----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මෙදා සැරේ අපි අවුරුදු සමරන්නේ මෙහෙමයි

Tuesday, April 12, 2011

එරබදු මල් පොට්ටු - පොට්ටු, අවුරුද්දත් කිට්ටු කිට්ටු... සිංහල හා හින්දු අලුත් අවුරුදු වසන්තය එළැඹෙන්නට ඇත්තේ තවත් දින තුනක් පමණයි
.

සාමය, සතුට, සෞභාග්‍යය පෙරදැරිව අලුත් අවුරුද්දේ සිරි අසිරිය විඳ ගැනීමට මුළුමහත් ලක්වැසියන් සූදානම් වන මොහොතක රටේම ආදරය දිනු කලාකරුවන් ලබන්නා වූ අලුත් අවුරුද්ද සමරන්නට සූදානම් වන ආකාරය පිළිබඳව විමසා බලන්නට අප අදහස් කළා. මේ ඔවුන්ගේ අදහස්.

අලුත් අවුරුදු උළෙලකට ඕස්ට්‍රේලියාවට යනවා

සහන් රන්වල

ලබන්නා වූ අලුත් අවුරුද්ද හැමදාමත් වගේ මට කාර්යබහුල එකක්. මේ අලුත් අවුරුද්දෙත් මට ගෙදර ඉන්න ලැබෙන්නෙ නැහැ. මොකද ලයනල් රන්වල පදනම සහ ජන ගී කණ්ඩායමත් එක්ක අලුත් අවුරුද්ද සමරන්න වෙන්නේ දඹුල්ලේ ඉඳලා.

ස්වාධීන රූපවාහිනියේ ‘සූරිය මංගල්‍යයත්’ එක්ක එක්කාසු වෙලා. ඒ වෙනුවෙන් කළ යුතු වැඩ කොටසක් අපිට පැවරී තිබෙනවා. මම නැතත් ගෙදර අය හැම දෙනාම අලුත් අවුරුද්දට කළ යුතු චාරිත්‍ර වාරිත්‍ර ඒ විදිහටම ඉෂ්ට කරනවා.

පුංචි කාලේ ඇරුණම දැනුම් තේරුම් තියන කාලේ හැමදාමත් තාත්තත් එක්ක අවුරුද්දට විවිධ වැඩසටහන්වලට රට වටේ ගියා. මේ නිසාම අවුරුද්දට ගෙදර හිටියෙ නැති තරම්. ඒත් මට මතකයි පුංචි කාලේ අවුරුද්දට අම්මලගෙ ගමට යනවා. අපේ අම්මාගෙ ගම කොත්මලේ මඩකුඹුර කියන සශි‍්‍රක ගම. ඒ ගමට යන්න පඩි හත්සියයක් විතර කන්දක් තරණය කරන්න ඕනෙ.

ගමේ ගිහින් අවුරුදු සමරපු හැටි මට මතකයි. දැන්නම් කාර්යබහුලකම හින්දම ගමේ යන්න වේලාවක් හොයාගන්න අමාරුයි. ඒ වුණත් අලුත් අවුරුද්ද වෙනුවෙන් රටේ ජනතාවට කලා නිර්මාණ ඔස්සේ මෙහෙවරක් කරන්න ලැබීම සතුටක්. මේ අලුත් අවුරුද්ද වෙනුවෙනුත් ගීත කීපයක්ම පටිගත කළා.

අවුරුදු උදාවත් එක්ක ඒවා රස විඳින්න රසික ජනතාවට හැකි වේවි. ඒ වගේ ම අපේ‍්‍රල් අග ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන අලුත් අවුරුදු උළෙලකට සහභාගි වෙන්නට ඇරයුම් ලැබී තිබෙනවා.


නැකත්වලට අනුව චාරිත්‍ර ඉටු කරනවා

දමිතා අබේරත්න

සිංහල අලුත් අවුරුද්ද කියල කියන්නේ අපේම අවුරුද්දට. අලුත් අවුරුද්දෙ දී අපි අපේ නැදැයින්, හිත මිතුරන්, අසල්වැසියන් හැම දෙනාම එක්ක ඉතාම සුහදව අමනාපකම් ඇත්නම් ඒවා දුරු කරගෙන කටයුතු කරන්න ඕනෙ.

