----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

පණ තිබෙනකම් වේදිකාවේ ඉන්නවා

Monday, March 28, 2011

නිතරම පෙනි පෙනි ඉන්නකොට අපිටම එපාවෙනවා
චමිලා පීරිස්‌

පණ තිබෙනකම් වේදිකාවේ ඉන්නවා

චමිලා පීරිස්‌ මෙරට වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රය තුළ ප්‍රතිභා පූර්ණ නිළියන් අතළොස්‌ස අතරින් ඇය ඉදිරියෙන් සිටින්නීය. ඒ තමා සතු සහජ හැකියාවට අසාධාරණයක්‌ නොකරනවා යෑයි කියන්නාක්‌ මෙනි. දශක දෙකකට ආසන්න කාලයක්‌ වේදිකාවේ රැඳී සිටිමන් ඔබ සාපේක්‍ෂයි, මට එරෙහිව මම, විකෘති, මට වෙඩිතියන් නැද්ද, සඳ ළඟ මරණය ආදී ඇය රඟපෑ නාට්‍ය රැසකි. අනතුරුව ටෙලිනාට්‍ය රංගනයෙහිද විශිෂ්ට කුසලතා දැක්‌ වූ අපගේ කතා නායිකාව චමිලා පීරිස්‌ පසුගිය දිනකදි අප හා කතා බහකට එක්‌වූයේ මෙලෙසිනි.

බොහෝ කළකට පසුව පුංචි තිරයේ ඔබව දකින්න ලැබෙන නිර්මාණ තුළින්ම කතා බහ ආරම්භ කළොත්?

සිරස රූපවාහිනියේ සිහින පවුරු සහ ස්‌වර්ණවාහිනියේ ඕලු ටෙලිනාට්‍ය දෙක තමයි දැනට විකාශය වෙන්නේ.

නිර්මාණ අතරේ ඇයි ඔබව නිරන්තරයෙන් දකින්න නොලැබෙන්නේ?

ප්‍රධානම හේතුව තමයි අද නිර්මාණ බිහිවෙන්නේ බොහෝ විට තරණ පරපුර නියෝජනය කරමින්. මම මැදිවිය පසුකරමින් සිටින නිසා ඒවට සම්බන්ධ වෙන්න බැහැ. අනිත් පැත්තෙන් රඟපාන්න දෙයක්‌ තියෙන චරිතයකට හැරෙන්න සරළව කෙරෙන නිර්මාණවලට මම සම්බන්ධවෙන්න කැමති නැහැ. නිරන්තරයෙන් දකින්න නොලැබෙන නිසා වාසියකුත් තියෙනවා. නමුත් මේ සියල්ල අතරේ අනෙත් අයට සාපේක්‍ෂව මම නිරන්තරයෙන් වැඩ කරමින් ඉන්න කෙනෙක්‌.

නිතර ප්‍රේක්‍ෂකයා ඉදිරියේ පෙනි නොසිටීමේ වාසිය කුමක්‌ද?

පෙනි පෙනී ඉන්නකොට ඒක සාමාන්‍ය දෙයක්‌ වෙනවා. එතකොට අපිටම එපා වෙනවා. විවිධ චරිත අතරින් එන්න තමයි කැමති.

මෙය වේදිකාවෙන් පැමිණි ප්‍රබල චරිතවල ලක්‍ෂණයක්‌ද?

ඔබ ඇසූ ප්‍රශ්නයට එහි අදාළ තාවක්‌ තියෙනවා වෙන්නත් ඇති. නමුත් මුල පිරුම වේදිකාවෙන් ලැබිලා තියෙන නිසා හොඳ දැනුමක්‌ ඔවුන් හැම කෙනා තුළම තිබෙනවා. හිතලා වෙනසක්‌ නොකළත් ඒ ආභාෂය තියෙන නිසා චරිතය ගොඩනගාගන්න පහසුයි.

ක්‍ෂේත්‍රයේ සෙසු රංගන ශිල්පීන්ට සාපේක්ෂව ඔබට තිබෙන්නේ හුදකලා ජීවිතයක්‌ නේද?

ඒක මම හිතල කරන දෙයක්‌ නෙමෙයි. මොකද වේදිකාවේ හෝ රූගත කෙරෙන පසුතලය හැරුණු කොට මම නිළියක්‌ කියලා කැපිලා පෙන්න හදන කෙනෙක්‌ නෙමෙයි. ඒ නිසා උත්සව, ප්‍රියසම්භාෂණවල දි මගේ රූපේ දකින්න නැති නිසා අනිත් අයට ඒ වෙනස දැනෙනවා ඇති.

නමුත් රංගන ශිල්පිණියක්‌ ලෙසට එය අවාසියක්‌ නොවේද?

ජනප්‍රිය කියන නාමයට මම කැමති නැහැ. මට අවශ්‍ය යමක්‌ රසවිඳිමින් රංගනයේ යෙදෙන්න මිසක්‌ හැල්මේ දුවන්න නෙමෙයි. ඒ නිසා ජනප්‍රිය මාවතේ නොගියා කියලා මට පාඩුවක්‌ නැහැ.

