----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

නොබලපු අයට බර්නාඩාගේ සිපිරිගෙය ගැන චාන්දනී හා ප්‍රියන්තගෙන්...

Tuesday, April 12, 2011

නොබලපු අයට බර්නාඩාගේ සිපිරිගෙය ගැන
චාන්දනී හා ප්‍රියන්තගෙන්...

"පසුගිය කාලය පුරාම ටෙලි නාට්‍යවල වැඩ කෙරුණේම නැති තරම්..." ඒ කියන්නේ හොඳ නිර්මාණයක්‌ හමුවුණේ නැති නිසා කියන කාරණේ වඩාත් නිවැරැදියි. ඒ කාලය මම යෙදාගෙන ඉන්නේ මේ වේදිකා නාට්‍යයටයි.

චාන්දනී සෙනෙවිරත්න කාලයකට පසු කතාබහට එක්‌වුණේ එහෙමයි. බොහෝ දේවල් කතා කරන්න තිබුණත් චාන්දනී "වේදිකා නාට්‍යයක්‌" ගැන කියපු නිසා අපිට ඒ ගැන දිගින් දිගටම තොරතුරු හොයන්න වුවමනා වුණා.

අප සිටියේ ලුම්බිණි රඟහලේ වේදිකා පරිශ්‍රය ආසන්නයේ. නාට්‍යයේ අධ්‍යක්‍ෂවරයා "ප්‍රියන්ත සිරිකුමාර" බව අපට හඳුනාගන්න එතරම්ම කාලයක්‌ ගතවුණේ නැහැ.

චාන්දනී නැවතත් කටහඬ අවදි කළා.

"අපි බර්නාඩාගේ සිපිරි ගෙය නාට්‍යයේ රියර්සල් එකක්‌ කරන්න ආවේ. නාට්‍ය මීට පෙර 92 වර්ෂයේ දී වේදිකාගත කළා.

මුල්ම නාට්‍යයට සම්බන්ධ වෙච්ච අය අදත් ඉන්නවද?

ඒ අයගෙන් මමත්, කෞෂල්‍යාත් (කෞෂල්‍ය ප්‍රනාන්දු), චමිලත් (චමිලා පීරිස්‌) ඉන්නවා. ඒ කාලයේ නාට්‍ය කළේ රංජනී ඔබේසේකර. නාට්‍යයේ පිටපතේ තිබෙන සාරවත් බව නිසාමයි ආපහු කරන්න හිතුවේ. ප්‍රියන්ත සිරිකුමාර තමයි ඒකට මුල්වෙලා කටයුතු කළේ.

අපි ඉතාම ආශාවෙන් නාට්‍යයට සම්බන්ධ වුණා. නාට්‍ය පිටපත සංකීර්ණ වුණත් එය ප්‍රේක්‌ෂකයන්ට දැනෙන නාට්‍යයක්‌ වේවි කියන විශ්වාසය අප තුළ තිබෙනවා.

92 වේදිකාගත කළ නාට්‍යයක්‌, නැවත වේදිකාගත කිරීමට මුල් වුණේ එය හේතු කරගෙන විතරද?

මම කිව්වා වගේ එහි විශේෂත්වය තිබෙන්නේම පිටපත තුළමයි. ගැහැණු චරිත 10-12 ක්‌ පමණ ඉන්නවා. පිරිමි චරිතයක්‌ එළියට නාවාට පිරිමි චරිතයක්‌ කේන්ද්‍රීයව තමයි නාට්‍ය දිව යන්නේ. ඇත්තටම ඒක පිරිමි නමක්‌ නැත්නම් සංකල්පයක්‌ වටා දිවෙන පිටපතක්‌. ඒ වගේම ඒ වටා තිබෙන ගැහැණු චරිත පවා සංකීර්ණයි. අනිත් එක මුල්වරට වේදිකාගත කර වසර 18 ක්‌ පමණ ගතවුණු පසුත් නාට්‍යයේ තේමාව තුළ නැවුම් ගතියක්‌ තිබෙන නිසයි. ඒ කාලය තුළ අපේ පරිණත බවත් සමග මේ පිටපත අපි තව තවත් හොයන්න පටන් ගත්තා. මේ කාර්යය තුළම අපි තව තවත් මේ පිටපත අධ්‍යයනය කිරීම තුළ අපිට බොහෝ දේ දැනුණා. ඇත්තටම මම ඒකට පෙළඹුණේ "ප්‍රියන්ත" නිසාමයි. අපි හිතුවට වඩා අපි බලාපොරොත්තු වුණ ප්‍රමාණයටත් වඩා ප්‍රියන්ත පිටපත අධ්‍යයනය කර තිබුණා. "ගාර්ෂියා ලෝතා" එක වචනයක්‌ ගානේ චරිතයේ ඉතිහාසයට සම්බන්ධයි.