මේ අවුරුද්දෙදි නම් මම මගේ නැදැයින් එක්ක අවුරුදු සමරන්නයි හිතාගෙන ඉන්නේ. වාසනාවකට වගේ ඒ අවස්ථාව මට මේ අවුරුද්දෙදි ලැබිලා තියෙනවා. නැත්නම් බොහෝ වෙලාවට පහුගිය වසරවල අලුත් අවුරුද්ද සමරන්න සිදුවුණේ පිටරටවලදී. අලුත් අවුරුද්දට ගෙදර ඉන්න ලැබෙන නිසා ගොඩාක් දුරට අවුරුදු නැකැත්වලට අනුව චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන්න උත්සාහ ගන්නවා. ඒ කියන්නෙ වේලාවට කිරිබත් හදන එක, වේලාවට කෑම අනුභව කරන එක, ගනුදෙනු කිරීම මේ වගේ චාරිත්‍ර මම ඉටු කරනවා.

ඒ වගේම තමයි හැම අලුත් අවුරුද්දකදීම මම ලංකාවෙ හිටියත් පිටරටක හිටියත් මගේ සහෝදර සහෝදරියන්ට දුවා දරුවන්ට නැදෑ හිතවතුන්ට තෑගි බෝග ලබා දීම අනිවාර්යයෙන්ම සිදු කරනවා. වෙලාවකට මට හිතෙන දෙයක් තමයි පුංචි කාලේ මීට වැඩිය හොඳට අපි අවුරුදු සැමරුවා කියන එක.

මට මතකයි පුංචි කාලේ අවුරුද්දට අම්මත් එක්ක අපි පන්සලට යනවා. පන්සලේ ලොකු හාමුදුරුවො තමයි අපේ හිසේ තෙල් ගාන්නෙ. ඒත් අද තියෙන කාර්යබහුලකමත් එක්ක ඒ අයුරින් අවුරුදු සමරන්න නොලැබුණත් පුංචි කාලෙ අවුරුදු සමරපු හැටි මතක් වෙනකොට ලොකු සතුටක් හිතට දැනෙනවා.


සිංහල අවුරුද්දේ වටිනාකම දරුවන්ට කියලා දෙනවා

චරිතා පි‍්‍රයදර්ශනි පීරිස්

මේ අලුත් අවුරුද්ද අපි හැම දෙනාටම විශේෂ වූ එකක්. සියලුම චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමින්, සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව, අලුත් අවුරුදු සැමරීමට අපි කවුරුත් සූදානමින් ඉන්නේ. විශේෂයෙන්ම වැඩිහිටියන්ට සැලකීමට, අපේ වැරැදි නිවැරැදි කරගැනීමට සිංහල අවුරුද්දේ දී අපි හැම කෙනෙක්ම උත්සාහ ගන්නවා. අපේ දරුවන්ට ඒ යහපත් ගුණාංග කියාදීමට කටයුතු කරනවා.

ඇත්තටම දරුවන් දෙදෙනකු සිටින අම්ම කෙනෙක් විදිහට මමත් සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඔවුන් සමඟ හරියටම ඉටු කරන්න උත්සාහ ගන්නවා. ඒ ආකාරයෙන්ම කරන්න බැරි වුණත් සිංහල අවුරුද්දේ වටිනාකම, අපි වැඩිය යුතු ගුණාංග මම දරුවන්ට කියල දෙන්න මෙය අවස්ථාවක් කරගන්නවා. එය ඉතාම වටින දෙයක් ලෙසයි මම සලකන්නේ.

මට මතකයි අපි හැදුණේ වැඩුණේ කොළඹ වුණත් පුංචි කාලේ අවුරුදු සමරන්න ආච්චි අම්මගෙ ගෙදරට යන හැටි. විශේෂයෙන්ම නැදෑයොත් එක්ක ගත කරන ඒ දවස් කිහිපය අපිට ගෙන දුන්නේ ලොකු සතුටක්. අදටත් අපි සහෝදර සහෝදරියන්, නැදෑයන්, අසල්වාසීන් මේ හැම දෙනෙක් එක්කම අලුත් අවුරුද්ද සතුටින් සමරන්න බලාගෙන ඉන්නවා.


වැඩ අල්ලන නැකතට අලුත් පොතක් ලියනවා

සතිස්චන්ද්‍ර එදිරිසිංහ

පොඩි කාලේ ඉඳල අපේ අම්මල තාත්තල අලුත් අවුරුද්ද වෙනුවෙන් ඉටු කරපු චාරිත්‍ර වාරිත්‍ර අපිත් ඒ විදිහටම ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ පවුලේ පිරිමින්ගෙන් වැඩිමලා හැටියට මම අපේ තරුණ පරම්පරාවට මගේ මුණුබුරු මිණිපිරියන්ට තෑගි බෝග දීලා, අපේ සිංහල අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර කියල දීල ඒ සංස්කෘතිකාංග ඉටු කරන්නත් කටයුතු කරනවා. මම සිංහල සංස්කෘතියට කැමැති, ඊට ගරු කරන කෙනෙක්. එක පරම්පරාවක් අපේ අනෙක් අලුත් පරම්පරාවට සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, ඒ කියන්නේ අලුත් අවුරුද්දේ දී කළ යුතු දේ සහ නොකළ යුතු දේ මොනවාද කියා කියලා දිය යුතුයි. එහි අතිශය වටිනාකමක් ඇති බව මම දකිනවා. මේවා අපි ආරක්ෂා කළ යුතුයි.

