----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

නිල්මිණී තෙන්නකෝන් ගේ ජීවිතය අලුත් වෙලා

Monday, March 28, 2011

නිල්මිණී තෙන්නකෝන් ගේ ජීවිතය අලුත් වෙලා

‘මං හරිම ශක්තිමත් ගැහැනියක්. ඒ ශක්තිය මට ලැබුණෙ මගේ අම්මාගෙන්. මගේ අම්මට ප්‍රශ්න තිබුණෙ නැහැ. ඒත් තාත්තා නැති වුණාට පස්සෙ අපිව හදාගන්න අම්මා ජීවිතේට මුහුණ දුන්නෙ ඉතාමත් ශක්තිමත් ගැහැනියක් විදිහට. ඒ වගේ මගෙත් හිත හයියයි. මං හරිම සංවේදියි. ඒත් යටි හිත හයිය නිසා හැමදේම දරා ගන්න මට පුළුවන්.’

මා සමඟ මේ කතා කරන්නේ නිල්මිණී තෙන්නකෝන් නම් වූ සාමාන්‍ය ගැහැනිය මිස ජනප්‍රිය නිළිය නම් නොවන වග මට හැඟෙයි. ඒ හඬ තුළ යම් පසුතැවීමක්, ලතැවිල්ලක් ඇතැයි මට සිතේ.

‘ප්‍රශ්න වුණා තමයි, ඒත් ඒවා ඉවරයි. ඒ සිදු වුණ සමහර දේවල්වලින් මට අසාධාරණයක් වෙන්නත් ඇති. එහෙම වුණා කියලා මට ප්‍රශ්න ඇති කරපු, ප්‍රශ්න ඇති කරන අය පසුපස දිව්වොත් නාස්ති වෙන්නෙ මගේ කාලය.

අද මම හොඳ ස්ථාවරයක ඉන්නේ අනිසි දේ වෙනුවෙන් මගේ කාලය නාස්ති නොකළ නිසා. මම නිළියක් විදිහට වගේම මවක් විදිහටත් සාර්ථකයි. ඇත්තටම මට මං ගැන ආඩම්බරයි. මට කළ හැකි දේ එක්ක ඉස්සරහට යන කෙනෙක් මං.’

‘නිල්මිණී තෙන්නකෝන් බියුටි සැලෝන්’ ඒ කළ හැකි දෙයෙහි උපරිමයයි.

නුගේගොඩ හයිලෙවල් පාරේ මගේ සැලෝන් එක පටන් අරන් මාස 5 ක් විතර වෙනවා. ව්‍යාපාරයක් හැටියට ඉතාම හොඳයි. මම සම පිළිබඳව හොඳින් ඉගෙන ගත්ත කෙනෙක්. ඒ හැදෑරීමෙන් මං ලබපු දේ අනිත් අයටත් මං ලබා දෙනවා. ඒ වගේම මනාලියන් හැඩ ගැන්වීම ඇතුලු සියලුම රූපලාවන්‍ය සත්කාර මම ලෝබ නැතුව හරි විදිහට කරනවා. මං කැමතියි හැමෝම ලස්සනට ඉන්නවා දකින්න.

නිල්මිණීගේ හඬ තුළ ඇත්තේ සාර්ථක ව්‍යාපාරිකාවකගේ සතුටයි. ඈ තුළ සිටින රංගනවේදිනිය යටපත් වී යාවිදෝ යන සැකය මගේ සිතට නැගුණේ ඒ අදිටන පිරි ඇගේ හඬ සමඟයි.

දැන් මගේ සම්පූර්ණ කාලය කැප කරලා තියෙන්නෙ මගේ මේ ව්‍යාපාරය වෙනුවෙන්. හොඳ චරිතයක් ලැබුණොත් මං රඟපානවා. ඒත් වැඩි කාලය ව්‍යාපාරයට.

ඒ වගේම නිල්මිණි රූපවාහිනී නිවේදිකාවක්.

මං දෙරණ නාලිකාවෙ ඉදිරිපත් කරන ‘සිත් ගිමන් හල’ වැඩසටහන තුළ මං සෑහීමකට පත් වෙනවා. මීට කලින් මං රූපවාහිනී වැඩ සටහන් කරලත් තියෙනවා. ‘සිත් ගිමන් හල’ වැඩසටහන වෙනුවෙන් මට විශාල ප්‍රතිචාර ලැබෙනවා.

මමත් මගේ ජීවිතයේ විවිධ හැල හැප්පීම්වලට මුහුණ දීලා තියෙනවා. ඒ නිසාම මට තව කෙනෙක්ගෙ ජීවිතයකට මගේ අත්දැකීම් අනුව උපදෙස් දෙන්න පුළුවන්. මේකට ලැබෙන ප්‍රතිචාර ඉල්ලීම් නිසාම අදාල වෛද්‍යවරුන් සමඟ එකතු වෙලා නොමිලේ උපදේශන සේවාවක් ආරම්භ කරන්න ඉන්නෙ. ඒක සමාජ සේවයක් නිසා මං කැමතියි.’

