----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

‘බොලිවුඩ් දඩබ්බරයා’ ගුවනින් පනී

Monday, March 7, 2011

බොලිවුඩ් දඩබ්බරයා’ ගුවනින් පනී

‘බොලිවුඩ්පුරයේ දඩබ්බරයා’ හැටියට සමහරු හඳුන්වන සුපිරි නළු සල්මන් ඛාන් දෙස පසුගිය සතියේ ඔහුගේ රසික රසිකාවියන් වඩාත් අවධානය යොමු කළා. එයට හේතු කිහිපයක් ම තිබුණා. ඒ අතරින් වඩාත් අවධානයට ලක් වුණේ ඔහු රඟපෑ රූපවාහිනී වෙළෙඳ දැන්වීමක්. මේ වෙළෙඳ දැන්වීම නිර්මාණය කර තිබුණේ ප්‍රසිද්ධ සිසිල් බීම වර්ගයක් වෙනුවෙන්.

සල්මන් මෙහි සුළු පටු රංගනයක් නොවෙයි, ඉදිරිපත් කළේ. ඔහු පැරෂුටයක ආධාරයෙන් අඩි 10,000 ක උසකින් බිමට පැන්නා. එය කාගේත් ලොමු දැහැගන්වන රංගනයක් වූ බව නොලියාම බැහැ.

“හැමෝම සල්මන්ගේ රඟපෑම ගැන බය වුණා. සමහරු හිතුවේ සල්මන්ගේ ජීවිතයට අනතුරක් වේවිය කියලයි. ඒත් එයා බය නැතුව ඒ රඟපෑම කළා. රූපගත කිරීමට එක්වූ ශිල්පියෙකු එලෙස සඳහන් කළා.

“හුඟ දෙනෙක් මගේ මේ රඟපෑමට බයවුණා. ඒත් මම හොඳ විශ්වාසයකින් මේ වැඩේ කළ නිසා ඒක සාර්ථක වුණා. මෙතනදි බය නැතිකමයි, උත්සාහයයි තියෙන්නත් ඕනෙ.” රූපගත කිරීමෙන් පසුව සල්මන් කියා සිටියා. මේ රඟපෑම වෙනුවෙන් ආදේශක නළුවෙකු යොදා ගැනීමට වෙළෙඳ දැන්වීම නිර්මාණය කළ අධ්‍යක්ෂවරයා යෝජනා කර තිබුණා.

නමුත්, එම ආදේශක (ස්ටන්ට්) නළුවා තම රංගනය හරි හැටියට ඉදිරිපත් නොකරාවි යැයි සල්මන් සැක පහළ කළා. ‘ස්ටන්ට් නළුවා අහසේ ඉඳල පැරෂුට් එකෙන් එන දර්ශනය හරියටම කරාවිද කියල මට සැක හිතුණා. ඒ නිසයි මට ම ඉදිරිපත් වෙලා ඒ අවදානම් සහගත දර්ශනයේ රඟපෑවේ. සල්මන් ලොකු ආඩම්බරයකින් එලෙස ප්‍රකාශ කළා.

මෙම වෙළෙඳ දැන්වීම නිර්මාණය වූයේ ලෝක ප්‍රසිද්ධ සිසිල් බීම වෙළෙඳ සමාගමක ඉන්දීය ශාඛාවයි. එහි අලෙවි අධ්‍යක්ෂවරියක වන කල්පනා ටයිටස් පැවසුවේ මෙම දැන්වීමට විශාල මුදලක් වැය වූ බවයි.

සල්මන් මෙම සිසිල් බීම වර්ගය වෙනුවෙන් ලාංඡන නියෝජිතවරයා ලෙස පෙනී සිටිනවා. ඔහු වැනි රංගන ශිල්පියෙකු මෙවැනි අවදානම් සහගත රංගනයක් නිරූපණය කළ මුල් ම අවස්ථාව මෙය හැටියටයි බොහෝ දෙනා සලකන්නේ.

සල්මන් වැනි තරුවක් මෙවැනි සිසිල් බීම දැන්වීමකට යොදා ගන්නට තීරණය කළේ ඇයි දැයි කල්පනා ටයිටස් මෙලෙස පහදා දුන්නා... “බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවන් අතරින් සල්මන්ව තෝරා ගත්තේ එයාව ප්‍රිය කරන රසික රසිකාවියන් විශාල පිරිසක් ඉන්න බව අපි දන්නා නිසයි. නගරවල විතරක් නෙමෙයි. ඈත ගම්වල පවා සල්මන් ගේ රසික පිරිස් ඉන්නවා. අපි මුලින් ම තීරණය කළේත් සල්මන්ව මේ වෙළෙඳ දැන්වීමට යොදා ගන්නයි.”

