----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

පිරිමිකමට සමු දුන් නැට්ටුක්කාරී

Wednesday, April 13, 2011

පිරිමිකමට සමු දුන් නැට්ටුක්කාරී

ඇය නැට්ටුක්කාරියකි. නිකම්ම නැට්ටුක්කාරියක් නොවේ. මුළු චීනයම රසවත් කළ මුද්‍රා නාට්‍ය ශිල්පිනියකි. එහෙත් ඇය මුලින්ම පිරිමියකු බව කීවොත් කවුරුත් පුදුම වේවි.

ජින් ක්ෂින් නම් වූ 27 හැවිරිදි හමුදා කර්නල්වරයා යුද හමුදාවේ සිටියදී ද දක්ෂ නැටුම් ශිල්පියකු විය. ඔහුගේ දක්ෂ නැටුම්වලින් යුද හමුදාව පමණක් නොව මහජනතාව පවා ප්‍රසංගවලදී කුල්මත් වූහ.

ඔහුට ලිංග විපර්යාසයකින් කාන්තාවක වන්නට අවශ්‍ය වූයේ වයස අවුරුදු 27 දීය. ඒ අනුව ඇය චීනයේ රෝහලකට ඇතුළු වුණේ චීන හිරු අවුරුදු මංගල්‍යය කිට්ටුව දීය. හදිසියේම ඔහුගේ පියා රෝහල් කාමරයට ඇතුළු විය. ඔහු ද හමුදා නිලධාරියෙකි.

මේ මොකද, මොකක්ද ඔයාට වුණේ” කියා ඇසීය. ඒ ගැන ජින් ම පවසන්නේ මෙවැන්නකි. “තාත්තා මගේ ඇඳ වටා කැරකුණා. මං කෙළින්ම කිව්ව මට කිසි අසනීපයක් නැහැ. මං ආවෙ ලිංග විපර්යාස සැත්කමකටයි. හෙටයි සැත්කම කියල. තාත්තා නළලෙ අත තියාගත්තා.”

“මං දන්නව ඕක වෙයි කියල උඹ ඉතින් ගෑනි වගෙනෙ හිටියේ. උඹ වැරැදිලයි පිරිමියකු වෙලා ඉපදිලා තියෙන්නෙ.”

ල ිංග විපර්යාසයකට පත්වූ පසු ඇය ජින් ක්ෂින් චීනයේ ඉහළ පෙළේ මුද්‍රා නාට්‍ය ශිල්පිනියක් වූවාය.

“ඇය ලෝකයේ මං දැකල තියෙන හොඳම ඉහළ ගණයේ නිළියක්” ඇගේ රඟපෑම් දුටු බටහිර තානාපති නිලධාරියෙක් වරක් කීවේය.

එහෙත් තාමත් චීන ජාතිකයන් ඇය දෙස බලන්නේ චකිතයෙනි. මේ වන විට වයස අවුරුදු 43 ක් වන ඇය චීනයේ නිදහස් නැටුම් ශිල්පිනියකි.

ජින් ක්ෂින් හා ඇගේ සැමියා හා ඇගේ හදාගත් දරුවන් තිදෙනා සමග

ඇය තමන් වෘත්තිමය වශයෙන් පිළිගැනීමට ලක්කර ගැනීමට දිගු සටනක් ගෙන ගියාය. දැඩි කැපවීමකින් ගෙන ගිය ඒ සටන ඇගේ පෞද්ගලික සටනක් පමණක් නොවීය. එය චීන සමාජයේ දේශපාලන වශයෙන් බැඳී සිටින තත්ත්වයන් සමඟ ගෙන ගිය එකක් විය. එහෙත් චීනයේ කලාව හා සංස්කෘතිය උදෙසා ඇය ඒ සටන දිනුවේ බොහෝ බටහිර රටවල් බලාපොරොත්තු වූවාටත් වඩා සුබදායක ලෙසිනි.

අද ඇය සිය රටේ ප්‍රධාන පෙළේ නාට්‍ය ශිල්පිනියකි. විවාහකය. හදාගත් දරුවන් තිදෙනකුගේ මවකි. ඇය සිය කතාව මාධ්‍යයට පැවසුවේ බෙයිජිං නගරයේ තේපැන් සලක වාඩි වී ඉතා සැහැල්ලුවෙනි. සිය දිගු කෙස් වැටිය අතින් පස්සට දමමින් ඇය සිනාසෙමින් සිය කතාව කියද්දී ඇගේ හදාගත් දරුවෝ අසලට වී සෙල්ලම් කරමින් සිටියහ.

