----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ප්‍රසාංගික කලාවට දුන් විශ්වකර්ම තෑග්ග

Wednesday, April 13, 2011

කොළඹ 7 ජෝන් ද සිල්වා සමරු රඟහල හා සෞන්දර්ය විශ්ව විද්‍යාලයට මායිම්ව නොමැඩ්ස් පිට්ටනියේ ඉදිවන අමුතු ගොඩනැගිල්ල පිළිබඳව එතනින් යන එන කාගේත් ඇස් යොමු වෙයි.

අපේ රටට ආගන්තුක ගෘහ නිර්මාණ ශිල්පි ක්‍රමයකට අනුව ඉදිවන මේ ගොඩනැගිල්ල ලංකාවේ ඉදිවන ලොකුම රඟහල බව කීවොත් ඔබ පුදුම වනු ඇත.

එය තමයි ජාතික ප්‍රාසාංග කලා රඟහල. එය ඉදිවන්නේ කොළඹ නොමැඩ්ස් පිටියේ අක්කර 5.5 පුරා ප්‍රදේශයකය. සංස්කෘතික අමාත්‍යාංශයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මෙහෙයවීමෙන් චීන රජයේ සහාය ඇතිව චීන ඉංජිනේරුවන්ම හා චීන සේවකයන් ඉදිකරන ලද මේ යෝධ ගොඩනැගිල්ලට චීන රජය සම්පූර්ණ ප්‍රතිපාදන ලබා දෙයි.

ජාතික ප්‍රාසාංග කලා රඟහල හෙක්ටයාර් 2.17 ක භූමි ප්‍රදේශයක ඉදිවේ. එහි මහල් 4 කි. ගොඩනැගිල්ලේ මුළු වර්ග ප්‍රමාණය වර්ග මීටර් 14000 ක් බව ඉංජිනේරු උපදේශක ගැමුණු සිල්වා මහතා කියයි.

මෙම ගොඩනැගිල්ලේ සියලු ඉදිකිරීම් චීන ඉංජිනේරුවරුන්ගේ මෙහෙයවීමෙන් සිදුවන අයුරු එහි ගිය අපට දැකගත හැකි විය. ප්‍රධාන ඉංජිනේරු ලෙස කටයුතු කරන්නේ චීන ජාතික වෑං ගෝ සෙං මහතායි. චීන ඉංජිනේරුවරු 15 ක් හා චීන ජාතිකයෝ සියයක් පමණ එහි ඉදිකිරීම් වැඩට දායක වී සිටිති.

ඉංජිනේරු වෑං හෝ සෙං මහතා පවසන පරිදි ඔහු බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අවසන් ඉදිකිරීම් සඳහා ද මෙරටට පැමිණ සිටි අයෙකි.

“මේ රටේ ජනතාවට චීනයෙන් ලැබෙන තවත් තෑග්ගක් ලෙස මෙය හැඳින්විය හැකිය. සියලු ඉදිකිරීම් තව සති කිහිපයකින් අවසන් කරනවා. වැස්ස අපේ වැඩේට බොහෝ බාධා කළා. ඉංජිනේරු වෑං හෝ සෙං පැවසුවේ ඒ බාධා නොතිබුණා නම් ඉදිකිරීම් මීට පෙර අවසන් කිරීමට තිබු බව පෙන්වා දෙමිනි.

මේ ප්‍රාසාංග කලා රඟහල සඳහා සම්පූර්ණ වියදම රුපියල් කෝටි 243 කි. ඉන් සියයට 40 ක් ත්‍යාගයක් ලෙස චීනය ලබා දෙයි. ඉතිරි සියයට 60 සහන පොලිය මත ණය මුදලක් ලෙස ලබා දෙන බව මධ්‍යම සංස්තෘතික අරමුදල පවසයි.

ඈත අතීතයේ සිටම අපේ රටේ දුවා දරුවන් පවා නාට්‍ය හදති. මේ නාට්‍ය ප්‍රාදේශීය මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, ජාතික මට්ටමින් ජය ගෙන අන්තර්ජාතික නාට්‍ය තරගාවලි සඳහා තේරුණු අවස්ථා ද නැතිවා නොවේ.

එමෙන්ම ලොව ප්‍රධාන නාට්‍ය සඳහා ද ශ්‍රී ලංකාවේ හරිහැටි රඟහලක් නොමැත. මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවේ විශාලතම රඟහල දැන් මෙසේ ඉදිවිය.

ගොඩනැගිල්ලේ ඉදිකිරීමේ අවසන් අදියරට පැමිණ තිබේ. ඉහළින් බැලු විට පෙනෙන්නේ පොලොන්නරුව පුරා විද්‍යා ප්‍රදේශයේ පිහිටි ඉපැරැණි නෙළුම් පොකුණේ හැඩය බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකාර සමරපාල විතානගේ මහතා පවසයි.

සිවු මහලක් ඇතිව ඉදිවී ඇති මේ ගොඩනැගිල්ල මීටර් 41 ක් උසය. එහි පොළොව යට ද කොටසක් ඉදිවී තිබේ. ඒ කොටස මීටර් 11 කි. පොළොවෙන් ඉහළ මීටර් 30 ක් ඉදිවේ.

