියෝ ක්‍රමයට තැටිගත කළා. අවුරුදු තුනක් පමණ ගතවුණා මේ ඇල්බමය සකස් කරන්න. ලැබෙන ප්‍රතිචාර හොඳයි.”

රන්තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරා ගෙන
වෙනෙකෙකු නොවැ අද ඉන්නේ...!

පද - ස්ටැන්ලි පීරිස්

ඔබේ නව නිර්මාණ ඇල්බමයකට අදහසක් නැද්ද?

මගේ අලුත් ගීත ඇල්බමයේ ගීත අටක් දැන් පටිගත කරලා අවසානයි. තවත් ගීත අටක් මේ දිනවල පටිගත කෙරෙනවා. ඒ ගීත අටත් පටිගත කර අවසන් වූ පසු අලුත් ගී ඇල්බමය නිකුත් කරනවා. ඊට පෙර ඒ ඇල්බමයේ එන ‘පාතිමා’ ගීතය අද හෙටම විද්‍යුත් මාධ්‍යවලට බාර දෙනවා. ‘පාතිමා’ මගේ ගීත රසිකයන්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙන ගීතයක් වේවි.”

දැන් සංගීත ක්ෂේත්‍රයේ පවතින අර්බුද ඔබේ ගමනට බලපාන්නේ නැද්ද?

අර්බුද යනුවෙන් ඔබ පවසන්නේ හොර ගී තැටි වෙළඳුන් සහ දුරකතන සමාගම්වලට ගීත විකිණීම වැනි ක්‍රියාදාම වෙන්න ඕනේ. මේ කාලයේ අපේ සංගීත ක්ෂේත්‍රයේ වසංගත බවට පත් වෙලා ඔය තත්ත්වයන්. මේ රටේ අපරාධ විමර්ශන අංශයට අයිති රාජකාරියක් ඔය වසංගත තත්ත්වයන් මර්දනය කරන එක. කලාකරුවන් වශයෙන් අපට අසීරුයි එවැනි කටයුතුවල නියැලෙන්න. හැබැයි අපි හැමෝම එකමුතු වී වගකිව යුත්තන්ගේ අවධානය මේ තත්ත්වයන්ට යොමු කරවන්න ඕනේ.

වරුසාවේ වලාකුළු සලලා
වරු ගාණක් වැටියන් හඬලා
සැනසිල්ලේ ලැබූ මේ වෙලාවේ
පිළිසඳරේ නිමා නෑ අපේ...!

(පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ)

නවකයන් දොරට වඩින රියැලිටි වැඩ සටහනක ඔබත් විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරනවා. ඒ නිසා නව පරපුර පිළිබඳව බිඳක් කතා කරමු ද?

නව පරපුරේ ශිල්පීන් නම් බොහෝ දෙනකු බිහිවෙලා තියෙනවා. එහෙත් කනගාටුවට කරුණ ඒ බිහි වී ඇති ශිල්පීන් තරමට හරවත් නිර්මාණ බිහිවෙලා නැතිකමයි. රැල්ලට එකතු වෙලා ගහගෙන යන්න හදනවා මිස අවබෝධයෙන් නිර්මාණ කරන්න කැපවීමක් නව පරපුරේ බොහෝ දෙනකුගේ නැහැ. ඔවුන්ගේ නිර්මාණවල වටිනාකමක්, පැවැත්මක් දකින්න නැහැ.

ඔබ හිතන්නේ ඊට වගකිව යුත්තෝ කවුරුන් ද?

මුලින්ම තමන් තමන්ටම වගකිව යුතුයි. ගායන ශිල්පියකු හෝ ශිල්පිනියක වීම විනෝදයට පමණක් නොකළ යුතුයි. ඔහු හෝ ඇය සමාජයට වැඩදායි නිර්මාණ කළ යුතුයි. එමෙන්ම තමන් කරන දේ පිළිබඳව දැනුම්වත් වී කටයුතු කළ යුතු කාලය දැන් ඇවිල්ලා. නව පරපුරේ ගායක ගායිකාවන් නොමඟ යවන සමහර විද්‍යුත් මාධ්‍ය ද මීට වගකිව යුතුයි. තාක්ෂණයේ පිහිටෙන් සංගීතය අමුණන පුද්ගලයින් පිවිසිලා ගීත නිර්මාණයට. තාක්ෂණයට ඔවුන් රැවටිලා. ඉන්පසු ඔවුන් විද්‍යුත් මාධ්‍ය රවටලා. හැබැයි ගීත රසිකයන් නම් රැවටිලා නැහැ. ඔවුන් අසරණවෙලා. මේ සම්බන්ධයෙන් විද්‍යුත් මාධ්‍යයන්ට වගකීමෙන් කටයුතු කිරීමට යුතුකමක් තිබෙනවා.

නිල් උපුලී - මල් කැකුලී
මාගේ සිතේ සැංගි නොයේ
මිහිරාවියේ ආදරේ...!

පද - හේමසිරි හල්පිට

දෙරණ ඩ්‍රීම් ස්ටාර්ස් වැඩ සටහනේ විනිසුරුවරයකු ලෙස කටයුතු කරන කීර්ති නුගේගොඩ සහ කිරිබත්ගොඩ සංගීත ශිල්ප ආයතන දෙකක කටයුතු කරමින් කාර්ය බහුල දිවියක් ගත කරයි. වින්දනීය සංගීතය කරා තමන් ශිල්ප ලබා දෙන පවසන කීර්ති ඒ පිළිබඳ තවදුරටත් මෙලෙස පැහැදිලි කළේ ය.

