----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ලොකුම බලාපොරොත්තුව හොඳ ගෘහිණියක් වීම

Saturday, April 16, 2011

සචිනි අයේන්ද්‍රා

‘මිස් ශ්‍රී ලංකා’ තරගය ජයග්‍රහණය කර කලා ලොවට පිවිසි ඇය තමා එක්වූ පළමු චිත්‍රපටය වන ‘වස්සාන සිහිනය’ චිත්‍රපටයෙන් සම්මානයට පාත්‍රවීමට තරම් වාසනාවන්ත වූවාය. ‘සංකාරා’ ඇයගේ රංගන

හැකියාව මනාව පෙන්නුම් කළ චිත්‍රපටයකි. රූපවාහිනී වෙළෙඳ දැන්වීම්, ටෙලි නාට්‍ය, චිත්‍රපට කීපයකටම රංගනයෙන් දායක වීඇති ඇය මේ වන විට චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට ද සමත් වී ඇත. ඇය සචිනි අයේන්ද්‍රා ය. අද ‘සතුටු සාමීචිය’ ඇය සමඟ කළ කතාබහ වෙනුවෙනි.

මේ දවස්වල ඔබ ඉන්නෙ බොහොම සතුටින් නේද?

ඇත්තෙන්ම ඔව්. මීට මාසෙකුත් සති දෙකකට විතර කලින් මට දුවක් ලැබුණා. මට මව් පදවිය හිමිවීමේ සතුටයි දුව පවුලට එකතුවීමේ සතුටයි එක්ක මම මේ දවස්වල ඉන්නෙ හරිම සතුටින්.

දුව ලැබුණු නිසා මේ දවස්වල කලා කටයුතුවලින් ඉවත් වෙලාද?

නැහැ. අදත් මම ටෙලිනාට්‍යයක රූපගත කිරීම්වලට සහභාගි වුණා. හෙටත් දවසම තියෙනව. ඒ ටෙලිනාට්‍යය ස්වාධීන රූපවාහිනිය මඟින් කරන ටෙලි නාට්‍යයක්. අධ්‍යක්ෂවරයා ජයරුවන් අබේවික්‍රම. ඊට අමතරව මගෙ සැමියයි (ඉසංග) මමයි නිෂ්පාදනය කළ ‘අඟර දඟර’ චිත්‍රපටයේ ප්‍රචාරක වැඩවලට සහභාගි වෙනව.

ඔබ රඟපෑ ‘සංඛාරා’ චිත්‍රපටය ඔබට වෙනස් අත්දැකීමක් වුණා නේද?

ඇත්තෙන්ම ඔව්. ඊට පෙර මම රඟපාල තිබුණේ කෙළිලොල්, දඟකාර බටහිර පන්නයේ චරිත. ‘සංඛාරා’ චිත්‍රපටයේ මම කළේ ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්.

‘සංකාරා’ නිසා රංගනය ගැන විශාල අත්දැකීමක් මට ලැබුණා. ඒ චිත්‍රපටයේ මගේ රංගනයට කිසියම් වටිනාකමක් ලැබුණ නම් ඒ ගෞරවය හිමිවෙන්නෙ අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි මහතාට, ඉදිරියේදීත් මම කැමැතියි. මෙතෙක් රඟපාල තියෙන චරිතවලට වඩා වෙනස් ගැමි චරිතයක් නිරූපණය කරන්න.

ඔබේ සැමියාගෙන් ඔබේ කලා කටයුතුවලට ලැබෙන සහයෝගය මොන වගේද?

කෙටියෙන්ම කියනව නම් මගෙ සැමියාගෙන් ලැබෙන සහාය උපරිමයි. මාසෙකුත් දවස් ගානක දරුවෙක් ඉන්න කෙනකුට රඟපාන්න යන්න දෙන්නෙ මොන සැමියාද? ඉසංග දන්නව මගෙ සැමිය හැටියට එයාටත් මගෙ දරුවටත් අසාධාරණයක් නොවන විදියට මගෙ රංගන කටයුතු කරන බව. ඒ නිසා ඔහු මට උපරිම සහයෝගය ලබා දෙනව.

ඔබේ සැමියා ව්‍යාපාරිකයෙක්. ඔහුගේ වැඩ කටයුතුවලට ඔබේ සහාය ලබාදෙනවද?

මමත් උපරිම විදියට එයාගෙ වැඩවලට සහාය වෙනව. මගෙ සැමිය ඇඟලුම් කම්හල් හිමියෙක්. ඒ වගේම අපිට ඇඳුම් සාප්පු 5ක් තියෙනව. සතියේ දවස් 4ක් විතර මම ඒ වැඩකටයුතු සොයා බලනව.

විවාහයෙන් පසුව ඔබ රඟපෑම සීමා කරලද?