ඇය මේ දැන්වීම රූපගත කළ ආකාරය පිළිබඳ විස්තරයක් ද පැවසුවා. “මේ දැන්වීම රූපගත කළේ නවසීලන්තයේ යි. දර්ශන රූපගත කරපු පරිසරය හරිම ලස්සනයි. ඒක කඳුකර පළාතක් . රූපගත කරන්න එකතු වුණේ ඒ ගැන හොඳ පළපුරුද්දක් තියෙන අන්තර්ජාතික ශිල්පීන් පිරිසක්. මේ රූපගත කිරීමෙන් පසුව සල්මන් තවත් අපූර්වතම රංගනයකට එකතු වුණා. එය ද අවදානම් රඟපෑමක්.

ත්‍රිරෝද රථ රියැදුරෙකු හැටියටයි සල්මන් රඟපෑවේ. ඒ, චිත්‍රපටයක් වෙනුවෙන්. රූපගත කිරීම සිදුවුණේ තායිලන්තයේ පතායා නගරයේදී යි. මෙය, සල්මන් ගේ සිනමා ජීවිතයට එක් වූ අලුත් ම අත්දැකීමක්. සල්මන්, ත්‍රිරෝද රථ රියැදුරෙකු ලෙස රඟපෑවේ අනිස් බාස්මී අධක්ෂණය කරන ‘රෙඩි’ චිත්‍රපටයේයි.

“ත්‍රීවීලර් එකක් පදවාගෙන යන්න සල්මන්ට ලොකු ආසාවක් තිබුණා. ඒ නිසයි, එයා ත්‍රීවීලර් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට රඟපාන්න අධ්‍යක්ෂවරයාව කැමැති කරවා ගත්තේ. මේ දර්ශනවලදී සටන් ජවනිකා නිරූපණය කරන්න සල්මන්ට සිද්ධ වුණා. මීට කලින් කිසිම බොලිවුඩ් නළුවෙක් මේ වගේ රඟපෑමක් ඉදිරිපත් කරලා තිබුණෙ නැහැ. මේවා අතිශය භයානක සටන් ජවනිකා.

ඒ නිසා මේ දර්ශන ප්‍රේක්ෂකයන්ගේ හිත්වලින් කාලෙකට ඈත් නොවී තියේවි. ‘රෙඩි’ චිත්‍රපටය නිෂ්පාදනය කළ ‘ටී සීරීස්’ සමාගමේ ප්‍රකාශකයෙකු පැවසුවා.

ඔහු පැවසූ ලෙස මේ දර්ශන අතිශය බියකරු වන්නේ ඇයි? සල්මන් ත්‍රිරෝද රථයක් පදවාගෙන යද්දී එක් මොහොතකදී ඔහු ධාවනය වෙමින් තිබෙන ත්‍රිරෝද රථයකට පැන එහි රියැදුරාට පහර දෙන දර්ශනයක් ද ඇතුළත් වන නිසයි. එය, ප්‍රේක්ෂකයන් සන්ත්‍රාසයට පත් කරවන දර්ශනයක් බවයි චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් පවසන්නේ. මේ චිත්‍රපටය ජූනි 6 වැනිදා තිරගත කිරීම ආරම්භ කිරීමට නියමිත යි.

පසුගිය සතියේ සල්මන් බොහෝ දෙනෙකු ගේ අවධානය ලක් වූ තවත් සිදුවීමක් තිබුණා. ඒ ඔහුට චින්කාරා මුවන් දඩයම් කිරීමේ චෝදනාවට ලක්වීමෙන් පසුව පනවා තිබූ තහනමක් ඉවත් වීමයි. සල්මන්, 1998 දී චිත්‍රපට රූපගත කිරීමකට එක්වී සිටියදී දුර්ලභ චින්කාරා මුවන් දඩයම් කිරීමේ වරදට චූදිතයෙකු වී සිටින බව ප්‍රකට කාරණයක්. මේ වෙනුවෙන් වන නඩු විභාගය තවමත් පැවැත්වෙනවා.

නඩුව විභාග කර නිමවනතුරු සල්මන්ට උසාවියේ අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කර තිබුණා. පසුගිය සතියේ මෙම නඩුව නැවතත් විභාගයට ගත් රාජස්ථාන් මහාධිකරණය සල්මන්ට පනවා තිබූ මේ තහනම ඉවත් කළා. දැන් ඔහුට කිසිවෙකුගේ අවසරයකින් තොරව විදේශගත වී තමන් ගේ වැඩකටයුතු නිම කර නැවත මව් රටට එන්නට නිදහස ලැබී තිබෙනවා.

0 comments:

Post a Comment