අපේ කතාබහ අතරතුර නිල්මිණීගේ දියණිය පාසල නිම වී පැමිණියා. ඈ තුළින් දිස් වන්නේ හුරුබුහුටි බව මෙන්ම අහිංසකත්වයයි. එනිසාම නිල්මිණීගේ හද පිරී පිටාර ගලන මව් සෙනෙහස ගැන ද කතා කළ යුතුමය.

‘අම්මා කෙනෙක් විදිහට මං විශාල චරිතයක් කියලා හිතෙනවා. මගේ කුසට දරුවා ආව මොහොතෙ ඉඳලා මේ ලෝකෙට බිහි කරලා මං දුව වෙනුවෙන් කළ කැපවීම් ගැන උදම් අනන්න මට ඕන නැහැ. මොකද අම්මා කෙනෙක් විදිහට ඒක මගෙන් විය යුතු දේ කියලා මම දන්න නිසා.

මම අතිශයින්ම ජනප්‍රිය වෙලා හිටපු කාලෙයි මම විවාහ වුණේ. ඊට පස්සෙ දුව ලැබෙන්න ඉන්න කොට මම රඟපෑමෙන් අයින් වුණා. ඒත් ආයෙම රඟපාන්න ආවෙ දරුවා ජීවත් කරවන්න ඕන නිසා වගේම ගේ හදාගන්නත් ඕන නිසා. මගේ දුවට හොඳ අධ්‍යාපනයක් දීලා සමාජශීලී දරුවෙක් විදිහට එයා ඉදිරියට යනවට මම කැමතියි. මගේ ජීවිතයෙ මම ගත්ත හැම තීරණයක්ම ගත්තෙ මගේ දුව වෙනුවෙන්. මවක් හැටියට මම ඇය වෙනුවෙන් කැපවීමෙන් ඉන්නවා.

නිල්මිණී තම ජීවිතය තුළ ගත් සියලු තීරණ එකසේ සාර්ථක නොවුණි. ජීවිතයට පොදු ධර්මතාවය ද එයයි.

මගේ ජීවිතේ සිද්ධ වුණ කිසිම දෙයක් ගැන මං පසුතැවිලි වෙන්නෙ නැහැ. මං මගේ හිතුවක්කාරකමට ගත්ත මෝඩ තීරණ ගැන පසුතැවිලා ආපහු මට ලැබෙන දෙයක් නැහැ. මේ හැමදේම සිද්ධ වෙන්නෙ සංසාරෙ පතාගෙන ආව විදිහට. සිද්ධ වෙච්ච කිසි දෙයක් ගැන මම දුක් වෙන්නෙ නැහැ.

ඒ කියන්නෙ අවංකවමද? හරස් පැනය මගෙනි.

අවංකවමයි මම කිව්වෙ. ඒත් ගෙවිලා ගිය ඒ කාලෙ හරි අපරාදෙ කියලා මට හිතෙනවා. යම් යම් අයගෙ හිත් සතුටු කරන්න කලාවෙන් මම අයින් වෙලා හිටියා. එහෙම නොවුණා නම් මීට වඩා මගේ හොඳ නිර්මාණ දකින්න තිබුණා. ඒකට යම් බලවේගයක් බලපෑවා කියලා මට හිතෙනවා.

නිල්මිණීගේ හඬ තුළ මට ව්‍යාජ බවක් නොහැඟිණ. ඇය මවක විදිහට කරන්නා වූ මේ සියලු කැප කිරීම් නිසාම ස්වේතාට දැනෙන්නේ සිය මවගේ කුසින් බිහිවීම මහා වාසනාවක් ලෙසයි.

දුවට වයස අවුරුදු 9 ක් වුණාට, ඇත්ත සහ බොරුව හොඳින් එයාට තේරෙනවා. මගේ දුව හරි අහිංසකයි. අම්මා මහන්සි වෙනවා දකින්න වගේම අම්මගෙ කඳුළු දකින්නත් එයා කැමති නැහැ. මගේ දූ දන්නවා එයාගෙ අම්මා කැප කිරීම් කරන්නේ එයා වෙනුවෙන් කියලා. ඒ නිසාම දවසක එයා මාව හොඳින් බලා ගන්නවා කියලා මම දන්නවා.

තම දියණියගේ වචන ඇයට ශක්තියක් බව නිල්මිණීගේ හැගුම්බර හඬින් මට වැටහුණි. නිල්මිණීගේ ශක්තිය ස්වේතා තුළින් දකින අනාගතය මතින් ගොඩ නැඟෙන්නකි.

0 comments:

Post a Comment