----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඔව්! වේදිකාව පොහොසත්

Wednesday, March 30, 2011

සුගියදා අවසන් වූ 2010 ජාතික නාට්‍ය උළෙල, නාට්‍ය උත්සව ඉතිහාසයේ නවාංග රැසක් හඳුන්වාදුන් නාට්‍ය උළෙලකි. තවමත් වේදිකාව හා ගැටෙන නාට්‍ය අධ්‍යක්‍ෂකවරයෙක් හා රංගන ශිල්පියෙක් නාට්‍ය අනුමණ්ඩලයේ සභාපතිත්වයට පත්වීම මෑතකදී ඇති කළ වෙනස්කම් කෙරෙහි බලපෑ බව ශි‍්‍රයන්ත මෙන්ඩිස් මහතා දක්වන අදහස් අනුව පෙනීයයි. නාට්‍ය කලාවේ අභිවෘද්ධිය සඳහා ඉදිරියේදී ඇති කිරීමට අදහස් කරන ක්‍රියාමාර්ග පිළිබඳ හා වත්මන් අභියෝග පිළිබඳ ඔහු “රඟසොබා” හා දැක්වූ අදහස් ආශ්‍රයෙන් පහත ලිපිය සකස් කෙරිණි.

රදාකාශයට පිපෙන්නට වෙරදරන නැවුම් තාරකා ඉඟි කරන හෝරාව එළිපත්තේ සිට මෙම ආදරණීය සටහන තබන්නේ ඉමහත් සතුටකින්! එලඹෙනවා නියතයි, මම කීවා පෙරදිනක කරලියේ වසන්තය. නියතවම මගේ බස මුසාවක් නොවේ. ඒ වසන්තය පෙරඹරින් උදාවන බව සක්සුදක් සේ පැහැදිළියි. විවිධ හැලහැප්පීම් මතින් දශක ගණනාවක් ගමන් කළ සමාජය අද වන විට නිසල නිල් දිය විලක වේශය ලබා තිබෙනවා. කොළ හැලූ ගස් අතු ඉතිලා අලුතින් මල්ඵල නඟන කාලයයි මේ. වසන්තයේ පිපුණු සියලු මල් සිවිල් යුද්ධය සහ සිත් පිත් නැති වානිජ ආර්ථිකය ඩැහැගෙන ගියත් වසන්තය ගෙනයන්න කාටවත් බැහැ. අලුතින් හිතන අලුත් පරිකල්පනයන්ට හෙට දවස සූදානම්. නූතන සමාජ ප්‍රවාහය තියුණු ලෙස ග්‍රහණය කර ගන්නා නාට්‍යකරුවන් වෙනුවෙන් ඒ දිනය පෙරමඟ බලනු ඇත.

වානිජවාදී සමාජ සාරධර්මයන්ට කොටු නොවී විශ්ව ගම්මානයේ විශ්ව නාට්‍යකරුවන් ඇසුරු කරමින් විවෘත සමාජ සංඝටනයන් ඬර්භීතව විච්ඡේදනීය කිරීමට අපේ පරපුරට සංවේදීව අවි දැරීමට කාලයයි මේ. විවිධ මතවාදවල එල්බ ගනිමින් වේදිකාවේ අර්බුද ගැන තවත් කථා කරමින් කාලය කා දැමිය යුතු නැහැ. පසුගියදා 2009 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය වූ රාජිත දිසානායක නාට්‍යකරුවාගේ “ආපසු හැරෙන්න බෑ” වේදිකා නාට්‍යය කණ්ඩායම 22 වෙනි ජාත්‍යන්තර පරීක්‍ෂණාත්මක කයිරෝ නාට්‍ය උළෙල නියෝජනය කළා. නොඅනුමානවම ඔවුන් එයින් අලුත් අත්දැකීම් ලබන්නට ඇති. අප ජාතික නාට්‍ය අනුමණ්ඩලය හැටියට උත්සාහ කරන්නේ මෙවන් අවස්ථා තව තවත් වැඩිදියුණු කර ගැනීමටයි.

ප්‍රවීණ මෙන්ම අංකුර නාට්‍යකරුවන් නව නාට්‍ය නිර්මාණ රැසක් බිහිකිරීමට ගන්නා උත්සාහ පිළිබඳව කනින් කොනින් අසන්නට ලැබෙනවා. ඔවුන් අතර ජයලත් මනෝරත්න, බන්දුල විතානගේ, රාජිත දිසානායක, ධර්මපි‍්‍රය ඩයස්, සුජීව පි‍්‍රයලාල්, සරත් කුලංග, අජිත් මෙන්ඩිස් සහ මෙම ලියුම්කරු ද ඒ අතර සිටිනවා. ඇත්තටම මෙය කරලියට ඉතා සුබදායක පණිවුඩයක්. ප්‍රශස්ථ කලාවක් සඳහා සියලු ආර්ථික දුක් වේදනා සියල්ල සමනය නොවූවත් ඔවුන් ඔවුන්ගේ අභියෝග ජය ගනු ඇත. කරළිය හැර ගිය සහෘද ප්‍රේක්‍ෂකයා යළි අසුන්ගත කරනු ඇත.

