----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

අඟර දඟර හැදුවේ බහුජන රසවින්දනයටයි

Tuesday, April 12, 2011

"අඟර දඟර" චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ නලින් රාජපක්‍ෂ


අධ්‍යක්‍ෂ නලින් රාජපක්‍ෂ

සුන්දර චමත්කාර ජනක ළමා ලොවේ දස්‌කම්, විස්‌කම් සහ දඟකාරකම් එකට කැටි කොටගත් සොඳුරු වූත්, අර්ථවත් වූත්, කතා තේමාවක්‌ රැගත් උදාවූ වසන්ත සමය තව තවත් ඔපවත් කරන "අඟර දඟර" සිනමා පටය, දිවයින පුරා පිහිටි සී. ඊ. එල්. මණ්‌ඩලයේ සිනමාහල් 20 කදී දැන් ප්‍රදර්ශනය ආරම්භ කොට තිබේ. පුංචි දුවා දරුවන් වෙතට සෙනෙහස පිරුණු ආදරයෙන් තිළිණ කරන මෙම චිත්‍රපටයේ නිමැවුම්කරුවා, එසේත් නැතිනම් අධ්‍යක්‍ෂවරයා වන්නේ නලින් රාජපක්‍ෂ නම් වූ නව පරපුරේ සිනමාකරුවායි.



"අඟර දඟර" ළමුන් සඳහාම නිර්මාණය වූ චිත්‍රපටයක්‌ වුවත් ප්‍රදර්ශනය අරඹා දින කිහිපයකින්ම වැඩිහිටි අපවද ඒ චමත්කාරජනක සුන්දර ළමා කාලය වෙතට රැගෙන යන්නේ නිරායාසයෙනි. සිය කුලුඳුල් සිනමා ප්‍රවේශයෙන්ම බාල, මහලු වැඩිහිටි සියලු ප්‍රේක්‍ෂකයන් සිය නිර්මාණය වටා ඇද බැඳ තබාගැනීමට අධ්‍යක්‍ෂවරයා සමත්ව ඇතැයි පවසන්නේ එහෙයිනි.

ඉකුත් දිනක "දිවයින සිනමා කලා" හා කෙටි සංවාදයකට එක්‌වූ අධ්‍යක්‍ෂ නලින් රාජපක්‍ෂ, සිය කලා දිවිය පිළිබඳව අප සමග පැවැසූ තොරතුරු මෙසේ පෙළගස්‌වමු.

ඔබේ පාසල් සමයත්, කලාව වෙතට ඇතිවූ නැඹුරුව පිළිබඳවත් පැවසිය හැක්‌කේ කුමක්‌ ද?

මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදැරූ මා වාණිජ අංශයෙන් ඉදිරියට යැමට අදහස්‌ කළත් කලාවට සහ චිත්‍රපට පැත්තට වැඩි ඇල්මක්‌ දැක්‌වූවා. මා පුංචිම කාලයෙත් නාට්‍ය අධ්‍යක්‍ෂණය සිදුකළා. පාසල් වේදිකාවේදී රංගනයන්ගෙනුත් දක්‍ෂතා දැක්‌වූවා. 2000 දී ප්‍රවීණ සහ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්‍ෂ දිනේෂ් ප්‍රියසාද් මහතා මෙහෙයවූ සිනමාකරණය පිළිබඳ පාඨමාලාව හැදැරුවා. ඒ අතරතුර මා සිනමාව පිළිබඳව ස්‌වයං අධ්‍යයනයක යෙදුණා.

ඔබේ කලා දිවියෙහි ඇරඹුම, කෙටි චිත්‍රපට... මේ ගැනත් පැවසිය යුතු විශේෂ යමක්‌ තිබෙනවද?