මෙතෙක් කල් තම නාට්‍යය වැඩි පිරිසකට පෙන්වා ගැනීමට අවස්ථාවක් නොලැබුණු අයට මේ නව රඟහල මඟින් අවස්ථාව ලැබේ. එමෙන්ම පිටරට සම්භාව්‍ය නාට්‍ය මෙහි රඟ දැක්වීමට කටයුතු යොදා තිබේ.

මෙහි ප්‍රධාන රංග ශාලාව ආසන 1320 කින් සමන්විතය. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මෙතරම් ආසන ගණනක් නැති බව ද ඉංජිනේරුවෝ පවසති. රංග ශාලාව මහල් 3 කි. එහි වේදිකාව ඉහළ පහළ යන අයුරින් සැකසී තිබේ.

ගොඩනැගිල්ලේ බිම් මහල තනිකරම වාහන නැවතුම් පළක් ලෙසින් ඉදිවී තිබේ. එහි වාහන 360 ක් නවත්වා තැබීමට පුළුවන.

වායු සමීකරණය ඇති ප්‍රධාන රංග ශාලාව නවීනතම ශබ්දවාහිනි පද්ධති, ආලෝක කිරණ පද්ධති ඉහළ පහළ යන වේදිකා, රූපවාහිනි හා ශබ්ද පටිගත කිරීම්වලට වෙනම නවීන තාක්ෂණ ක්‍රමවලින් සමන්විතය. ලෝකයේ ඉහළම ගණයේ රංග ශාලාවලට සමාන ලෙස ජගත් ප්‍රමිතියට අනුව මෙය ඉදිවන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ සමරපාල විතානගේ මහතා පෙන්වා දෙයි.

මේ ගොඩනැගිල්ලේ වටේ ඇති කණු වලින් දැනටම පොලොන්නරුවේ නෙළුම් විලේ හැඩය ලබාගෙන තිබේ. ඒ නෙළුම් විලේ හැඩය සහිත යකඩ සැකිල්ලට ඉහළින් වහලයක් ඉදිකරනු නොලැබේ. ඒ අනුව ඉහළින් බැලු විට පොලොන්නරුවේ නෙළුම් පොකුණේ හැඩය මනාව පෙනෙන බව ඉංජිනේරු උපදේශක ගැමුණු සිල්වා මහතා පවසයි.

ප්‍රධාන රංග ශාලාවට අමතරව මෙහි රංග ශාලා 4 කි. ඊට අමතරව ඉදිරිපස ඇති යෝධ වහලය යට ද තවත් විවෘත රඟහලක් ලෙස පාවිච්චි කළ හැකිය. පිටුපස තවත් රඟහලක් තිබේ. සම්පූර්ණ ගොඩනැගිල්ලම වායු සමීකරණය කර ඇත.

මීට අමතරව පුහුණුවීම් ශාලා 10 ක් පුහුණුවන අයට අවශ්‍ය නවීන නාන කාමර පද්ධති, නැවතීමේ පහසුකම්, තරු පහේ හෝටලයකට අනුබද්ධ ආපන ශාලාවක්, සංචාරක හෝටලයක් පුහුණු වීම්වලට ඉහළම මට්ටමේ ශබ්ද විකාශන පද්ධතියක්, රූපවාහිනි වීඩියෝ ගතකිරීමේ උපකරණ ආදිය හා ඒවා සංස්කරණය කිරීමේ මැදිරි පවා මෙහි අන්තර්ගත වෙන බව එහි ගිය අපට දැනගන්නට ලැබිණි.

මේ මහා ඉදිකිරීමට අවශ්‍ය පස්, ගල්, වැලි හැර අන් සියලු දේ චීනයෙන් ගෙන්වනු ලැබීය. ඒ අනුව කම්බි විදුලි උපකරණ සිවිලිම් තහඩු ලී ආදිය ගෙන්වා ඇත්තේ ද චීනයෙනි. ප්‍රධාන පිවිසුමට අමතරව සුවිශේෂි ආරාධිත අමුත්තන් සඳහා ද පිවිසුම් 2 ක් ඉදිකර තිබේ. ඊට අමතරව තවත් පිවිසුම් 4 ක් ද අවශේෂ අය වෙනුවෙන් හා සැපයීම් වෙනුවෙන් ඉදිකර තිබේ.

රඟහලේ මහල් තුනකින් යුත් ප්‍රධාන නෘත්‍ය ශාලාව

හිටපු සංස්කෘතික ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාත් හිටපු ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත් සංස්කෘතික ඇමැති ටී. බී. ඒකනායක මහතාත් මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහා බලවත් උනන්දුවෙන් කටයුතු කළහ.

මෙරට සංස්කෘතික කලා කටයුතුවලට කවදත් උනන්දු වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නියමිත ප්‍රමිතියට කළ යුතු බවට ද උපදෙස් ලබා දී ඇත.

දෙස් විදෙස් නාට්‍ය ක්ෂේත්‍රයේ නව නැම්මක් ඇතිකරන විශේෂයෙන් සාර්ක් කලාපයේ ඉදිවන නවීනතම පහසුකම් ඇති මේ මහ රඟහල තව නොබෝ දිනකින් ලොව සම්භාව්‍ය නාට්‍ය රඟ දැක්වීමට මෙන්ම අපේ කලාකරුවන්ගේ නාට්‍ය රඟ දැක්වීමට ද විවෘත වනු ඇත.

සේයාරූ - විමල් කරුණාතිලක සහ මධ්‍යම සංස්කෘතික අරමුදල

Copy Rights - Silumina

0 comments:

Post a Comment