----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මං ගැන කිසිම කටකතාවක් හැදිලා නැහැ

Tuesday, March 15, 2011

මං ගැන කිසිම කටකතාවක් හැදිලා නැහැ

නදිශා අලහප්පෙරුම

අපට සිටින යොවුන් රංගන ශිල්පිනියන් අතර ඇය දක්ෂතම රංගන ශිල්පිනියක් ලෙස හැඳින්වීම නිවැරැදිය. ඇයගේ නම නදීශා අලහප්පෙරුම වුවද ඇය බොහෝ දෙනකු හඳුන්වන්නේ ‘ගායනා’ ලෙසය. ඒ; මීට කලකට පෙර ස්වර්ණවාහිනියෙන් විකාශය වූ ‘ජීවිතය ලස්සනයි’ ටෙලිනාට්‍යයේ ඇය නිරූපණය කළ ‘ගායනා’ නම් යුවතියගේ චරිතය නිසාය. අද රසඳුන ‘සතුටු සාමීචිය’ වෙන් වන්නේ නදීශා සමඟ කළ කතාබහ වෙනුවෙනි.

මොනවද ඔබගේ අලුත් තොරතුරු.

මේ දිනවල රවීන්ද්‍ර විජේරත්න ගේ ‘රුවන් මාලිගා’ ටෙලි නාට්‍යයේ සහ සඳරුවන් ජයවික්‍රමගේ අලුත්ම ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඊට අමතරව ගෙදර වැඩ කටයුතු කරගෙන සැමියත් එක්ක සතුටින් ඉන්නවා.

ඔබ ක්ෂේත්‍රයට පැමිණි ආකාරය සිහිපත් කළොත්...?

පෞද්ගලික රූපවාහිනී ආයතනයක නිවේදිකාවක් ලෙස තමයි මම මුලින්ම කලා ක්ෂේත්‍රයට පැමිණියේ. එතැන මම අවුරුද්දක් විතර සේවය කළා. පසුව මම ජාතික රූපවාහිනියෙත් සේවය කළා. මගේ නිවේදන කටයුතු දුටු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන් කීප දෙනෙක්ම ටෙලි නාට්‍යවල රඟපෑමට මට ආරාධනය කළා. ඒ අනුවයි මම රඟපෑමට පිවිසුණේ.

‘ජීවිතය ලස්සනයි’ ටෙලි නාට්‍යය ඔබේ කලා ජීවිතය වෙනස් කළා නේද...?

ඇත්තෙන්ම ඔව්. මුළු රටේම ඉන්න රූපවාහිනිය නරඹන අය මාව හඳුනගන්නේ ‘ජීවිතය ලස්සනයි’ ටෙලි නාට්‍යය නිසා. එහි ගායනා නම් යුවතියගේ චරිතය නිසා. ගායනාට ගොඩක් දෙනෙක් ආදරය කළා. අදත් මඟතොටේ හමුවෙන බොහෝ දෙනෙක් මාව හඳුන්වන්නෙ ගායනා කියලා. ‘ජීවිතය ලස්සනයි’ මගෙ ජීවිතය ලස්සන කළා කීම ඉතාම නිවැරැදියි.

රංගනය පිළිබඳව හදාරන්න ඔබේ කැමැත්තක් නැත්ද?

රංගන හැකියාව උපතින්ම අරගෙන එන්න ඕන දෙයක් කියලයි මට හිතෙන්නෙ. ලංකාවෙ රංගන ශිල්පීන් ඉගෙන ගෙන රංගනයේ යෙදෙනව කියල මම හිතන්නෙ නෑ. තමන් එදිනෙදා මුහුණ දෙන අත්දැකීම් ඇසුරු කරගෙන තමයි බොහෝ දෙනෙක් තමන් නිරූපණය කරන චරිතයට ගොඩනඟා ගන්නේ. ඒකට කැපවීමක්, දක්ෂතාවයක් තියෙන්න ඕන. හැබැයි රංගනය පිළිබඳව හැදෑරීමක් කරන එක වඩාත් හොඳයි.

කොහොමද ඔබගේ විවාහ ජීවිතයේ තොරතුරු...?

