----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

එච්.ඒ. නළුවෙක් පමණක් නොවේ

Wednesday, March 30, 2011

පරාක්‍රම නිරිඇල්ල එච්.ඒ පෙරේරා ගැන කතා කරයි

* බොහෝ දෙනෙක් එච්. ඒ. පෙරේරා හඳුනාගනු ලබන්නේ රංගන ශිල්පියෙක් ලෙසයි. ඔබට ඔහු ගැන වෙනස් කියැවීමක් තිබෙනවාද ?

එච්. ඒ. ටෙලි නාට්‍යය හෝ චිත්‍රපට හඹා ගිය කලාකරුවෙක් නොවෙයි. ඔහු ඒවාට සම්බන්ධ වුණේ තෝරා බේරා ගැනීමෙන් පසුවයි. හුදු ජනප්‍රියතාවය හෝ තරුවක් වීමේ බලාපොරොත්තුවක් ඔහු තුළ තිබුණේ නැහැ. ඔහු තරුවක් වූවා නම් එසේ වූයේ චරිත නිරූපණය කිරීමෙන් ලබාගත් සාර්ථකත්වය මතයි. එනිසා ඔහු දීර්ඝ කාලීන ප්‍රතිඵල අපේක්ෂාවෙන් කටයුතු කළ රංගනවේදියෙක් ලෙස හැඳින්විය හැකියි.

* ඔබ හා එච්. ඒ. අතර දීර්ඝ කාලීන කලාත්මක පරිචයක් ගොඩනැගී තිබෙනවා. එය ඇතිවූයේ කෙසේද ?

1973 දී මම ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවේ පවත්වාගෙන ගිය ශිල්ප ශාලිකාවට සම්බන්ධ වුණා. මෙම වැඩමුළුව මෙහෙය වූයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ආචාර්ය ගාමිණි හත්තොට්ටුවේගම, ධම්ම ජාගොඩ වැනි ප්‍රවීණයන් රැසක්. එච්. ඒ. මට මුණ ගැසුණේ එම ශිල්ප ශාලිකාවේදි. ඉන් පසුව අප දෙදෙනාම නැවත වරක් 80 දශකයේ මුල භාගයේ ඩග්ලස් සිරිවර්ධනගේ මූලිකත්වයෙන් සෝවියට් කේන්ද්‍රයේ පවත්වාගෙන ගිය නාට්‍යය වැඩමුළුවක් ආශ්‍රයෙන් විවෘත කලාකවය නමින් කණ්ඩායමක් ගොඩනගා ගත්තා.

සෝවියට් කේන්ද්‍රයේ පවත්වාගෙන ගිය නාට්‍ය පාඨමාලාවට එච්. ඒ. පුහුණුකරුවෙක් ලෙසත් සම්බන්ධ වුණා. එතැන් සිට අපි දිගටම නාට්‍ය කටයුතු වල යෙදුණා. මේ අතරතුරේදී අප දෙදෙනා එක්ව ‘වරෙන්තුව‘ නමින් නාට්‍යයක් නිෂ්පාදනය කළා. ඉන් පසුව අප දෙදෙනා එකතු වූයේ “ජන කරළිය” හරහායි. බහුවාර්ගික නාට්‍ය කණ්ඩායමක් ගොඩනගා ගැනීමේ අදහස අනුවයි අපි එම කණ්ඩායම ඇති කළේ. ඒ අනුව අපිට පුළුවන් වුණා එතෙක් සිංහල වේදිකා නාට්‍යය කලාව තිබුණු තැනින් ඉදිරියට යන්න.

* එච්. ඒ. නම් පරිවර්තකයා හා නාට්‍ය නිෂ්පාදකයා පිළිබඳ ඔබේ ආකල්පය කුමක්ද ?

නාට්‍ය පරිවර්තකයෙක් හැටියට එච්. ඒ. ගේ හැකියාවන් බාහිර ලෝකයා හැඳින ගත්තේ ‘වරෙන්තුව‘ නාට්‍යය හරහායි. දාරියෝ ෆෝගේ ‘ද ඇක්සිඩෙන්ටල් ඩෙත් ඔෆ් ඇනාක්‍රිස්ට්’ නාට්‍යයේ මුල් පිටපත සිංහලයට පරිවර්තනය කිරීමට චාල්ස් අබේසේකර ලබා දුන්නේ 1979 දී විතර. එච්. ඒ. ට මේ පිටපත ආශ්‍රයෙන් නාට්‍යයක් කිරීමට විශාල වුවමනාවක් තිබුණා. ඔහු හෙමින් හෙමින් නාට්‍යය පරිවර්තනය කිරීමට පටන් ගත්තා. ඔහු තුළ සැඟවී තිබුණු අනෙකුත් දක්ෂතා එළියට ගැනීමට අවශ්‍යතාවයක් මට තිබුණා. ඒ නිසා මම ඔහුට නාට්‍ය නිෂ්පාදනයට එක්වන්නැයි ඉල්ලා සිටියා. එච්.ඒ. කැමැත්තෙන් ඊට සම්බන්ධ වුණා. “වරෙන්තුව” නාට්‍යය වෙනුවෙන් ඔහුට හොඳම පරිවර්තනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, සංගීතය, රංගනය ඇතුළු සම්මාන 5 ක් හිමි වුණා.