ඇත්තටම අපි පුංචි කාලෙ අවුරුදු සමරපු හැටියි අද අලුත් අවුරුද්ද සමරන හැටියි අතර ලොකු වෙනසක් තිබෙනවා. ලෝකය, සමාජය වෙනස් වෙන්න, වෙන්න සංකීර්ණ වෙන්න වෙන්න මේවාත් වෙනස් වෙනවා. එදා ගමක සුන්දරත්වයෙන් යුතුව අවුරුද්ද සමරපු විදිහට අද සමාජයේ අවුරුද්ද සමරන්න අපහසුයි. නමුත් අපේ සංස්කෘතියේ එන චාරිත්‍ර ඉටුකිරීම තුළ විශාල වටිනාකමක් තිබෙනවා.

සිංහල අලුත් අවුරුද්දේ දක්නට ලැබෙන ප්‍රධාන දේ තමයි කළගුණ සැලකීම. එය අපි වතුර බොන ළිඳට පවා සිදු කරනවා. මේ තුළ කෘතවේදීත්වය පිරී ඉතිරී යනවා. ඇත්තටම මේවා අලුත් තරුණ පරම්පරාවට ඉගැන්වීම සහ ආරක්ෂා කිරීම අපි කළ යුතුයි. මේ අලුත් අවුරුද්දේ දී වැඩ අල්ලන නැකතට මම පොතක් ලියන්න හිතාගෙන ඉන්නවා. එය බොහෝ විට ජීවිතය යහපත් කරගත්තේ කොහොමද කියන දේ ඇතුළත්ව ලියවෙන්නක්.


අපේ ආච්චි හදන නාරං කැවුම් කන්න ආසයි

රොෂාන් රණවන

කාර්යබහුල ජීවිතයක් ගත කළත් හැම අවුරුද්දෙම සිංහල අලුත් අවුරුද්දට ගෙදර ඉඳගෙන සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවල යෙදෙන්න මට අවස්ථාව ලැබුණා. මේ අලුත් අවුරුද්දෙත් අම්ම තාත්ත එක්ක එකතු වෙලා අවුරුදු සමරන්න බලාගෙනයි ඉන්නේ.

අවුරුදු දාට ආච්චි සීයට බුලත් දීල තෑගි භෝග අරගෙන ඒ දෙන්නව බලන්න යන්න අපි අමතක කරන්නෙ නැහැ. ඒ වගේම මගේ යාළු මිත්‍රයො හුඟ දෙනෙක් සිංහල අවුරුදු දාට අපේ ගෙදරට එනවා. අවුරුදු සමරන්න.

විශේෂයෙන්ම අපේ ගෙදර අවට ඉන්න අසල්වාසීන් හැම දෙනාම බලාගෙන ඉන්නේ අලුත් අවුරුදු දවසට කැවුම් කොකිස් කිරිබත් කෙසෙල් පිරුණු කෑම පිඟානක් අපේ ගෙදරින් ඒ ගෙවල්වලට අරගෙන යනකම්.

මොකද ඔවුන් බොහෝ දෙනෙක් කතෝලික බැතිමතුන්. ඇත්තටම අපේ අම්මට හොඳ රසට කැවුම්, කොකිස් හදන්න පුළුවන්. පුංචි කාලේදි නම් ආච්චි හදන නාරං කැවුම් කන්න මම හරිම ආසයි. දැන්නම් අම්ම තමයි අවුරුද්දට කැවිලි හදන්නෙ.

අම්මත් ආච්චි වගේම හරිම රසට කැවුම් හදනවා. කොහොම වුණත් අපි ආගම්, ජාති භේදයකින් තොරව එකා වගේ සමගියෙන් සාමයෙන් අලුත් අවුරුද්ද සැමරිය යුතුයි කියා මම හිතනවා. සිංහල බෞද්ධ ජනතාව වගේම සිංහල කතෝලිකයනුත් දෙමළ ජනතාවත් අලුත් අවුරුද්ද සමරන්න එකාවන්ව එක්කාසු විය යුතුයි කියා මම හිතනවා.

0 comments:

Post a Comment