----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මගේ මහත්තයා හරිම නිදහස්‌ පුද්ගලයෙක්‌

Tuesday, March 15, 2011

මගේ මහත්තයා හරිම නිදහස්‌ පුද්ගලයෙක්‌
ශ්‍රියන්ත මෙන්ඩිස්‌ගේ බිරිය කුසුම් නවලිය සමඟ


ඇය කුසුම් රේණු. ඔහු ශ්‍රියන්ත මෙන්ඩිස්‌. මේ දෙන්නාම අපේ රටේ ජනප්‍රිය චරිත දෙකක්‌. ජනප්‍රිය චරිත වුණාම ඒ අය ගැන මිනිස්‌සු හොයලා බලනවා. ඒ හොයා බැලීම නිසාම හුඟාක්‌ දේවල් මිනිස්‌සු දන්නවා. ඔබ හුඟාක්‌ දේවල් දන්නා ශ්‍රියන්ත ගැන ඔබ නොදන්න දේවල් ටිකක්‌ කතා කරන්න අපි සූදානම්"

ඒ සඳහා අපි තෝරා ගන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්‌ගේ ආදරණීය බිරිඳ කුසුම් රේණුවයි. මම කලා ක්‍ෂේත්‍රයට එන්නේ වේදිකා රංගන ශිල්පිනියක ලෙසයි. ඒ දවස්‌වල මම ලක්‌ෂ්මන් ආරච්චිගේ නාට්‍යයක වැඩ කළා. අපේ කණ්‌ඩායමේ කට්‌ටිය ශ්‍රියන්තගේ වේදිකා නාට්‍යයක්‌ බලන්නට ගියා. ඒ නාට්‍යයේ නම "දෙයියන්ගේ පුංචි අක්‌කරය." එදා තමයි මම ශ්‍රියන්තව මුලින් දැක්‌කේ. මට මතක විදිහට ඒ නව රඟහලේදී. මම රංගන ශිල්පිනියෙක්‌ වුණාට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්‌ථාවේ පිළිගැනීමේ නිලධාරිනියක ලෙස සේවය කළා. ඒ කාලේ ශ්‍රියන්ත ගුරුවරයෙක්‌. මම විවාහ වෙන වයසේ සිටියේ. ඔහු ගෙනා යෝජනාවට මම කැමති වුණා. කැමති වීමට හේතුවක්‌ තිබුණා. එකක්‌ ඔහු ගුරුවරයෙක්‌. අනික කලා කරුවෙක්‌. මම කලාවේ දිගින් දිගටම නිරත නොවුණත් කලා කටයුතු ගැන කතා කරන්න. හැන්දැවට වේදිකා නාට්‍යයක්‌ බලන්න යන්න වගේ පුංචි පුංචි ආසාවල් තිබුණා. ඒවා ඉටුකරන්න හොඳම කෙනා ශ්‍රියන්ත බව මට දැනුණා හිතුණා. මට මතක විදිහට ශ්‍රියන්ත යෝජනාව ගෙනාවේ 1985 අප්‍රේල් වලදී. අපි 1986 ඔක්‌තෝබර් 25 විවාහ වුණා.

විවාහයෙන් පස්‌සේ මම

රැකියාවෙන් අස්‌වුණා. කලාවෙන් ඒ කියන්නේ රඟපෑමෙන් ඉවත් වෙන්න කියලා ශ්‍රියන්ත කිව්වා. දුකින් වුණත් මම ඒකට කැමති වුණා. හැබැයි අර පුංචි ආසාව නම් මගේ හිතේ තිබුණා. ඒකට ශ්‍රියන්තත් කැමතියි.

ශ්‍රියන්ත මෙන්ඩිස්‌ කියන්නේ එදා ජනප්‍රිය චරිතයක්‌ නොවෙයි. ඔහු තුළ තිබුණු කුසලතා නිසා ජනප්‍රිය වෙයි කියලත් දිගු ගමනක්‌ යයි කියලත් එදා මම දැනගෙන හිටියා. ඒ වගේම ශ්‍රියන්ත එයා රඟපෑ පළමු ටෙලි නාට්‍යය වූ පලිඟු මැණිකේ හි සුරසේනගේ චරිතයෙන් එක රැයින් ජනප්‍රිය වුණා. ඒ ජනප්‍රියත්වය අදත් ඔහුට තියෙනවා. එයාගේ බිරිඳ විදිහට ඒ ගැන මට තියෙන්නේ නිහතමානි ආඩම්බරයක්‌. මොකද ජනප්‍රියත්වය රැකගැනීම ලෙහෙසි නැහැ. ඒත් ශ්‍රියන්ත ගැන මම මුලින් හිතාගෙන හිටිය දේවල් වෙනස්‌ වුණා. ඔහු ජනප්‍රිය වුණ නිසා වැඩ වැඩි වුණා. ගුරුවරයකු ලෙසත් ඔහු සේවය කරන නිසා ඒ කාර්ය බහුලත්වය ඉහළ ගියා. මම ගෙදර. ඔය අතරේ මට ලොකු දුව ලැබුණා. එයා දුවෙක්‌ වුණත් පුතෙක්‌ වුණත් අපේ දරුවා කියන තැන හිටියේ. දරුවට නම දැම්මේ ශ්‍රියන්ත. නිපුනි ප්‍රේක්‌ෂිකා කියලා. දුව ලැබුණු ඒ කාලේ අපේ රටේ කලබල තිබුණා.

