----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මම නිකම්ම නිකන් ඩාන්සින් ස්ටාර් කෙනෙක් නෙමේයි

Saturday, April 16, 2011

වේදිකාවෙන් ටෙලිවිෂනයට පැමිණි සම්මානනීය නාට්‍යකාරිය

අයේෂා දිසානායක

ඇය මඳ සුළඟේ පාවී යන දුහුළු මලක් සේ ආකර්ෂණීයය. සුරූපී වත මඬලේ සිතුවම් කර ගත් අපූරු සිනහව අව්‍යාජත්වයේ සැබෑම සංකේතයකි. ඊට එක් වූ අප්‍රතිහත කලා හැකියාවෙන් ඈ රටක් වසඟ කළාය.

මේ දිනවල පූජා ටෙලි සිතුවමේ ෂැකී වෙමින් රඟන ඈ ඩාන්ස් ස්ටාර් ඩාන්ස් වැඩසටහන ඒකාලෝක කළේ නර්තනයෙනි.

ඇය වේදිකාවටද හුරු පුරුදුකාරියක් බවද පැවසිය යුතුමය.

අයේෂා දිසානායක.

මේ ඇගේ කතාවයි.

අතීතයෙන් මේ කතාව අරඹමු.

මගේ ගෙවල් බදුල්ලෙ. ඉගෙන ගත්තෙ බදුල්ල විශාකා බාලිකා විද්‍යාලයෙන්. පාසල් යන කාලයේ සෞන්දර්ය විෂයක් විදිහට හැදෑරුවෙ නැටුම්. රංගනයට ආසාවක් තිබුණෙම නැහැ. උසස් පෙළ විභාගයෙන් සමත් වූ මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබා ගත්තා මේ කාලේ. ඒ 2002 අවුරුද්දේ. ඒ අතරතුරදී ටවර් හෝල් පදනමේ නාට්‍ය පාඨමාලාවක්ද හැදෑරුවා.

විශ්ව විද්‍යාලයේ ඉන්න කාලයේදීම මට අහඹු අවස්ථාවක් උදා වුණා කේ. බී. හේරත් මහතාගේ යශෝධරා වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න. පසුව මට දිගටම වේදිකා නාට්‍ය රැසකම රඟපාන්න ආරාධනා ලැබුණා. ජනතාව පරාදයි, අම්මා, හෙඩා ගාබ්ලර්, උපන්දා මරණය, සුරඟනක් ඇවිත්, වෙස් මුහුණු ඉන් කිහිපයක්.

ඔබ සම්මානනීය වේදිකා නාට්‍යය නිර්මාණකාරිණියක බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණක්.

මා නිර්මානය කළ ගෙන්දගම් උයන වේදිකා නාට්‍යය පසුගිය වසරේ පැවති යෞවන සම්මාන උළෙලේ සම්මාන දහයක්ම දිනා ගත්තා. ගෙන්දගම් උයන වෙනුවෙන් අපි හැමෝම මහන්සි වුණා. එහෙයින් ඒ නාට්‍යයට සම්බන්ධ වූ හැමෝටම තුති පිදිය යුතුයි.

එතකොට පුංචි තිරයට දොරගුළු විවර වන්නේ?

මා රඟපෑ වේදිකා නාට්‍යයක් නරඹා තිබුණා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ප්‍රේමකුමාර ජයවර්ධන මහතාත් සුමිත්‍රා රාහුබද්ධ මහත්මියත්. ඔවුන් මට ඇරැයුම් කළා පිපි පියුම් නාට්‍යයේ රඟපාන්න. ඒක තමයි මගේ පළමු ටෙලි නාට්‍යය. උඩුවියන්, කම්පිත විල්, පිණි බිංදු, සසර බැඳි බැමි, මායා රූ, අහස සේ නුඹ අනන්තයි මා රඟපෑ ටෙලි නාට්‍යය කිහිපයක්.

මා දැන් එන්නේ ඩාන්සින් ස්ටාර් ඩාන්ස් තරගයට? ඔබ ඉන් පසුගියදා ඉවත් වුණා?