වයස අවුරුදු හතේදී ඔහුගේ වැඩිමල් සොයුරිය මෙන් ම නැටුම් පිළිබඳ චිත්‍රපටියක් නරඹමින් සිටි ඔහු සිය දෙමවුපියන්ගෙන් මුද්‍රා නාට්‍ය ඇඳුම් කට්ටලයක් ඉල්ලා සිටියේය. ක්‍රම ක්‍රමයෙන් තරුණ වියට පත් ඔහු මහජන විමුක්ති හමුදාවට බැඳුණේය. ඒ 1970 දශකයේ මහජන විමුක්ති හමුදාව රඟපෑමට ආශා කළ නාට්‍ය ශිල්පියෙකුට හොඳ තෝතැන්නක් වූ බැවිනි. එහෙත් හමුදා පුහුණුව ඔහුගේ හැකියාව හෝ ගමනාන්තය නොවීය.

හමුදා පුහුණුවේ දී සිය ඇඟිලිවලින් බෝම්බයක් ගිලිහී යද්දි ඉහළ හමුදා නිලධාරියකුගෙන් ඔහුට පහරකෑමට සිදුවිය. එහෙත් නිලධාරියාගේ පහර අභියෝගයට ලක් කරමින් ඔහු සිය රඟපෑම් දිගටම කරගෙන ගියේය. එහිදී නාට්‍ය ශිෂ්‍යත්වයක් දිනු ඔහුට පිටරට යාමට අවස්ථාව සැලසිණි. 1987 සිට 1991 දී ඔහු ජීවත්වූයේ නිව්යෝර්ක් නගරයේ ය. එහිදී ඇමෙරිකන් ගොපළු කොල්ලකු සමඟ සමීප මිත්‍ර සබඳතාවක් පැවැත්වීය. එහෙත් ටික කලකින් නිව්යෝර්ක් නගරයට ආයුබෝවන් කී ඔහු නැටුම් ශිල්පය තවදුරටත් හැදෑරීම පිණිස රෝමයට ගියේය. එහිදී නැටුම් ඉගෙන ගත්තා පමණක් නොව උගන්වන්නට ද පටන්ගත් ඔහු යළිත් චීනයට පැමිණියේය.

ඔහුට සිය ලිංගික විපර්යාසය පිළිබඳ අදහස ආවේ මේ අවස්ථාවේදීය.

කාන්තාවක වන්නට තීරණය කළ ඔහු අනතුරුව රූපලාවන්‍ය පිළිබඳ ශල්‍ය වෛද්‍යවරියක වන යැංග් පෙයියිංග් මුණ ගැසෙන්නට ගියේය.

මෙය චීනයේ ප්‍රථම ලිංග විපර්යාස සැත්කම විය හැකි බව සිතූ විශේෂඥ ශල්‍ය වෛද්‍ය යැංග් සිය සහායකයන් සමඟ ඊට අවශ්‍ය මනෝ චිකිත්සක පසුබිම සකස් කරන්නට පටන්ගත්තාය. කාන්තාවක වන්නට නම් සිරුරෙන් පමණක් නොව මනසින් ද එසේ විය යුතුය.

“මා ඇගේ පරීක්ෂණවලට කැමති වුණා. දැන් ඒ ශල්‍ය වෛද්‍යවරිය විශ්‍රාම අරගෙන. ඇය කීවේ මෙය ඓතිහාසික අවස්ථාවක් කියා.”

ජින් නිව්ස්වීක් සඟරාවට පැවසුවාය. මුලින් චීන බලධාරිහු ඇයගේ සැත්කමට ඉඩ දුන්න ද ඇය ප්‍රසිද්ධ වීමෙන් වැළැක්වූහ.

“විදේශීය නැටුම් ශිල්පීන් මා ගැන විමසු විට ඔවුන් කීයේ ඇය මෙහෙ නැහැ. දැන් අපට ඇය සොයාගන්නට බැහැ. සමහරවිට ඇය යුරෝපයේ ඇති” යනුවෙනුයි. කෙසේ වෙතත් නාට්‍ය ශිල්පිනියක වශයෙන් ඇය රජයේ පිළිගැනීම ලැබුවේ 2006 දීය.

“පසුගිය වසරේ සිට චීන රජය මා සංස්කෘතික නායිකාවක වශයෙන් පිළිගෙන රජයේ අරමුදල් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරන ලෙස මට දැනුම් දුන්නා.” එහෙත් රජයේ අරමුදල් ලබාගැනීමට ඇය අකමැති වූවාය. ඒ එයින් ඇගේ කලා නිදහසට බාධාවක් වෙතැයි සිතාය. විශාල වශයෙන් පිළිගැනීමක් ඇති කලා කණ්ඩායම් ඇති රටක ඒවා තවමත් බොහෝ විට පාලනය වන්නේ රජය මඟිනි. ඇය කළේ සිය පෞද්ගලික ධනයෙන් පාලනය වන නැටුම් සමාගමක් ආරම්භ කිරීමය. “ජින් ක්ෂින් නැටුම් රංග ශාලාව“ යනුවෙන් ඇරැඹි ඇගේ රංග පාසල සඳහා ඇය සතුව තිබු ෂැංහයිහි මන්දිරය විකුණන්නට ද සිදුවිය. ඇය එමඟින් ස්වාධීන නැටුම් උත්සවයක් ද පැවැත්වුවාය.