"කඩතුරාව, ඉම කොතැන, මම, අප්පමාදෝ" නම් වූ කෙටි චිත්‍රපට 4 ක්‌ මා නිර්මාණය කළා. මේ අතුරින් රිද්මාංජලී කලායතනය හරහා ඉදිරිපත් කළ "ඉම කොතැන" සඳහා හොඳම නිළියටත්, කුසලතා සම්මානයකුත් හිමිවුණා. චිත්‍රපට 36 ක්‌ අතුරින් 4 වැනි ස්‌ථානය ලබාගැනීමටත් හැකි වුණා.

ළමුන් වෙනුවෙන් චිත්‍රපටයක්‌ කරන්නට හේතු සාධක වූ කරුණු මොනවාද?

ඇත්තෙන්ම අපේ රටේ ළමුන් වෙනුවෙන් කෙරෙන කලා නිර්මාණ බෙහෙවින් අඩුයි. ඒ අතුරිනුත්, ආදර්ශයක්‌ ගත හැකි නිර්මාණ පිළිබඳව අප කතා කළ යුතුයි. "අඟර දඟර" සිනමා පටය වෙතින් මා ලබා දීමට උත්සාහ කළේ ඒ ආදර්ශයයි. මහනුවර ස්‌වර්ණමාලී බාලිකා විද්‍යාලයේ, සිසු දැරියන් වූ විදුරංගී අපේක්‍ෂා ලියූ "කැළඹුණු දිය" කෘතිය සිනමා තිරයට රචනා කළේ මගේ මිත්‍ර සුනිල් ප්‍රේමරත්න. එය සම්මානයට පාත්‍ර වූ පොතක අනුසාරයෙන් ලියවූවක්‌. මෙහි ප්‍රධාන චරිතය "ගඟනී" මේ චරිතයට සුදුස්‌සිය සෙවීමට මා පාසල් 5 ක පමණ සැරිසැරුවා. අවසානයේ දිනේෂ් ප්‍රියසාද් මහතාගේ තෙවැනි දියණිය සනුද්‍රි ප්‍රියසාද් ඒ සඳහා සුදුසුකම් සැපුරුවා. "අඟර දඟර" චිත්‍රපටය තුළදී මා බලාපොරොත්තු වූ රංගනය ඇය, උසස්‌ ලෙස එළි දැක්‌වූවා. නිෂ්පාදනයෙන් සචිනි අයේන්ද්‍රdත්, ඉෂංග මහීපාලත් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සනත් ගුණතිලක, නදීකා ගුණසේකර, රොජර් සෙනෙවිරත්න, සනුද්‍රි ප්‍රියසාද්, සුසිලා කෝට්‌ටගේ, සචිනි අයේන්ද්‍රd, කුමාර තිරිමාදුර, නිල්මිණි කෝට්‌ටේගොඩ, ජීවනී පෙරේරාත් නිෂ්පාදන කළමනාකරණයෙන් රාජා බාලසූරියත්, සංස්‌කරණයෙන් ගිහාන් හසන්තත්, කලා අධ්‍යක්‍ෂණයෙන් ඇලෙක්‌ෂි ප්‍රනාන්දුත්, සංගීත අධ්‍යක්‍ෂණයෙන් විශාරද විඡේසුන්දර වේරගොඩත්, ගීත ගායනයෙන් උරේෂා රවිහාරී සහ පුන්සරා වගසෙනෙවිත්, නිෂ්චල ඡායාරූප උපුල් නිශාන්තත්, ඇඳුම් නිර්මාණයෙන් අමිතා නන්දනීත්, සිය නොමසුරු දායකත්වය සැපයුවා.

ඔබේ ඉදිරි නිර්මාණ සහ බලාපොරොත්තු පිළිබඳ පැවසිය හැක්‌කේ කුමක්‌ද...?