ඩාන්ස් ස්ටාර් ඩාන්ස් කියන්නේ මට ස්වර්ණවාහිනියෙන් ලැබුණු හොඳ අවස්ථාවක්. මා උගත් දෙයින් මට පුළුවන් විදිහට නර්තන අංග ඉදිරිපත් කළා. මෙහිදී මම අන් තරගකරුවන්ට වඩා වෙනස් යමක් ප්‍රේක්ෂකයන්ට ගෙන එන්නයි උත්සාහ කළේ. ඒත් විනිශ්චය මණ්ඩලයේ අයට මගේ නර්තන අංග තේරුණාද කියන එක මට සැකයි. එතැන සිටි සමහර අය කියපු දේවල් මං කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. ඒ තීරණයන් පිළිබඳ කලකිරීමෙන් ඉන්නේ. තරගයෙන් ඉවත් වුණාට නම් කොහෙත්ම දුකක් නැහැ.

මේ තරගය නිසා ඔබේ ජනප්‍රියත්වයට හානියක් වුණා කියලා හිතනවාද?

ම් . . . ම් . . .ම් නැහැ. ඒත් මගේ රංගන කටයුතුª සෑහෙන්න මඟ හැරුණා.

අයේෂා දැන් කොහෙද පදිංචිය?

රාජගිරියේ.

කවුද ඔබේ කලා කටයුතුවලට උදව් කරන්නේ?

දුරින් හිටියත් අම්මා තාත්තගේ ආශිර්වාදය මට ලැබෙනවා. මගේ යාළුවෝ නිතරම මාත් එක්ක ඉන්නවා.

ඊට අමතරව විශේෂ කෙනෙක් ඉන්නව කියලා මට ආරාංචි වුණා?

ඔය අහන්නේ මගේ ආදරවන්තයා ගැන වෙන්න ඇති. එහෙම කෙනෙක් හිටියා. ඒත් දැන් නැහැ. මං හිතපු තරම් සහයක් ඔහුගෙන් ලැබුණෙණ් නැහැ. එහෙයින් අපි සුහදව වෙන් වුණා. මං මේ දිනවල උත්සාහ ගන්නේ ඔහුව යහළුවකු විදිහට ඇසුරු කරන්න.

බිදුණු ප්‍රේමයේ හිත් වේදනාව තවමත් ඇති?

මට එච්චර දුක හිතෙන කෙනෙක් නෙවෙයි. ඒක නිසා ගාණක් නැහැ. අපි දෙන්නගේ ආදර සම්බන්ධතාවය අවුරුදු දෙකක් විතර තිබුණා. ඒ කාලයේදී මගේ සමකාලීන අය මාව පසු කරගෙන බොහෝ දුර ගියා. ඒ අවුරුදු දෙක තුළ මං හිටියේ ආදරයෙන් අන්ධ වෙලා කියලා දැන් හිතෙනවා. ඒත් මං ඒ කාලයේ ගැහැනියක් රකින්න ඕන නීති ඔක්කොම පිළිපැද්දා.

මොනවද මේ දිනවල අයේෂාගේ කලා කටයුතු?

තරු අහසට ආදරෙයි සහ හිරු දුටු පිණිබිඳු කියලා ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම්වලට සහභාගී වෙනවා. රෝමය ගිනි ගනී II,බ්‍රේකිං නිව්ස් කියන වේදිකා නාටය ද්විත්වයටත් රංගනයෙන් මා මේ දිනවල දායක වී සිටිනවා.

කොහොමද අයේෂාගේ ඉදිරි ජිවිතය ගෙවෙන්නේ?

අයේ කතා දෙකක් නැහැ. නිළියක විදිහටම ජීවිතය ඉදිරියට ගලා යාවි. හැකිතාක් කල් රඟපානවා. හැකිතාක් කල් කලා ලොවේම රැඳී සිටිනවා.

ඒ වගේම මට අත දුන් මංගල සේනානායක, ඉන්දික ෆර්නැන්ඩො, ප්‍රසන්නජිත් අබේසූරිය, ධර්මසේන පතිරාජ, ජානක සිරිවර්ධන, ගිහාන් ප්‍රනාන්දු, දෙමාල් ප්‍රනාන්දු යන මහත්වරුන්ව අනිවාර්යයෙන්ම මතක් කරන්න කැමැතියි.

0 comments:

Post a Comment