“මං රජයට කියා හිටියා මං හිඟන්නියක් නොවන බව“ අනතුරුව ෂැංහයි සිට බෙයිජිං කරා ආ ඇය ඇගේ ප්‍රථම දරුවා හදාගන්නට ගත්තාය. දැනට දස හැවිරිදි වියේ පසුවන ඔහු ලියෝ ය. ලියෝ දැන් සිය මවට උදව් කරයි. ඊළඟට ඇය හදාගන්නට ගත් විවියන් හා ජුලියන් මේ වන විට පිළිවෙළින් 8 හා 7 හැවිරිදිය.

“දරුවන් ඉක්මනින්ම මා වටා රොක් වුණා. දශකයක් ඇතුළත අප පවුලක් වශයෙන් හැදුණා. මා තනිකඩ මවක් ලෙස ජීවිතයට මුහුණ දුන්නා.” ඇය කියන්නීය. එහෙත් ඇගේ තනිකඩ බව 2004 දී අවසන්කරන්නට සිදුවූයේ හදිසියේමය.

දිනක් ගුවන් ගමනකදී ඇය තමා ළඟට ඇවිත් සිටි ජර්මන් ව්‍යාපාරිකයකු වූ හාන්ස් ගර්ඩ් ඔයිඩ්ට්වාන් සමඟ කතාවට වැටුණාය.

දැන් ඔහු ඇගේ සැමියාය. මුලින් ඔහුට තමා පිළිබඳව යථාර්ථය හඳුන්වා දෙන්නට ඇයට උවමනා විය. ඔහු සමඟ ගත කරන්නට යොදාගත් මුල් දිනයේම ඇය ගියේ ඇගේ කුඩාම දරුවා සමඟය. ඔයිඩ්ට්වාන් මුලින්ම තරමක් තැති ගැනුණ ද ඇය සමඟ ටික වේලාවක් ගත කිරීමෙන් පසු ඇයට වඩාත් ළංවිය.

“මට ජින් ක්ෂින් ඕනැ යැයි ඇයට කියන්නට ඕනැ කළා” ඔහු නිව්ස්වීක් සඟරාවට ප්‍රකාශ කළේය.

දැන් ජින් හා ඇගේ නැටුම් සමාගම ක්‍රියාත්මක වෙයි. පසුගිය වසර අවසානයේ ඇය නිව්යෝර්ක් නගරය කරා ගියේ තමාගේ නැටුම් පුහුණුව පටන්ගත්තේ එතැනින් නිසාය.

එහෙත් ඇගේ ක්‍රියාකාරිත්වය මිත්‍ර කොමියුනිස්ට් රජය සමඟ තරමකට ගැටෙන්නට විය. චීන රජය කියා සිටියේ හමුදා කර්නල් වරයකුට ලිංග විපර්යාස සැත්කමක් කරගැනීමට තමන් ඉඩ දුන් බැවින් රජයේ මතයන්ට අවනත විය යුතු බවය. එහෙත් තමා රජයේ රූකඩයක් නොවන බව ඇය කියන්නීය.

එහෙත් ඇය දැන් නිදහස්. නැටුම් ශිල්පිනියක වශයෙන් චීන මුද්‍රා නාට්‍ය ලොව නව මාවතකට ගෙනයන්නට කැපවී සිටින්නීය. ඇය වටා ඇගේ දරුවන් මෙන්ම චීන දරු දැරියන් විශාල වශයෙන් රොක් වී සිටින්නේ ඇගෙන් නැටුම් ශිල්පය හදාරන්නටය. ඇගේ රූපවාහිනි වැඩසටහන් චීනයේ ජනපි‍්‍රයය. ඇය දැන් චීනයේ අංක එකේ නාට්‍ය ශිල්පිනියයි. අන්තර්ජාතික වශයෙන්ද ඇයට ඇති පිළිගැනීම අතිමහත්ය.

“මටම අවංක වෙන්නයි මට ඕනෑ. මං ලිංගික විපර්යාසයක් කළත් මගේ මනස වෙනස් වුණේ නැහැ. සිතුම් පැතුම් වෙනස් වුණේ නැහැ. මට කවදාහරි ඕනැ නිදහසේ කතා කරන්නයි” ඇය කියන්නීය.

නිව්ස්වීක් සඟරාවෙනි
දයා ඩී. ෆොන්සේකා

Copy Rights - Silumina

0 comments:

Post a Comment