----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

අපේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රථම නිළිය

Wednesday, April 6, 2011

‘නන්දා’, ඇය ලාංකීය ටෙලි නාට්‍ය ඉතිහාසයට එක් වූ චරිතයකි. මෙයට වසර 28 කට පෙර අපේ නිවෙස්වලට පිවිසි ඇය දශක ගණනාවක් ගෙවී ගියද තවමත් සහෘද සිත් සතන්වල රැඳී සිටින්නීය.

‘දේවිකා’, ඇය ශ්‍රී ලාංකීය ඉතිහාසයට එක් වූ නාමයකි. ‘ දිමුතු මුතු ‘ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට පණ පෙවූ ඈ ලාංකීය ප්‍රථම ටෙලි නාට්‍ය නිළිය ලෙසින් ජනාදරයට පාත්‍ර වූවාය.

අප දුටු නන්දාගේ ලෙංගතු සිනාව අදත් පෙර සේමයි.

* ලංකාවේ පළමු ටෙලි නාට්‍ය නිළිය වීමේ වරම ගැන ආපසු හැරී බලනවා නම්....

ලංකාවේ පළමු ටෙලි නාට්‍ය නිළිය වීමට ලැබීම මට ලොකු සතුටක්. මෙම ටෙලි නාට්‍යයට මාව සම්බන්ධ කරගත්තෙ ඩී.බී. නිහාල්සිංහ මහතා. ඔහු දුරකතනයෙන් අමතා රූපවාහිනියේ විකාශය කිරීම සඳහා ටෙලිසිනෙ ආයතනය මඟින් නිෂ්පාදනය කරන ටෙලි නාට්‍යයේ රඟපෑමට ආරාධනා කළා. ඔහුගේ ඇරැයුමෙන් තමයි මම ‘දිමුතු මුතු’ හි නන්දා බවට පත් වුණේ.

ඒ වන විටත් වේදිකා නාට්‍ය කිහිපයක හා රිදී නිම්නය, බිත්ති හතර ආදී සිනමා නිර්මාණවලට දායක වූ රංගන ශිල්පිනියක් වුවත් මෙය මට අලුත්ම අත්දැකීමක් වුණා. මට විතරක් නෙවෙයි, අපේ රංගන ශිල්පීන් බොහොමයකට මෙය නුහුරු අත්දැකීමක්. වේදිකා නාට්‍ය හෝ සිනමාව තුළ රංගනයේ යෙදුණත් මෙය ඊට වඩා වෙනස්ම දෙයක් නිසා තමයි එයට සම්බන්ධ වූ හැම ශිල්පියකුටම මෙය අලුත් දෙයක් වුණේ.

* අධ්‍යක්ෂවරයාගෙන් ඔබට මෙම රංගනය ඉදිරිපත් කිරීමේදී ලැබුණෙ කුමනාකාරයේ සහයෝගයක්ද?

ඒ වන විට අප ටෙලි නාට්‍යයක් දැක තිබුණේ නෑ. ඒත් නිහාල්සිංහ මහතා අපිට කතාව කිව්වා. වේදිකාව හා සිනමාවට වඩා මෙහි ඇති වෙනස කුමක්දැයි ඔහු කියලා දුන්නා. ප්‍රායෝගික අත්දැකීම් ලැබුවා. නාට්‍ය රූගත කරන අවස්ථාවේදීම එය මොනිටරයට දමා නැරැඹීමට අවස්ථාව ලබා දුන්නා. එමඟින් වැරැදි හදා ගනිමින් රඟපෑමේ යෙදෙන්න අපට අවස්ථාව ලැබුණා.

ඩී.බී. නිහාල්සිංහ මහතා මනා හික්මීමක් ඇති අධ්‍යක්ෂවරයෙක්. එමෙන්ම ඔහු නිහතමානී ගතිගුණවලින් හෙබි පුද්ගලයෙක්. එවැනි අධ්‍යක්ෂවරයෙක් යටතේ පළමු ටෙලි නාට්‍ය අත්දැකීම ලබා ගැනීමට හැකි කමත් සුන්දර මතකයක්. මම ටෙලි නාට්‍ය නිළියක් ලෙස ලබා ගන්නා සම්මාන හා යම් ගෞරවයක් තියෙනවා නම් ඒ ගෞරවය නිහාල්සිංහයන්ටත් හිමි විය යුතුයි.

මෙම පළමු ටෙලි රංගනය වෙනුවෙන් ඔබට ලැබුණු සම්මාන, ඇගැයීම් ආදිය ගැනත් සහිපත් කරමු...

ලංකාවේ පළමු රූපවාහිනී සම්මාන උළෙල වන සුවේන්ද්‍රා සම්මාන උළෙලේ දී ජනපි‍්‍රයම නිළිය හා දක්ෂතම රූපවාහිනී නිළිය ලෙස මා සම්මාන ලැබුවා. එම සම්මාන උළෙලේ ජනපි‍්‍රයම නළුවා ලෙස සම්මානය ලබා ගත්තේ අමරසිරි කලංසූරියයි.

ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්ගෙන් දක්ෂතා දැක්වූ දස දෙනකු තෝරන ජේ.පී.ඩී. සංවිධානය මඟින් පවත්වන ටොප් ටෙන් හි එම වර්ෂයේ ටෙලි නාට්‍ය අංශයෙන් තෝරා ගත් පුද්ගලයා වූයේ මමයි.

* ‘දිමුතු මුතු’ හි රඟ පෑ නළු නිළි යහළු යෙහෙළියන් තවමත් මුණ ගැසෙනවද?

ඔව්, ඔවුන් බොහෝ දෙනෙක් ඉන් පසුවත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේම රැඳුණා. කලා ලෝකයේ කටයුතුවලදී, සම්මාන උත්සවවලදී මට ඔවුන් හමු වෙනවා.

* දැන් ටෙලි නාට්‍ය වැඩි වශයෙන් නිර්මාණය වන කාලයක්. මේ කාලයත් සමඟ සසඳන විට ‘දිමුතු මුතු’ ගැන ඔබට හිතෙන්නෙ මොනවද?

ටෙලි නාට්‍ය කොතරම් බිහිවුවත්, තාක්ෂණික අතින් කොතරම් පෙරැළියක් සිදු කළත් ‘දිමුතු මුතු’ මෙන්ම ‘නන්දා’ත් අමරණීයයි. දශක ගණනාවක් ගත වී ඇතත් රසික ජනතාවගේ සිත් තුළ ඇය ජීවත් වන බව ඔවුන් හමුවන හැම විටෙක දී ම මට පැහැදිලි වන දෙයක්. ඒ ගැන මම සතුටු වෙනවා.

* ඉන් පසුව ඔබ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් මඳක් ඈත් වූ බවක් දැණුනා....

එහෙම විශේෂ ඈත් වීමක් වුණේ නැහැ. පළමු ටෙලි නාට්‍යයට පසුව මම තවත් ටෙලි නිර්මාණ විස්සකට පමණ දායක වුණා. බිරියක්, මවක් ලෙස කටයුතු කරන විට බාහිර වැඩ කටයුතුවලට යොදවන කාලය සීමා කරන්න සිදුවීම සාමාන්‍ය දෙයක්. එය යහපත් පවුල් දිවියක් වෙනුවෙන් කළ දෙයක් ලෙසින් පැවැසිය හැකියි.

* ඔබේ ආදරණීය සැමියා ජනපි‍්‍රය රංගන ශිල්පියෙක්. ඔබ දෙදෙනාම කලාකරුවන් වීම නිසා ජීවිතයට ලැබුණු වටිනාකම මොනවගේද?

විජය මේ දිනවල සිටින ජනපි‍්‍රයම රංගන ශිල්පියෙක්. ඉතින් ඔහු බොහෝ විට කාර්යබහුලයි. මමත් කලාකාරියක් වීම නිසා එය ඔහුට ලොකු පහසුවක්. වේදිකා නාට්‍ය කිහිපයක් ම නිෂ්පාදනය කරන නිසා ඔහුගේ කාර්ය බහුලත්වයෙන් වැඩි කොටසක් මටත් බාරගෙන කටයුතු කරන්න සිදුවෙනවා.

කුස පබාවතී, සිරි ගජබා, වෘෂභ රාජ යන වේදිකා නාට්‍ය ද නිෂ්පාදනය කරන නිසා කලාවෙන් ඈත් වෙලා ඉන්නවායැයි කියන්න බැහැ. මේ නාට්‍යවල පරිපාලනමය වගකීම් ඉටුකරන්නෙ මමයි.

* ඔබේ පවුලේ අනෙක් සාමාජිකයින් දෙදෙනා ගැනත් අලුත් තොරතුරු දැනගන්න අපි කැමැතියි....

මගේ දියණිය නවාංජනා මිහිරානි. ඇය රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන පෙර පාසලේ ගුරුවරියක් ලෙස කටයුතු කරනවා. ඊට අමතරව අපේ නාට්‍යවල නැටුම් ශිල්පීන් පුහුණු කිරීම, වේශ නිරූපණ කටයුතු ආදියෙන් ද දායක වෙනවා. පුතා තුසිත කොළඹ රාජකීය විද්‍යාලයේ අ.පො.ස. සා/පෙළ පන්තියේ ඉගෙනුම ලබනවා. අපේ නාට්‍යවල ආලෝක පාලන කටයුතු, බෙර වාදනය ආදිය කරන්නේ ඔහුයි. අපේ දරුවන් මෙම නාට්‍ය හතරටම රංගනයෙන් ද දායක වීම මට මවක ලෙසින් ලොකු සතුටක්.

දයාබර බිරියක්, සෙනෙහෙබර මවක්, හිතවත් නාට්‍ය ශිල්පීන්ට ලෙංගතු සොයුරියක් ලෙස භූමිකා කිහිපයකම චරිත නිරූපණය කරන ඇය, අපට ළබැඳි හිතවතියක්. ඇත්තටම නන්දාටත් වඩා ඇය අපට සමීපයි.

0 comments:

Post a Comment