----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

බස්වල අදටත් ජනපි‍්‍රය ජෝතිගේ සින්දු

Monday, March 28, 2011

බස් රියැදුරන්ගෙන් ඇහෙන කතා

බස්වල අදටත් ජනපි‍්‍රය ජෝතිගේ සින්දු

දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
පිපි මලක් වුණා මල් නොපිපුණු තටාකෙට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට...!

(ගායනය - එච්. ආර්. ජෝතිපාල)

(පද - කරුණාරත්න අබේසේකර)

බස් රථවලින් ගමන් කරන විට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් විවිධ ගීත ශ්‍රවණය කිරීමට සිදු වීම සාමාන්‍ය සිද්ධියකි. එම ගීත තෝරා ගෙන සිය බස් රථවල ප්‍රචාරය කරන රියදුරු මහතුන් හමු වී විමසීමේදී දැනගැනීමට ලැබුණේ මෙරටේ සමහර එෆ්. එම්. ගුවන් විදුලි නාලිකා මඟින් කෙරෙන ගීත ප්‍රචාරයට වඩා විචාරශීලී ක්‍රියාවලියක් බස් රථවල ගීත ප්‍රචාරයේදී සිදු කෙරෙන බවයි. එම නිසා මෙවර “ස්වර වර්ණ” වර්ණ ගන්වන්නට අපි බස් රියදුරු මහතුන් කිහිප දෙනකු එක්කර ගනිමු.

මුලින්ම අපි කතා බහ කළේ මාර්ග අංක 2 “මාතර - කොළඹ”(NA - 6751) බස් රථයේ රියදුරු රසික ලක්මාල් සමඟින් ය. “අපි දවල් සහ රාත්‍රී ගමන් වාරවලදී අහන්න වෙන වෙනම සින්දු තෝරා ගෙන තියෙනවා. අපේ බස් එකේ වැඩිපුර අහන්නේ එච්. ආර්. ජෝතිපාලගේ සින්දුයි. ඊළඟට ගුණදාස කපුගේ ගේ සින්දුත් අහනවා. ඒ දෙන්නාගේ සින්දු ඇරුණම අසංක පි‍්‍රයමන්ත පීරිස්ගේ සින්දු ටිකකුත් අපේ ගීත එකතුවේ තියෙනවා. බාල තරුණ මහලු කාට වුණත් අහන්න පුළුවන් සින්දු අපි තෝරා ගෙන තියෙන්නේ.

රෑ ගමන් වාරවලදී නම් ප්ලෑෂ් බෑග්, සිදූවේ සකුරා සහ මාතර මෙලඩි වගේ සංගීත කණ්ඩායම්වල ගීත තමා අහන්නේ. ඔවුන්ගේ වේග රිද්මයෙන් ගයන සින්දු ඇහෙනකොට නිදිමත ගතිය නැති වෙනවා.”

මාර්ග අංක 99 “බදුල්ල - කොළඹ” (NA - 5560) බස් රථයේ රියදුරු කේ. රවී වැඩිපුර ශ්‍රවණයට තෝරා ගත් ගීත ගයන ගායන ශිල්පීන් පිළිබඳව පැවසුවේ මෙසේ ය. “මිල්ටන් මල්ලවආරච්චි, ටී. ඇම්. ජයරත්න, සුනිල් එදිරිසිංහ සහ එඩ්වඩ් ජයකොඩි ගයන ගීත තමා අපි නම් අපේ බස් රථයේ නිතරම අහන්නේ. මේ ගායකයන්ගේ ගීත ඕනෑම වයසක මගියෙකුට අහගෙන ඉන්න පුළුවන්.

අපිටත් අපේ රාජකාරිය මේ ගීත අහන ගමන් බාධාවක් නැතුව කරන්න පුළුවන්. මේ ගායකයන්ගේ ගීත අහන්න අපිත් එක්ක ගමන් කරන බොහෝ මඟීන් ද කැමැතියි. විශේෂයෙන්ම සංවර ගීත පද රචනා තියෙන නිසා හිරිකිතයක් නැතුව රස විඳින්න පුළුවන්කමක් අපි තෝරා ගෙන තියෙන ගායකයන්ගේ ගීතවල තියෙනවා.”

කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ - ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා...!