ඔය අතරේ ශ්‍රියන්ත වේදිකා නාට්‍යයක්‌ හැදුවා. එහි රංගන ශිල්පිනියට එක දවසක්‌ එන්න බැරිවුණා. ඒ අඩුව පුරවන්න තමයි මම යළිත් රංගනයට එකතු වුණේ. ඒ ඊට පස්‌සේ මහාචාර්ය සරත්චන්ද්‍රයන් ගේ නාට්‍යය වලට සම්බන්ධ වුණා. ඒ සඳහා ශ්‍රියන්ත අවසර දුන්නා. නිතර නිතර ශ්‍රියන්තට පිටරට යන්න වුණා. රංගන ශිල්පියෙක්‌ නිසා. දෙවැනි දුව ලැබෙන කොට එය සවුදිවල. දෙවැනියාට නම දැම්මෙත් එයා. මායාවක්‌ නොවුණ තරුව. තේරුම ඇති තාරුකි ඕමායා.

හැබැයි එයා දරුවෝ දෙන්නට සලකන්නේ දෙවිදිහකට. වේලාවකට මට දුකත් හිතෙනවා. ලොකු දුවට සලකන්නේ පුතෙක්‌ විදිහට. දෙවැනියා දුවෙක්‌ විදිහටයි. ඒකට හේතුව ඒ ළමයි ශ්‍රියන්ත හමුවේ හැසිරෙන විදිහ. ලොකු දුව හරි අපි කරමු. ඒක තමයි හරි කියලා ඉක්‌මන් වෙනවා. දෙවැනියා එපා. එහෙම නෙවෙයි මෙහෙම කරමු. තව ටිකක්‌ හිතමු. කියලා නිවිසැනසිල්ලේ වැඩ කරන්නෙ.

ශ්‍රියන්ත දැන් හුඟාක්‌ නිවුණු කෙනෙක්‌. ඒ දවස්‌වල නම් ආවේග කාරියි. දඩබ්බරයි. ඒත් ඒ කේන්තියාමත් ටක්‌ගාලා නිවෙනවා. ශ්‍රියන්ත බොහෝම පුංචි තැනකින් ජීවිතය පටන් ගත්තේ. ඔහුට අතීතය අමතක නැහැ. මං ඒකට කැමතියි. විශේෂ යාළුවෝ කියලා නැහැ. මං හිතන්නේ එයත් එක්‌ක ඉස්‌සර ළඟින් හිටපු අයත් ශ්‍රියන්තවගේම දැන් කාර්ය බහුලයි. කමල් අද්දරආරච්චි ජැක්‌සන් ඇන්තනි, ජයන්ත චන්ද්‍රසිරි තමයි එයාගේ යාළුවෝ.

කාලකාරයෝ වුණාම. මත්පැන් බොනවා සමහරු එහෙම හිතනවා. නමුත් ශ්‍රියන්ත එහෙම නැහැ. ඒකත් මට ලොකු සතුටක්‌. මං හිතන්නේ යාළුවෝ අඩුත් එයාට ඒ නිසා.

පවුලට එයා මුල්තැන දෙනවා. ලැබෙන පුංචිම කාලය හරි දරුවොත් එක්‌ක ඉන්නයි උත්සාහ කරන්නේ. දරුවෝ දෙන්නට යාළුවෙක්‌ වගේ.

මම මුලින් කිව්වනේ ශ්‍රියන්තට යාළුවෝ නැහැ සමීපයි කියලා කියන්න. මම තමයි එයාගේ හොඳම යාළුවා. සමහර විට හිටපු ගමන්. මට මචං කියලත් කතා කරනවා.

අපේ ගෙදර වැඩවලට උදව්වට කෙනෙක්‌ ඉන්නවා. ඒත් ගෙදර ඉන්න දවසක නම් ශ්‍රියන්ත උදෙන් නැගිට්‌ටොත් එයා අපිටත් එක්‌ක තේ හදනවා. රසට තේ හදන්න පුළුවන්. ඒ වගේම තමයි අත්හදා බැලීම් කරලා රසට සලාද හදන්නත් පුළුවන්. විශේෂ දවසකට ශ්‍රියන්ත තමයි සලාද හදනනේ අපේ ගෙදර.

එයා හුඟාක්‌ ආසයි නිසංසලව ඉන්න. ඒ නිසා නිවාඩු තිබුණොත් අපි සියලුම දෙනා එක්‌ක එහෙම තැන්වලට යනවා. සිංදු අහන්නත් හරිම ආසයි.

ජීවිතේ හරිම සැළසුම් සහගතයි. ඒ එයා ගුරුවරයෙක්‌ නිසා වෙන්න ඇති. එයා කතෝලික. මම බෞද්ධ. අපේ ගෙදර බුදු පහන දැල්වීමත් යාඥ කිරීමත් කරනවා. ශ්‍රියන්ත උදේට ගෙදරින් යන්නේ බුදුපහන දල්වලා. කීයට ගෙදර ආවත් ඔහු දවස මෙනෙහි කරලා යාඥd කරනවා.

පංගු පේරුවක්‌ ඔහු තුළ නැහැ. ඒ නිසා අපේ ගෙදර වැඩ බෙදාගෙන නැහැ. කරන්න තියෙන දේ අපි දෙන්නාගෙන් කවුරු හරි කරනවා හැබැයි. ශ්‍රියන්ත මුදල් ගැන හිතනවා මදියි කියලා මට හිතෙනවා.

ශ්‍රියන්ත නිතරම කියන්නේ අනුන්ට කරදරයක්‌ නොවුණ තරමට තමන්ගේ හිත නිදහස්‌ කියලා. ඇත්තටම ඔහු නිදහස්‌ පුද්ගලයෙක්‌.


සුගත් ශාන්ත මොරගහකුඹුර
පිංතූර - සමන් අබේසිරිවර්ධන

Copy Rights - Nawaliya

0 comments:

Post a Comment