----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

වෙනස් නමක් තියෙන අලුත් තාලයේ වැඩක්

Friday, March 18, 2011

* සුපර් සික්ස් - වෙනස් නමක් තියෙන අලුත් තාලයේ වැඩක් කියලයි හිතෙන්නේ.

ඇත්තටම වෙනස් තාලයේ අලුත් තාක්ෂණය උපරිමව යොදා ගත් චිත්‍රපටයක්. සුපර් සික්ස් කියන්නේ දැවැන්ත වානිජ චිත්‍රපටයක් කියලා හඳුන්වන්න මං කැමැතියි. මට අවශ්‍ය වෙලා තිබුණා අපේ රටේ හොඳ නිර්මාණශීලී වානිජ චිත්‍රපටයක් හදන්න. බොලිවුඩ් චිත්‍රපට සමඟ එක ළඟින් තියන්නට හැකි චිත්‍රපටයක් තමයි මගේ හීනය වුණේ.

මේ හීනය වෙනුවෙන් මං මහන්සි වුණා. අධ්‍යයනය කළා. සූදානම් වුණා. මෙවැනි චිත්‍රපටයක් කිරීමට අති දැවැන්ත මුදලක් වැය වන බවත් මා දැනගෙන උන්නා. ඒ සඳහා මට ශක්තියක් වුණේ සදේශ් කුමාර් සහ ශ්‍රීමති සදේශ් කුමාර් කියන නිෂ්පාදක යුවළයි.

මෙහි කතා සංකල්පය සදේශ් කුමාර් මහතාගේ. තිර පිටපත ලියුවෙ අනුර ඒකනායක. මේ වගේ මූලිකම කටයුතු සම්පාදනය කර ගනිමින් අපි චිත්‍රපටයේ නිර්මාණ කටයුතු ඇරැඹුවා. මට මෙම චිත්‍රපටය රූගත කිරීමට නවීනතම වර්ගයේ උපකරණ උවමනා වෙලා තිබුණා. උදාහරණයක් විදියට කිව්වොත් Arri 435 කැමරාවක් අපි චිත්‍රපටය වෙනුවෙන් ගෙන්නුවා. ඒ වගේම විෂන් 3 කොඩැක් දළ සේයාපට තමයි චිත්‍රපටය පටිගත කිරීමට යොදා ගත්තේ.

මේ චිත්‍රපටයේ රූප ගැන අපි බොහෝ සැලකිලිමත් වුණා. චිත්‍රපටය පුරාවටම ජිමි ජිබ් එක භාවිතා කළා. අංශක 360 ට්‍රැක් චිත්‍රපටය වෙනුවෙන්ම නිර්මාණය වුණා. මෙවැනි නවීනතම තාක්ෂණය පදනම් කරගෙන සුපර් සික්ස් ගමන ඇරැඹුනේ. ඇත්තටම මේ කරුණු බලද්දී සුපර් සික්ස් වෙනස් කියල මට හිතෙනවා.ඒ වගේම මේ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය කළේ මංජුල අයගම. අපි නයිට් ක්ලබ් එකක් සම්පූර්ණයෙන් හැදුවා. ඇඳුම් නිර්මාණය කළේ මයිකල් විජේසූරිය. මේ හැම දේම වෙනස්ව කරන්න අපි වග බලා ගත්තා.

* සුපර් සික්ස් කියන්නේ ක්‍රිකට් චිත්‍රපටයක්ද ?

නැහැ. කිසිසේත් නැහැ. සුපර් සික්ස් කියන්නේ ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් තැනුණු චිත්‍රපටයක් නොවෙයි. නමුත් මේ චිත්‍රපටයට ක්‍රිකට් සම්බන්ධයි.

* මෙම චිත්‍රපටයට විදේශ රටවල දර්ශන තලත් අඩංගුයි.