(ගායනය - මිල්ටන් මල්ලවආරච්චි)

(පද - උපාලි ධනවලවිතාන)

ඉන්පසු අප සමග කතා බහට එක් වුණේ මාර්ග අංක 92 “කුලියාපිටිය - කොළඹ” (JW - 0478) බස් රථයේ රියදුරු සරත් කුමාර යි. “අහන්න අහන්න ආසා හිතෙන ගීත ගායනා කරලා තියෙන්නේ එච්. ආර්. ජෝතිපාල. මිල්ටන් මල්ලවආරච්චි, ජේ. ඒ. මිල්ටන් පෙරේරා සහ මොහිදින් බෙග් වගේ අපේ පැරැණි ගායකයෝ විතරයි. ඉතින් ඒ ගායකයන්ගේ ගීත අහන්නේ නැතුව අපි වෙන කාගේ ගීත අහන්න ද? අපේ බස් රථයේ යන එන මඟීන් ඉල්ලන්නෙත් ජෝති අයියලා මිල්ටන් අයියලා ගායනා කළ ගීතමයි.

ඔවුන්ගේ ගීත වගේම සන්ෆ්ලවර්ලා සහ ෆ්ලෑෂ් බෑක්ලාගේ සංගීත ප්‍රසංගවල ගීතත් අපි අහනවා. වැඩිපුර නිතර අපේ බස් රථයේ යන එන මඟීන් කැමැති ගීත තමා අපි තෝරාගෙන තිබෙන්නේ. ගුවන්විදුලියෙ එෆ්. එම්. නාලිකා කොච්චර තිබුණත් ඒවාවලින් ප්‍රචාරය කරන අලුත් ගීත අහන්න හුඟ දෙනෙක් කැමැති නැහැ. ඒ නිසා අපි හොඳ ගීත තෝරා ගෙන මේ ක්‍රමයට රස විඳිනවා.”

අපේ සමීක්ෂණයට අදාළ කර ගත්තේ බස් රථවල වැඩිපුර ශ්‍රවණය කෙරෙන්නේ කුමන ගායන ශිල්පීන්ගේ ගීත ද යන වග විය. කැමරා ශිල්පි රෙක්ෂි බර්නාඩ් සමඟ මම ඊළඟට කතාබහට එක් වුණේ මාර්ග අංක 87 “වව්නියාව - කොළඹ” (JZ - 9897) බස් රථයේ රියදුරු පේ‍්‍රමලාල් ධර්මසිරි සමඟින් ය. ඔහු ගායන ශිල්පිනියන්ගේ ගීතත් තම බස් රථයේ ප්‍රචාරය කිරීමට තෝරා ගෙන තිබුණේ ය.

“සුජාතා අත්තනායක, ලතා වල්පොල අපිට ඉන්න දක්ෂ ගායිකාවෝ දෙන්නෙක්. හරිම මිහිරි කටහඬින් එයාලා ගීත ගායනා කරන්නේ. ඒ වගේ අර්ථවත් ගීත දැන් ගායක ගායිකාවෝ ගායනා කරන්නේ නැහැ. ඒ හින්දා ගුවන් විදුලි සේවා අහන්නේ ප්‍රවෘත්ති දැන ගන්න විතරයි. පැරැණි ගායක ගායිකාවන්ගේ ගීත අර්ථවත් වගේම මිහිරි තනු හින්දා ඒවා කවදාවත් එපා වෙන්නේ නැහැ කොච්චර ඇහුවත්.

ජෝතිපාලගේ කටහඬ වගේ හඬක් නම් වෙන කාටවත් බැහැ. ජෝතිපාල ගේ ගීත වගේම ධර්මදාස වල්පොල සහ මොහිදීන් බෙග් මහත්තයාලගේ ගීතත් අපේ බස් රථයේ අපි අහනවා.”

ජීවත් වනතුරු මා ඔබෙ
සෙවණ පතනවා
ආයෙත් වෙන් වෙන දවසක
නැතිය සිතනවා...!

(ගායනය - සුජාතා අත්තනායක)

(පද - පේ‍්‍රමකීර්ති ද අල්විස්)

“අපි ඉපදෙන්නත් පෙර හදපු ගීත තාමත් රස විඳින්න පුළුවන් තත්ත්වයේ තියෙන හින්දා හොඳයි. රේඩියෝ චැනල් වලින් ප්‍රචාරය කරන දැන් ඉන්න ගායක ගායිකාවෝ ගායනා කරන ගීත නම් බස්වල අහන්න පුළුවන් ගීත නෙමෙයි” යයි පවසමින් මාර්ග අංක 8 “මාතලේ - කොළඹ” (62 - 8267) බස් රථයේ රියදුරු ඩී. එල්. ජේ. දිසානායක අපේ කතා බහට එක්වූවේය.