මගෙ සැමියා අමිල නුවන්. ඔහු පෞද්ගලික රූපවාහිනී ආයතනයක විධායක නිෂ්පාදකවරයෙක්. අපි හරිම සතුටින් අපේ කැදැල්ලෙ ජීවත් වෙනවා. සමහර විට මේ අවුරුද්ද අවසාන වන විට අපේ කැදැල්ලට පුංචි අමුත්තෙක් එකතු වේවි. එහෙම පුංචි බලාපොරොත්තුවක් තියෙනව. මගෙ අම්මටයි තාත්තටයි හිටිය එකම දරුව මම. මීට කලකට පෙර තාත්ත නැති වුණා. දැන් අම්ම ඉන්නෙ අපිත් එක්ක.

කලා ක්ෂේත්‍රයේ දිගටම රැඳී ඉන්නවද?

මවක් වුණාම වැඩියෙන් දරුවන් ගැන සොයා බලන්න තියෙන නිසා කලා ක්ෂේත්‍රයෙන් ටිකක් ඈත් වෙන්න සිදු වේවි. නමුත් කලා කටයුතුවලින් සමුගන්න මගෙ අදහසක් නෑ.

සැමියාගෙන් ඔබේ කලා කටයුතුවලට සහයෝගයක් ලැබෙනව ද?

ඇත්තෙන්ම ඔව්. දිගටම රංගන කටයුතුවල යෙදීමට අවසර දීම තමයි මගෙ සැමියගෙන් මට ලැබුණු ලොකුම සහයෝගය. බොහෝ දෙනෙක් කැමැති නෑනෙ තමන්ගෙ බිරිඳ රඟපානවට. ඒත් අමිල මේ ක්ෂේත්‍රයේම ඉන්න කෙනෙක් විදියට එයාට හොඳ අවබෝධයක් තියෙනව මා ගැනත් මගෙ කලා කටයුතු ගැනත්. හැබැයි ඔහු නිෂ්පාදනය කරන වැඩසටහන්වලට නම් මාව සම්බන්ධ කරගන්න උත්සාහ ගන්නේ නෑ.

ඉඩ ලැබෙන වේලාවට විනෝදාංශ හැටියට ඔබ මොනවද කරන්නෙ...

පොත් කියවීම තමයි මගෙ ප්‍රධානම විනෝදාංශය. ඊට අමතරව කොම්පියුටරය සමඟ තමයි මගෙ වැඩි කාලයක් ගෙවෙන්නෙ. ඊටත් අමතරව අමිල ගෙනත් දෙන විදේශීය චිත්‍රපටත් ඉඩ ලැබෙන වේලාවට නරඹනවා.

විලාසිතා පිළිබඳව ඔබේ මතය කුමක් ද?

කාන්තාවන් විලාසිතාවලට යොමු වීමේ කිසිඳු වරදක් නෑ. ඒ; ලස්සනට ඉන්න ඕන නිසා. හැබැයි අප තෝරා ගත යුත්තේ අපේ වයසට, තරාතිරමට සහ තැනට ඔබින විලාසිතා. අපේ තියෙන ලොකුම වරද තමයි අපිට නොගැළපෙන විලාසිතා තෝරා ගැනීම. එයින් සිදුවන්නේ අප සමච්චලයට ලක්වීමක්.

කටකතාවලට ඔබ බය ද?

නැහැ. මම නම් බය නෑ. කලා ක්ෂේත්‍රයේ හෝ වෙනත් ක්ෂේත්‍රයක ජනපි‍්‍රය පුද්ගලයන්ට කට කතා හැදීම සාමාන්‍ය දෙයක්. නමුත් ඒවායින් අපි සැලෙන්න හොඳ නෑ. බොහෝ දෙනකුට හැදෙන කටකතාවලට කිසිම පදනමක් නැති බව පැහැදිලියි. හැබැයි මේ කාලය තුළ මා දන්නා තරමින් මා ගැන කිසිම කට කතාවක් හැදිල නෑ.

කලා ක්ෂේත්‍රයේ ඔබේ අනාගත බලාපොරොත්තු...?

දිගටම රංගන කටයුතුවල යෙදී ඉඳිමින් හොඳ නිර්මාණවලට දායක වීමයි මගෙ බලාපොරොත්තුව. මට මෙතෙක් කරන්න ලැබිල තියෙන්නෙ නාගරික චරිත. ගැමි යුවතියකගේ චරිතයක් නිරූපණය කිරීමේ ආශාව මට තියෙනව. ඒ වගේම මගෙ සැමියා ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවානම් ඒ සඳහා ඔහුට සහයෝගය දෙන්න කැමැතියි.

0 comments:

Post a Comment