අනෙකුත් චරිත ගැනත් සඳහන් කරමුද?

දුලීකා මාරපන, මල්කාන්ති ජයසිංහ, නිල්මිණි බුවනෙක, සුදර්ශි, සමාධි, යමුණා මේ ආදී වශයෙන් වෙනස්‌ චරිත රැසක්‌ වේදිකාවට එනවා. මූලිකම දේ අපි සේරම යාළුවෝ, ඒකත් බොහෝම සුන්දර අත්දැකීමක්‌.

ලංකාවේ වේදිකා නාට්‍යයක්‌ කරනවාය කියන එක ගැන යම් යම් මතවාද තියෙන මොහොතක "බර්නාඩා" නැවත වේදිකාවට ගෙන ඒමේ අවදානමක්‌ දැක්‌කේ නැද්ද?

ඇත්තටම ප්‍රියන්තට නාට්‍යයක්‌ කිරීමේ අවශ්‍යතාව තදින් තිබුණා. එයා එක එක පිටපත් අධ්‍යයනය කරමින් කාලය ගත කරනකොට තමයි මේක කරන්න හිතලා තියෙන්නේ. එතකොට මොන අවදානමක්‌ තිබුණත් නාට්‍යය කරන්න හිතෙනවා. හැබැයි අද වේදිකා නාට්‍යයේ පවතින ක්‍රමයත් එක්‌ක මේක හරියටම කරගෙන යන්න, පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එක තිබුණත් අපිට ඒක කරන්න සිද්ධ වෙනවා. මොකද අපි වේදිකාවට ඇලුම් කරන නිසා.

පුහුණුවීම් අතරතුර එහෙ මෙහෙ දුව යන අතරවාරයේ ප්‍රියන්තත් කතාබහට එක්‌කර ගන්න අපිට පුළුවන් වුණා.

92 වේදිකාගත කළ නාට්‍යයක්‌ නැවත වේදිකාගත කරන්න හිතුවේ ඇයි කියන ප්‍රශ්නයට ප්‍රියන්තගේ උත්තරය වුණේ මේ වගේ එකක්‌.

කලින් නිෂ්පාදනය මම දැක්‌කා... ඒ නිෂ්පාදනයත් ඉතාම හොඳ මට්‌ටමක තිබ්බ නාට්‍යයක්‌. ඒක මට හැඟීමක්‌ ඇති කළා. "ගාර්ෂියා ලෝතා" ගේ නාට්‍ය පිළිබඳව, පිටපත් ගැනත් මට ලොකු හැඟීමක්‌ තියෙනවා. ඒක තමයි මාව නාට්‍ය කරන්න පොළඹවන මූලික හේතුව. අනෙක ඔහුගේ හැම වචනයකටම අර්ථයක්‌ තියෙනවා. නාට්‍යයේ පිටපත් තුළ ඔහු අපූර්වත්වයක්‌ මතු කරන්නේ ඔහු කවියෙක්‌ නිසාදෝ කියලත් මට හිතෙනවා."

කෙසේ හෝ වේදිකා නාට්‍ය වේදිකාගත වුණේ පසුගිය 26-27 වැනිදාය. මේ සටහන තැබෙන මොහොත වන විට නාට්‍ය ප්‍රේක්‌ෂකයාට ඊළඟ දර්ශනයක දී නාට්‍යයේ අපූර්වත්වය විඳීමට හැකියාව ලැබෙනු ඇත.



උදේශ සංජීව ගමගේ
ඡායාරූප - නිමල් දයාරත්න


Copy Rights - Divayina

0 comments:

Post a Comment