“ජෝති අයියාගේ නම් සෑම ගීතයකටම අපි කැමැතියි. මිල්ටන් මල්ලවආරච්චි, මිල්ටන් පෙරේරා, ටී. ඇම්. ජයරත්න සහ ගුණදාස කපුගේ ගායනා කළ ගීතත් අපි ආසාවෙන් අහනවා. අපේ පැරණි ගායකයින්ගේ ගීත අසා ආස්වාදයක් ලබන්න පුළුවන් ගීත නිසා ඒවා හැමදාමත් ජනපි‍්‍රය යි. ඔවුන් ගායනා කරපු විරහා ගීතයක් වුණත් ආසාවෙන් අහන්න පුළුවන් මට්ටමක තියෙනවා.”

ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මට ද ආදරේ කියා තිබේ...!

(ගායනය - ගුණදාස කපුගේ)

(පද - සුනිල් ආර්. ගමගේ)

ඇන්ටනී ඩේවිඩ් මාර්ග අංක 240 “මීගමුව - කොළඹ” (MD - 3407) බස් රථයේ රියදුරු ය. සෑම දිනකම පාන්දර තුනට අවදි වී රාත්‍රී දොළහ පසු වී නින්දට යන ඇන්ටනී පැවසුවේ “බස් එක පදවන විට සමහර විට නිදිමත දැනෙන අවස්ථා තියෙනවා. එහෙම වෙලාවට සින්දුවක් ඇහුවාම නිදිමත නැති වෙනවා. ඒ අපේ පැත්තෙන්.

මඟීන්ගේ පැත්තෙන් බලද්දී ඔවුනුත් කැමැතියි සින්දු අහන්න. නිකම්ම ඔහේ ඉඳගෙන යනවාට වඩා ප්‍රශ්න තියෙන අවස්ථාවලදී ලොකු සහනයක් ලබා ගන්න පුළුවන් සින්දු ඇසීමෙන්. ජෝතිපාලගේ සින්දු වගේම ඇන්ජලින් ගුණතිලකගේ සින්දු අහන්න අපේ බස් එකේ යන මඟීන් බොහෝ දෙනෙක් කැමැතියි. ඒ හැරුණු විට අපේ මීගමුවේ ගායකයකු වන ෂෙල්ටන් මුතුනමගේ ගායනා කරන සින්දුත් අපි අහනවා.

ඔවුන්ගේ සින්දු කිසිදාක එපා වෙන්නේ නැහැ. ලක්හඬ, සිරස රේඩියෝවල ගීත වැඩ සටහන්වලටත් සවන් දෙනවා. කොහොම වුණත් මේ කාලේ ගායක ගායිකාවන්ගේ සින්දු අහපුවාම නම් මිනිස්සුන්ගේ මොළ නරක් වෙනවා. සංගීත භාණ්ඩවල ඝෝෂාවට මැදිවෙලා හායි හූයි ගානවා විතරයි, ඔවුන් ගායනා කරන්නේ නැහැ. සින්දුවක් ඇහුවාම රසයක් වගේම මානසික සුවයක්, සහනයක් දැනෙන්න ඕනේ. එදා සින්දු වගේ දැන් සින්දු එහෙම නැහැ.”

අප සමඟ කතාබහ කළ බොහෝ රියදුරු මහතුන්ගේ පි‍්‍රයතම ගායන ශිල්පියා එච්. ආර්. ජෝතිපාල වීම මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය. ජෝති ඇතුළු එදා පරපුරේ ගායක ගායිකාවන් ගායනා කළ ගීත ශ්‍රවණයෙන් රසයක් මෙන්ම මනසට කිසියම් හෝ සුව සහනයක් විඳින්න ඇති හැකියාව නිසා ගීත ලෝලීන් හැමදාමත් පැරැණි ගීතවලට ආකර්ෂණය වීම සිදුවන බැව් නොඅනුමානය.

සේයාරූ - රෙක්ෂි බර්නාඩ්

Copy Rights - Silumina

0 comments:

Post a Comment