මේ දිනවල "අඟර දඟර" චිත්‍රපටයේ සාර්ථකත්වය පිළිබඳව සොයා බැලීමට වෙහෙසෙනවාසේම මා සතු තවත් තිර පිටපත් දෙකක්‌ අනුසාරයෙන් මෙවැනිම නිර්මාණයක්‌, මීටත් වැඩිය උසස්‌ ලෙස ගෙන එන්නට සැලසුම් සකසමින් පසුවෙනවා. දරු තිදෙනකුගේ දයාබර පියකු ලෙස මාද සැමවිට උත්සුක වන්නේ අපේ රට භාර ගැනීමට සිටින අනාගත දුවා දරුවන්ට සිනමාරූපීව හෝ යහපත් යමක්‌ තිළිණ කරන්නටයි. මගේ ප්‍රථම සිනමා නිර්මාණය උදෙසා ලැබුණු සහ ලැබෙමින් පවතින ප්‍රතිචාර පිළිබඳව අවංකව සතුටු වන අතර එය මගේ කලා දිවියේ ඉදිරි නිර්මාණයන්ට මහත් වූ අත්වැලක්‌ බවත් පැවසිය යුතුයි.

ඔබේ කලා දිවියට සවිය සැපයූ සිහි කළ යුතු පිරිසත්, පවුලේ තොරතුරුත් පිළිබඳව යමක්‌ පැවසුවොත්.

මගේ දයාබර දෙමාපිය යුවළගේ දිරි දීම, මගේ කලා දිවියේ සවිය සහ ශක්‌තිය වූ බව මුලින්ම සිහිපත් කළ යුතුයි. මගේ නිර්මාණකරණ පිළිබඳව පළමු විචාරය ඉදිරිපත් කරන්නිය වන මගේ ප්‍රියාදර බිරිඳ නාමලීත් ආදරයෙන් සිහිපත් කළ යුතුයි. දූලා දෙදෙනාගෙත්, පුතාගෙත් කටයුතු ගැන වෙහෙසෙන අතරතුර මගේ කලා කටයුතු සඳහාත් දක්‌වන සහයට ඇයට කෘතවේදීත්වය නැවත නැවත පුදකළ යුතුයි. මීට අමතරව මගේ කලා දිවියට හැකි සෑම උපකාරයක්‌ම කරමින් මා දිරිමත් කළ දිනේෂ් ප්‍රියසාද්, උදයකාන්ත වර්ණසූරිය, සුදත් රෝහණ, සචිනි අයේන්ද්‍ර, ඉෂංග මහීපාල "අඟර දඟර" චිත්‍රපටය සඳහා දායකත්වය සැපයූ "ඩීල් ෆිල්ම්ස්‌" ආයතනයේ සෑම සියලු දෙනාත් නම් සඳහන් කිරීමට නොහැකි වූ මට උපකාර කළ සැමත්, අපේ රටේ ආදරණීය දුවා දරුවන් සහ ප්‍රේක්‍ෂක ජනතාවත් ගෞරවපූර්වකව සිහිපත් කෙරුමට මෙය ස්‌වර්ණමය අවස්‌ථාව කර ගැනීමට කැමතියි.

සමනල් සිහින අතුරින් දිවයන, සුන්දර ළමා වියට, වැඩිහිටි අප කැඳවාගෙන ගොස්‌ එහි චමත්කාරය සිනමාරූපීව විඳගැනීමට ඉඩ හසර සැලසූ නලින් රාජපක්‍ෂ නම් වූ සොඳුරු සිනමාකරුවාණන්ට, ඔහුගේ ඉදිරි කලා දිවියට, අපිද මෙලෙස සුබ පැතුම් එක්‌කොට සිටිමු.

"කයිට්‌ස්‌", නො. 21/ඒ, සිරිවර්ධන මාවත, මිනුවන්ගොඩ. ලිපිනයෙන් ඔබටත් ඔහු හා තවත් තොරතුරු පිළිබඳව විමසීම් සිදුකළ හැකිය.

සංවාද සටහන - සුජීව තත්සර


Copy Rights - Divayina

0 comments:

Post a Comment