----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මාව විකුණගෙන කනවට මම කැමති නැහැ

Wednesday, April 6, 2011

නිහාල් නෙල්සන්

වගේලා බිහිවෙන තරමට අගේ මගේ

"දහවල් 11.20 යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයයි. ශ්‍රාවක ඔබගේ රසාස්‌වාදය වෙනුවෙන් මම ඔබට තවත් මල් වෙඩිල්ලක්‌ පත්තු කරනවා. මේකේ ආලෝකය සදාකාලිකයි."

ඒ 1963 වර්ෂයේ මාර්තු මස 31 වැනිදා කරුණාරත්න අබේසේකරයන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය ඔස්‌සේ "ලස්‌සනට පිපුණු වන මල්" කියන ගීතයත්, එම ගීතය ගායනා කරන නවක ගායන ශිල්පියාවත් හඳුන්වා දුන් අයුරුයි. එදා අබේසේකරයන් පැවසූ ආකාරයට ඒ හඬ අපගේ දෙසවනේ තවමත් රැව් දෙයි. ඒ හඩේ සෑබෑ හිමිකරු ප්‍රවීණ ගායක නිහාල් නෙල්සන් අද මීවිත සමග කතා කරයි...

කොහොමද?

සාමාන්‍යයි.

අලුත් වැඩක්‌ කළේ නැද්ද?

කරගෙන යනවා. ගීත අටක්‌ විතර දැනට හදලා තියෙනවා. තවත් හතරක්‌ තියෙනවා හදන්න. සියලු දේවල් සම්පූර්ණ කරලා අවශ්‍ය වේලාවට සුබ මොහොතින් මගේ එකසිය දොළොස්‌ වැනි කැසට්‌ පටය නිකුත් කරනවා.

දැන් ඔබලාට ලැබිලා තියෙන්නෙ ප්‍රසංග වේදිකාව පමණයි නේද?

එහෙම කියන්න බැහැ. නමුත් ප්‍රසංග වේදිකාව මගේ ස්‌ථානය කීවොත් මම නිවැරැදියි. මම ආවේ ප්‍රසංග වේදිකාවෙන්. මිනිස්‌සු අතරට යන්න, සජීවී චරිතයක්‌ වුණේ ප්‍රසංග වේදිකාව. ඒ නිසා මම මූලික තැන දීලා තියෙන්නෙ ප්‍රසංග වේදිකාවටයි. සෑම රාත්‍රියකම කොහේ හෝ ප්‍රසංග වේදිකාවක ගීත ගායනා කරන්න තියෙනවා නම් ඒක තමයි මගේ ලොකුම සතුට.

ඒ කියන්නෙ ඔබ FM නාලිකාවලට, රූපවාහිනි නාලිකාවලට කැමැති නැහැ කියන එක නේද?.

ඇත්තටම මම අකමැතියි. ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවලට සහභාගි වෙනවා බොහෝම අඩුයි. මොකද මගේ වැඩ පාඩු කරගෙන ඒවට වෙනමම ලකලෑස්‌ති වෙලා යන්න ඕනෑනේ. නැතුවම මාධ්‍ය එක්‌ක අමනාපයකට කියනවා නෙමෙයි. මාධ්‍ය කවදත් මාත් සමග සුහදව ඉන්නවා. නමුත් රූපවාහිනි නාලිකාවලින් කරන සජීවි සංගීත සංදර්ශනවලට නම් සහභාගි වෙනවා.

අලුත් සංගීත කලාව අභියෝගයක්‌ වෙලාද?

අනේ නැහැ. එහෙම නම් ප්‍රසංග වේදිකාවේ නිහාල් නෙල්සන් නැති වෙලා ගොඩක්‌ කල්. එහෙම වෙලා නැහැ. ජනතාවගේ හදවත් තුළ තවමත් නිහාල් නෙල්සන්ට ඉඩක්‌ තියෙනවා.

අලුත් සංගීත කලාවත් සමග, අපට හිතෙන්නෙ ඔබලාට ඉල්ලුමක්‌ නැති බවයි?

එහෙම වෙලා නැහැ. එදා වගේම අදත් සංදර්ශන වේදිකාවල නිහාල් නෙල්සන් නැතුව බැහැ. රූපවාහිනියෙන් පේන්නෙ නැති වුණාම, ගුවන් විදුලියෙන් ඇසෙන්නෙ නැති වුණාම මම නිහඬයි කියල හිතන්න එපා.!

ඔබගේ ගීත ගායනා කරලා නවකයෝ ජනප්‍රිය වෙලා ඉන්නවද?

සමහර විට ඇති.