ඔව්. වානිජ චිත්‍රපටයකට අවශ්‍ය අති දැකුම්කළු දර්ශන තල සුපර් සික්ස් සඳහා යොදා ගත්තා. මැලේසියාව වගේ රටවල අපි වෘත්තීය මට්ටමේ චිත්‍රපට කණ්ඩායමක් විදියට ගිහිල්ලයි වැඩ කළේ. දර්ශන තලවලට විශාල ගණනක් ගෙවලා අපි ඒවා චිත්‍රපටයට ඈඳා ගත්තා. ඒ වගේම මෙතෙක් අපේ රටේ ප්‍රේක්ෂකයන් නොදුටු රමණීය දර්ශන තල රැසක් සුපර් සික්ස් තුළ ඇතුළත් වෙනවා.

* සුපර් සික්ස් තුළ සටන් ජවනිකා ඇතුළත් වෙනවා. ඒ සඳහා සුවිශේෂී චරිතයක් ද සහභාගි වෙනවා.

ඔව්. රොබෝ, ගජනි වගේ චිත්‍රපටවල සටන් අධ්‍යක්ෂණය කළ පීටර් හේග් මෙහි සටන් අධ්‍යක්ෂණය කොට තිබෙනවා. ඒ වගේම රොබෝ , ගජනි වගේ ජනප්‍රිය චිත්‍රපට සංස්කරණය කළ ඇන්තනි තමයි චිත්‍රපටය සංස්කරණය කරන්නේ.

ඒ වගේම ලෝකයේ හොඳම චිත්‍රපට වෙනුවෙන් නර්තන ඉදිරිපත් කරන නර්තන කණ්ඩායමද සුපර් සික්ස් සමඟ එක් වීම සතුටක්.

* උදාර සුපර් සික්ස් සමඟ අලුත් මුහුණු කිහිපයක් රිදී තිරයට එක් වෙනවා.

මට උවමනා වුණා අලුත් ඉතාමත් ප්‍රියමනාප දක්ෂ තරු ගුණැති කිහිප දෙනෙක් මගේ නිර්මාණයට දායක කර ගන්නට. ඒ නිසාම හේමාල් රණසිංහ මෙම නිර්මාණයට දායක කර ගත්තා. හේමාල් ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේම හිඳින හොඳම නිරූපණ ශිල්පියෙක්. අරුණි රාජපක්ෂත් එසේමයි.

පබෝදා වසර අටකට පසුව වෙනස්ම ස්වරූපයකින් චිත්‍රපටයට එක් වෙනවා. ඒ වගේම ප්‍රවීණයන් බොහෝ දෙනෙක් මේ සමඟ අත්වැල් බැඳගෙන ඉන්නවා.

* මෙම චිත්‍රපටය ඉන්දියාවේත් ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

ඉන්දියාවේ ප්‍රමුඛතම සිනමා සමාගමක් වන ඊරෝස් තමයි ඒ සඳහා අප සමඟ අත්වැල් බැඳ ගත්තේ.

ලංකාවේ ප්‍රදර්ශනයට සමගාමීව හින්දි දෙබස් කවා මෙම චිත්‍රපටය ඉන්දියාවේත් ප්‍රදර්ශනය කිරීමට සියල්ල සූදානම් කොට හමාරයි.

* මොන කාලයේද අපට සුපර් සික්ස් නරඹන්නට ලැබෙන්නේ.

ලබන අගෝස්තුවේදී චිත්‍රපටය තිරගත කරන්නට සියල්ල සූදානම් කරලයි තිබෙන්නේ. ඊට ප්‍රථමව සුපර් සික්ස් ගීත ඇල්බමය එළි දැක්වීමට නියමිතයි. ඒ ගීත ඇල්බමය දොරට වඩින උළෙලත් ඉතාම වෙනස් අයුරින් පවත්වන්නට සැලසුම් කරලයි තිබෙන්නේ.




0 comments:

Post a Comment