මගෙ රංගන කටයුතු නවත්වන්න හෝ සීමා කරන්න කියල මගෙ සැමිය කවදාවත්ම කියල නෑ. ඒත් මටම පනවගත්ත සීමා කීපයක් නිසා පසුගිය කාලෙ රඟපෑමෙන් ටිකක් දුරස්වුණා. ඒ; පවුල් ජීවිතයට මුල් තැන දුන් නිසා. රඟපෑම දැන් මම රැකියාවක් හැටියට කරන්නෙ නෑ.

හැබැයි මම කවදාවත්ම රඟපෑමෙන් ඉවත්වෙන්නෙ නෑ. පසුගිය කාලෙ කතාවක් පැතිරුණා විවාහයෙන් පසුව මම රඟපෑමෙන් ඉවත්වෙනව කියල. පස්සෙ කිව්ව දරුව ලැබුණට පසුව රඟපෑමෙන් ඉවත් වෙනව කියල.

ඒව සේරම බොරු. මට මේ හැමදේම ලැබුණේ කලාව නිසා. අනෙක කලාව කියන්නෙ ලෝකෙ තියෙන උසස්ම දෙයක්. ඒ නිසා මම කලාව එක්ක හැමදාම ඉන්නව.

ඔබේ අම්මගෙන් තවමත් ඔබට විශාල සහයෝගයක් ලැබෙනව නේද?

එදත්, අදත්, ඉදිරියටත්, මගෙ අම්මගෙන් මට විශාල සහායක් ලැබෙනව. අපි මේ කරන වැඩකටයුතුවලින් භාගයක්වත් කරන්න ලැබෙන්නෙ නෑ දෙමව්පියන්ගෙ සහයෝගය නැතිනම්. විශේෂයෙන්ම විවාහ වුණාට පසුව.

’අඟර දඟර’ වැනි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න පෙලඹුණේ ඇයි?

’අඟර දඟර’ වයස අවුරුදු 16ක දැරියක් වන ඉසංකා මධුවන්ති ලියූ නවකතාවක් ඇසුරින් නිර්මාණය කළ ළමා චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා නලීන් රාජපක්ෂ මගෙ සැමියගෙ පැරණි මිතුරෙක්.

ඔහුගේ ඉල්ලීමට තමයි අපි මේ චිත්‍රපටය නිෂ්පාදනයට අත ගැහුවේ. “අඟර දඟර”, ළමයෙක් ළමා ලෝකයේ සුන්දර බව විස්තර කිරීමට ලියූ කතාවක් ඇසුරින් කළ නිර්මාණයක්. මේ චිත්‍රපටය පසුගිය පළමුවැනිදා සිට තිරගත වීම ආරම්භ වුණා.

ඒඩ්ස් රෝගය ගැන කියවෙන චිත්‍රපටයකට ඔබ දායක වෙනව නේද?

ඔව් එහි ශිල්පීන් සියලුම දෙනා ඒකට දායක වෙන්නෙ සමාජ සද්කාර්යයක් හැටියට. එහිදී අපට ලැබෙන මුදලින් කොටසක් යොදවනව, ලංකාවේ ඒඩ්ස් රෝගයෙන් පීඩා විඳින අයගේ ජීවිත උසස් කරන්න.

ඒ චිත්‍රපටය නම් කරල තියෙන්නෙ “ජර්නි ඔෆ් හෝප්ස්” නමින්. නිෂ්පාදකවරයෙක් සොයාගැනීමේ අපහසුව නිසයි තවමත් ඒ චිත්‍රපටයේ වැඩ ප්‍රමාද වෙලා තියෙන්නෙ.

ඔබ දැන් ව්‍යාපාරිකාවක් ද කලාකාරිනියක්ද?

දෙකම.

ටෙනිස් ක්‍රීඩාවේ දැන් යෙදෙන්නෙ නැතිද?

ටෙනිස් තමයි මම කැමැතිම ක්‍රීඩාව. මට හොඳට ටෙනිස් ගහන්න පුළුවනි. ඒත් පසුගිය කාලෙ මට දුව ලැබෙන්න හිටිය නිසා ක්‍රීඩාවෙන් තරමක් ඈත් වෙන්න සිද්ධ වුණා.

මොනවද ඔබගේ කලා කටයුතුවල සහ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු?

හැකිතාක් කාලයක් කලා කටයුතුවල රැඳිල ඉන්න තමයි මගෙ ලොකුම බලාපොරොත්තුව. මගෙ සැමියට සහ මගෙ දරුවට මගෙන් විය යුතු යුතුකම් කරගෙන හොඳ ගෘහණියක් වීමයි මගෙ ජීවිතයේ තියෙන ලොකුම බලාපොරොත්තුව.

ඡායාරූපය-ඉන්දික මල්ලවආරච්චි

Copy Rights - Silumina

0 comments:

Post a Comment