* ඔහු මුල්වරට සංගීත අධ්‍යක්ෂවරයෙක් හැටියට මතු වන්නේත් ඔබගේ නාට්‍යය නිෂ්පාදනයක් හරහා නොවේද ?

එච්. ඒ. නාට්‍යය කිහිපයකටම සංගීත අධ්‍යක්ෂණය කිරීමෙන් සම්බන්ධ වී තිබෙනවා. ඔහුට නාට්‍ය සංගීතය පිළිබඳ පර්යේෂණාත්මක දැනුමක් තිබුණා. ඔහු ඒවා නාට්‍යය හරහා අත්හදා බැලුවා. සුසිල් ගුණරත්නගේ “නුඹ විතරක් තල එළලුයි” නාට්‍යයට ඔහු කළ සංගීත නිර්මාණය වෙනුවෙන් හොඳම නාට්‍ය සංගීතයට හිමි සම්මානය ලැබුණා. ඔහු කපිල කුමාර කාලිංගගේ “රයිනොසිරස්” නාට්‍යයටත් සංගීතය නිර්මාණය කළා. ඔහු මගේ නාට්‍යයකට මුලින්ම සංගීතය සැපයුවේ 1976 දී. එඩ්වඩ් ජයකොඩි හා සැම්සන් සිල්වා හා එක්ව ඔහු සෙක්කුව නාට්‍යය වෙනුවෙන් සංගීතය නිර්මාණය කළා. මා විසින්ම නිෂ්පාදනය කරන ලද “විනිශ්චය” නාට්‍යයේත් සංගීත අධ්‍යක්ෂවරයා එච්. ඒ. යි.

* ලාංකික වීදි නාට්‍ය කලාවේ ආරම්භක අවදියේ දී එච්. ඒ. අතින් පුරෝගාමී කාර්යයක් ඉටු වූවා නේද ?

ලයනල් වෙන්ඩ්ට් ශිල්ප ශාලිකාවේ ඇතිවූ සබඳතා මත එච්. ඒ. මෙන්ම මා ද ගාමිණි හත්තොටුවේගම මහතා සමග කිට්ටු ඇසුරක් පැවැත්වූවා. ඒ අනුව හත්තොටුවගම මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කළ විවෘත වීදි නාට්‍ය කණ්ඩායමට අප දෙදෙනාම සම්බන්ධ වුවා. පසුව අප දෙදෙනා විවෘත කලාකවය නමින් වෙනම වීදි නාට්‍යය කණ්ඩායමක් ද ආරම්භ කළා. රංග භූමිය ප්‍රොසීනියම් වේදිකාවක් නොවන බවට අප අතර පොදු එකඟතාව තිබුණා. ජනතාව නාට්‍ය සොයා ගෙන රඟහල් වෙත පැමිණීම වෙනුවට රඟහල ජනතාව සොයා යා යුතු බව එච්. ඒ. විශ්වාස කළා. ඔහු ජන කරළිය ඇති කළේ මේ අරමුණ මතයි.

* වේදිකාවේ ක්ෂේත්‍ර රැසක පැතිරුණු දක්ෂතා ඇති රංග ශිල්පියෙක් වූ එච්. ඒ. නවකයන්ට එම අත්දැකීම් නොමසුරුව ලබා දුන්නා. ඔහු හා සමීපව ගනුදෙනු කළ කලාකරුවෙක් හැටියට ඔබට ඒ ගැන කීමට ඇත්තේ කුමක්ද ?

රංගන ශිල්පීන් පුහුණු කිරීමේ කාර්යයේ දී ඔහු අති දක්ෂයෙක්. කට හඬ, ශරීරය හැසිරවීම පිළිබඳ ඔහු නවක ශිල්පීන් වෙනුවෙන් අභ්‍යාස පැවැත්වූවා. රංගනය සාර්ථක කර ගැනීම සඳහා ඉහත කරුණු භාවිතයට ගත්තේ කේසේද යන්න ඔහු තම අත්දැකීම් ආශ්‍රයෙන් නවකයන්ට මැනවින් පැහැදිලි කර දුන්නා. නාට්‍ය හා රංග කලාව අධ්‍යාපන මාධ්‍යයක් ලෙස දරුවන්ගේ කුසලතාවයට හා සාමූහික ක්‍රියාකාරීත්වයට දිරිදීම සඳහා භාවිතා කරන ආකාරය පිළිබඳව ඔහු හම්බන්තොට, ත්‍රිකුණාමලය, පුත්තලම වැනි පහසුකම් අඩු ප්‍රදේශවල ගුරුවරුන් වෙනුවෙන් වැඩමුළු පැවැත්වූවා. එලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයට පමණක් මාස 3 ක් ඇතුළත ගුරුවරුන් වෙනුවෙන් වැඩ මුළු 53ක් පවත්වා තිබෙනවා.


Copy Rights - Dinamina

0 comments:

Post a Comment