කවුරු හරි මගේ ගීත ගායනා කරනවා නම්, මම විදිහට අඳිනවා නම්, කතා කරනවට මම හරිම කැමතියි. ඒ කියන්නෙ මට හොඳ චරිතයක්‌ රටේ නිර්මාණය වී ඇති බවයි. ඒකට කෙළින්ම කියන්න තියෙන්නෙ "වගේලා බිහි වන තරමට අගේ මගේ" හැබැයි මාව විකුණාගෙන කනවානම් මම කැමැති නැහැ. ඒක කලාවට කරන අසාධාරණයක්‌. අලුත් කෙනෙක්‌ මගේ ගීතයක්‌ ගායනා කරලා අපව අනුකරණය කරලා ජනතාව අතරට ආවට පස්‌සෙ, ඒ පුද්ගලයා යමක්‌ කරන්න පුළුවන් හොඳ හඬක්‌ තියෙන කෙනෙක්‌ වෙන්න ඕනා. ඒ වගේම ඔවුන් ඒ ගීත ගායනා කරලා ජනතාව අතරට ඇවිල්ලා අපව ආරක්‍ෂා කරන්න ලොකු කැප කිරීමක්‌ කරනවා. එහෙම නැතුව මගේ මාර්ගයෙන් එළියට ඇවිල්ලා මම වගේ වෙන්නෙ නැතුව තමන් තමන් වගේ වෙලා මට වඩා ඉහළින් යනවා නම් කොච්චර හොඳද?

රියෑලිටි වැඩසටහන් ගැන ඔබගේ ආකල්පය....

දැන් හැම තැනම රියෑලිටිනෙ. ඒක බිස්‌නස්‌ එකක්‌. එච්චරයි.

අද බොහෝ කලාකරුවෝ දේශපාලනයට එනවා. ඒ ගැන ඔබගේ ආකල්පය?

කලාව කියන්නෙ දේශපාලනයද? ඒ දෙක එකක්‌ද? දෙකක්‌ද? එකක්‌ නම් කලාකරුවෝ ආවට කමක්‌ නැහැ. ඒ දෙක දෙකක්‌ නම් කලාකරුවා තේරුම් ගන්න ඕනා මම කලාකරුවෙක්‌, දේශපාලනඥයන්ට ඒ රැකියාව කරගන්න දීලා තමන්ගේ පාඩුවේ සමාජයට කරන්න පුළුවන් සේවය කලාවෙන් කරන්න. මොකද කලාව තුළින් සමාජයට දෙන පණිවිඩය සමාජයට කරන සේවය සියලු දේ දේශපාලනය මෙල්ල කරගෙනයි තියෙන්නෙ. ඒ නිසා කලාකරුවාට යන්න පුළුවන් ඉඩක්‌ තියෙනවා. සීමාවක්‌ තියෙනවා. එතැනින් එහාට යන්න දෙන්නෙ නැහැ.

ඔබගේ "කිරි දුන්නේ දරුවන්ටයි" කියන ගීතය ප්‍රචාරය වුවාට පසු ගවමස්‌ පරිභෝජනයේ අඩු වීමක්‌ වුණා කීවොත්.....?

ඇත්ත. ගොඩක්‌ මස්‌ කාපු මිනිස්‌සු මස්‌ කෑම නැවත්තුවා කියලා මට ලිපි එවලා තියෙනවා. මා ළඟ තාම ඒ ලිපි තියෙනවා. මස්‌ කඩ මුදලාලිල අපේ ගෙදර ඇවිල්ලා කියලා තියෙනවා මම මස්‌ විකුණන එක නතර කළා කියලා. ඒක මම තනියෙන් කළ සේවයක්‌ නෙවෙයි. මම ගායනා කරලා ජනතාව අතරට ගෙන ගියාට තව අය ඉන්නවා. ගීත රචකයා, සංගීතඥයා ගැනත් කතා කරන්න ඕනා. ගීත රචකයා සරත් මුණසිංහ. අද එයා මීගහවෙල සුමන ශාන්ත කියලා ගිරිඋල්ල මහ පන්සලේ මහණදම් පුරනවා. ඒකෙ සංගීතඥයා රංජිත් පෙරේරා. අද ජීවතුන් අතර නැහැ. තනු නිර්මාණය හා ගායනය මගේ. අපි තුන් දෙනාම එකතුවෙලා මේක සමාජයට ගෙනිහින් විශාල සේවයක්‌ කළා.

ප්‍රවීණයකු හැටියට නවකයන්ට දෙන උපදෙස....

තවත් කෙනෙක්‌ අනුකරණය කරලා ආවට කමක්‌ නැහැ. තමන්ගෙ හැකියාව ඉස්‌මතු කරගන්නෙ එහෙම තමයි. නමුත් තමන්ට ගීත ගායනා කරන්න පුළුවන් කියලා තේරුණාට පස්‌සෙ තමන්ගේ නිර්මාණයක්‌ බිහි කරලා එදා ඉඳන් අද වෙනකම් නිර්මාණ රඳවපු අය අතරට වැටිලා ඊට වඩා උඩින් යන්න හා අනාගත පරපුරට ඒ නිර්මාණය තුළ ජීවත් වෙන්නට මාර්ගයක්‌ හදන එක තමයි අලුත් ශිල්පීන්ට දෙන්න තියෙන එකම ආදර්ශය.


තරංග රත්නවීර
ඡායාරූප - සමන් අබේසිරිවර්ධන


Copy Rights - Divayina

0 comments:

Post a Comment