“සංගීතය භාවනාවක් වගේ. මානසික ආතතියෙන් මිදෙන්න සංගීතය උපයෝගී කරගන්න පුළුවන්. හොඳ ගීත රසාස්වාදනයටත් අපි පුරුදු පුහුණු විය යුතුයි. සතියේ දින හතෙන් පහක්ම මම සංගීත පන්ති සඳහා වෙන්කර තියෙනවා. සෙනසුරාදා සිට බදාදා දක්වා දවස් පහේම සිසු සිසුවියන්ට ගිටාර් වාදනය සහ ගායනය පිළිබඳව ශිල්ප ලබා දීමෙන් තෘප්තියක් ලබනවා. මීට අමතරව අඩු මානසික දරුවන්ට පුහුණුවක් ලබා දීමටත් මම මගේ හැකියාව යොදා ගන්නවා. බ්‍රහස්පතින්දා දවසම ඩ්‍රීම් ස්ටාර්ස් විනිශ්චය කටයුතු සඳහා කැප වෙලා.”

කීර්ති වයසට නොයන රහස කියන්න කැමැති ද?

“කියන්නම්...! පළවැනි කාරණය හිත හොඳකම. හිත හොඳකම කියන්නේ පිරිසිදු නිදහස් සැහැල්ලු සිතක් ඇතුව ඉන්න එකයි. දෙවැනි කාරණය පැවැත්ම. අනිත් කාරණය සංගීතය සමඟම ජීවත් වීම. මගේ ගීත රසික රසිකාවියන් අතර සෑම වයස් මට්ටමකම පිරිස් ඉන්නවා. එදා තරුණ පිරිසට මෙන්ම අදත් මතුත් තාරුණ්‍යයට මම මගේ ගීතවලින් අමතනවා. හරවත් ගී රස විඳින්න කැමැති ශ්‍රාවක පිරිසක් මේ සමාජයේ බිහි වෙන්න නම් අපි විශ්‍රාම අරගෙන පැත්තකට වෙලා ඉඳලා බැහැ. මම මියයන තුරාම යෞවනයට ගී ගයනවා.”

ඔබ වැඩිපුරම කතා කරන්න කැමැති සංගීත ක්ෂේත්‍රයේ කවුරුන් පිළිබඳව ද?

එච්. ආර්. ජෝතිපාල ගායකයාණන් පිළිබඳව කතා කරන්න කැමැතියි. ජෝති අයියාගේ ගීතවල වටිනාකම, රසය එදාට වඩා අද වැඩියි. ඔහුගේ ගීත පටිගත කිරීම් සඳහා මමත් වාදනයෙන් දායක වූ වාර බොහෝ වුණත් ඒවා එදාට වඩා දැනෙන්නේ අදයි. ජෝති අයියා අවසන් වරට ගීත ගායනා කළ කතරගම සංගීත ප්‍රසංගය සංගීතවක් කළ වාදක මණ්ඩලය සමඟ ඔහුට වාදනයෙන් දායක වීමට ලැබීම මට අද සුවිශේෂ මතකයක්.

ඔහුගේ ගීත සදාකාලිකයි.

සෑම වසරකම සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් මුද්‍රණය කර තිළිණ කරන ශිල්පී දුරකතන අංක අඩංගු දිනපොත ළඟදීම නිකුත් කිරීමට මේ දිනවල සූදානම් වන කීර්ති අප සමුගන්න මොහොතේ ඔහු කිරීමට බලාපොරොත්තු වන තවත් සුවිශේෂ මෙහෙවරක් පිළිබඳව ද මෙසේ පැවසුවේ ය.

“අපේ සියලුම කලාකරුවන්ට මුහුණ දීමට සිදුවන විවිධාකාර ගැටලු විසඳා ගැනීමට හැකි ආකාරයේ ආයතනයක් පිහිටුවීම මගේ බලාපොරොත්තුවයි. මේ දිනවල හොර ගී තැටි, පටි වෙළෙඳුන්ගේ වසංගතය සහ දුරකතන සමාගම් සඳහා කූට අයුරින් ගීත විකිණිමේ ජාවාරම නිසා නිර්මාණ ශිල්පීන් මුහුණ පා ඇති ගැටලුවලට විසඳුම් අවශ්‍ය වී තිබීම වැනි කාරණාවන්ට මැදිහත් වී කටයුතු කළ හැකි බලය සහිත ආයතනයක් පිහිටුවීම කාලීන අවශ්‍යතාවයක් ලෙස මට හැඟෙනවා.

මේ ක්ෂේත්‍රයේ කලින් කලට ඇති වන විවිධ ප්‍රවණතා පිළිබඳව ද ශිල්පීන් දැනුම්වත් කිරීම මෙම ආයතනයෙන් කිරීමට බලාපොරොත්තු වන අතර පැහැදිලිවම අපේ කලාකරුවන්ගේ බුද්ධිමය දේපළ මංකොල්ල කෑමෙන් ඔවුන් අසරණ වීම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණ කර ගන්නවා.”

0 comments:

Post a Comment