වේදිකාවේ නවතම තතු මොනවාද?

1991 දී මම ප්‍රසිද්ධ වේදිකාවට ගොඩවැදුණු බර්නාඩාගේ සිපිරිගෙය වේදිකානාට්‍යයේ නැවත නිෂ්පාදනය ප්‍රියන්ත සිරිකුමාර විසින් ඊයේ සහ අද ලයනල් වෙන්ඩ්ට්‌ හීදී වේදිකා ගත කරනවා. ඒ වෙනුවෙන් තමයි මේ දවස්‌වල පූර්ණකාලීනව නියෑලිලා ඉන්නේ.

මෙතෙක්‌ බිහිවුණු වේදිකා නිර්මාණ හා මෙම නිර්මාණය අතර තිබෙන වෙනස කුමක්‌ද?

වේදිකාව තුළ බිහිවෙන හැම නිර්මාණයක්‌ම එකකට එකක්‌ වෙනස්‌. වසර විසි එකකට වඩා වැඩි අත්දැකීම් සම්භාරයක්‌ මා සතුව තිබුණත් නිර්මාණ දහයක්‌ තරම් සුළු ප්‍රමාණයකට තමයි මම සම්බන්ධවෙලා තියෙන්නේ. මගේ අත්දැකීම් අනුව නම් රසාස්‌වාදයක්‌ තුළ උපරිම සතුට ගෙනදෙන නිර්මාණයක්‌ කියන්න පුළුවන්.

මේ නිර්මාණය ඔස්‌සේ ඔබේ රංගන කෞෂල්‍යය තුළ කරන්නට ලැබුණු වෙනස මොකක්‌ද?

හොඳ අවස්‌ථාවක්‌. මනුෂ්‍යයෙක්‌ගේ හැඟීම්වල නොතිබිය යුතු හැඟීමක්‌ වන ඊර්ෂ්‍යාව සාමාන්‍ය මට්‌ටම වඩා උපරිමයෙන් ගිය විකෘති වූ චරිතයක්‌. මගේ පැත්තෙන් උපරිම සාර්ථකත්වයක්‌ චරිතය වෙනුවෙන් දුන්නා කියලා හිතනවා.

ඔබ යම් නිර්මාණයක්‌ තෝරාගැනීමේ දී සැළකිලිමත් වන කරුණු මොනවාද?

මට රඟපාන්න දෙයක්‌ තියෙනවද කියන කාරණාව ප්‍රධානයි. වේදිකාවේ නම් එහෙම නැහැ. මොකද ආර්ථික මට්‌ටමින් වාසියක්‌ නැහැ. රසවින්දනය විතරයි උපරිමයෙන් ලබන්න පුළුවන්. අනික ලස්‌සනට ඇඳලා ලස්‌සනට ඉන්න චරිත රඟපාන්න ලැබුණොත් ප්‍රතික්‍ෂේප කරනවා. නිර්මාණයකදි වැඩකරන්න ලැබෙන අනෙක්‌ අය දක්‍ෂ නම් කරට කර අලුත් දෙයක්‌ එක්‌කරන්න පුළුවන් වීමත් හොඳ අවස්‌ථාවක්‌.

දශක දෙකකට ආසන්න කාලයක්‌ වේදිකාවේ රැඳී සිටි ශිල්පිණියක්‌ ලෙසට වේදිකාව ශක්‌තිමත් කිරීමට ඔබෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටුවූවාද?

ලංකාවේ ජීවත් වෙමින් ලංකාවේ මානසික මට්‌ටම තුළ ඉඳගෙන කතා කරනවනම් මම හිතනවා මම යුතුකම් ඉටු කළා කියලා. මොකද මම වේදිකාව වෙනුවෙන් යුතුකම් පැහැර හරිනවා අඩුයි. පණ කඳ තියෙනකම් රැඳී ඉන්න එකම තැන තමයි වේදිකාව.

එසේ වූවානම් ඔබ විසින් නිර්මාණයක්‌ බිහි කරන්න ඇයි ප්‍රමාද?

ඇත්තටම ආසයි. නිර්මාණයක්‌ ගැන හිතමින් ඉන්න කාලෙදි තමයි බර්නාඩාර්ගේ සිපිරි ගෙයට නැවත සම්බන්ධවෙන්න ලැබුණේ.

බිරිඳක්‌, මවක්‌ ලෙසට කතා කළොත්?

විශේෂ බරක්‌ නැහැ. දුවෙක්‌ ඉන්න නිසා ජීවිතේ ටිකක්‌ වෙනස්‌ වෙලා. එයා වැඩෙනවා දකින එක මට තෘප්තියක්‌. ඒ ඇරෙන්න පරණ ජීවිතේ ඒ විදිහටම විනෝදෙන් ගත කරනවා. නාමල්ගෙන් ජීවිතේ ගෙනියන්න හොඳ සහයෝගයක්‌ ලැබෙනවා.


ලක්‌මිණි අතුකෝරල
ඡයා - සුජාතා ජයරත්න


Copy Rights - Diwayina

0 comments:

Post a Comment