නාට්‍යකරුවන් ඉදිරියේ ප්‍රශ්න පැන නැඟුණේ අද ඊයේ නොවේ. ලාංකික කරළිය මේ තාක් දුර පැමිණියේ දහසකුත් එකක් කරදර මධ්‍යයේයි. විමල් දිසානායකයන්ගේ “ජෝන් ද සිල්වා සහ සිංහල නාට්‍ය” කෘතියේ මෙසේ සඳහන් කරනවා. “නාට්‍යකරුවෙකු වශයෙන් ජෝන් ද සිල්වාට නොයෙක් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවිය. ඔහුගේ නාට්‍ය ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට ඊර්ෂ්‍යාවෙන් මඩින බොහෝ දෙනා මාන බැලූහ. ඇතැම් විට සිය නාට්‍ය කණ්ඩායමට අයත් කලාකරුවෝ අන් අය පැහැර ගන්නා ලැබූහ. නූර්ති යුගයේ පටන් නාට්‍ය කලාවේ පැවැත්මට බොහෝ බාධක එල්ල වූ බව මෙයින් පැහැදිලි වේ.

1956 වර්ෂයේ “මනමේ” බිහිවීම සිංහල නාට්‍ය කලාවේ තීරණාත්මක යුගයක ආරම්භය බව අප කවුරුත් පිළිගන්නා කරුණක්. මේ නිසා විවිධ කල්ලි ඇතිවුණා. ආකෘතිය සහ අන්තර්ගතය ගැන සංවාද ඇතිවුණා. සුගතපාල ද සිල්වාගේ “බෝඩිංකාරයෝ” එහි ප්‍රතිඵලයක් හැටියටයි මා දකින්නේ. නමුත් එම ගැටුමේ නියම ප්‍රතිඵලය වූයේ 1961 දී ශෛලීගත නාට්‍ය සම්ප්‍රදායේ විශිෂ්ටතම නාට්‍ය ලෙස “සිංහබාහු” බිහිවීමයි. නාට්‍ය මතවාද අතරින් නාට්‍ය තුළින්ම ගැටුම අත්‍යාවශ්‍යයි. නාට්‍ය කියන්නේ ගැටුමටම තමයි. ජෝර්ජ් බර්නාඩ් ෂෝ ප්‍රකාශ කළ පරිදි “හැම නාට්‍යයකම ඝට්ටනයක් විද්‍යමාන විය යුතුයි. එය අවසානයේ සමඟි සන්ධානයක් හෝ විලෝපයක් විය හැකියි! එහෙම ඝට්ටනය අත්‍යවශ්‍යය. ඝට්ටනය නැති තැන නාට්‍යයක් ද නැත.”

මට දැනෙනවා පසුගිය කාලවල සමහර අංකුර නාට්‍යකරුවන් තෝරාගත් වස්තු විෂයන් අපගේ සමාජයට පිටස්තර හා ආගන්තුක වූ බව. ලිංගික ප්‍රශ්න නාට්‍යමය ලක්‍ෂණයන්ගෙන් පරිබාහිරව කළ සාකච්ඡාවට නිවැරදි මාර්ගයක් නොලැබුණු බව මාගේ මතයයි. එය සමහර ප්‍රේක්‍ෂකාගාර කරළිය කළකිරවීමට පවා හේතු වුණා. නාට්‍ය කලාව තුළ ශක්තිමත් මූල්‍යමය පදනමක් තිබිය යුතු බව අප තේරුම් ගත්තේ මීට දශක ගණනාවකටම පෙර සිටයි. එවකට බලයේ සිටි රජයන්ට අප මැසිවිලි නැගුවත් එය ක්‍රියාත්මක නොවූයේ අපගේ අවාසනාවට විය හැකියි. නමුත් මෙවර නාට්‍ය තරගකරුවන්ගේ මූල්‍යමය ත්‍යාගයන් ශක්තිමත් කිරීමට අප ගත් උත්සාහය සාර්ථක වූයේ දැවැන්ත කාර්යයක ප්‍රතිඵලයක් ලෙසයි.

වෙනත් වර්ධනය කරන ලද මූල්‍යමය ත්‍යාගවල වටිනාකම මෙසේ සටහන් කිරීමට සිත් වූයේ නාට්‍ය කලාවට අර්ථිපතීන් තව තවත් ගෙන්වා ගැනීමට අපට ඇති හැකියාව පිළිබඳව උත්සාහයක් ගැනීම සඳහාය. එය හෙට දින නාට්‍ය කලාවට ශක්තියක් වනු ඇත. මෙතෙක් රු. 15000 ක් ව තිබූ මුදල් ත්‍යාගය රු. 25,000 දක්වා ද, රු. 25000 ක්ව තිබූ මුදල් ත්‍යාගය රු. 50000 දක්වා ද, රු. 50000 තිබූ මුදල් ත්‍යාගය රු. 100000 දක්වා ද වර්ධනය කර ගැනීමට අපට හැකිවුණා. එය නාට්‍ය කලාවේ විශාල ජයග්‍රහණයක්. 2011 ජාතික නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය නිර්මාණය කරන නිර්මාණකරුට අලුත් නට්‍ය නිර්මාණයක් කිරීමට මූල්‍යමය ආධාරයක් ලබා දීමට ද ජාතික නාට්‍ය අනුමණ්ඩලය බලාපොරොත්තු වෙනවා.

නාට්‍ය කලාව සඳහා කෙරෙන එතෙර ශිෂ්‍යත්වයන් ද සම්මානනීය සහභාගිත්වයන් ක්‍රමවත්ව සිදුකිරීමට ද නාට්‍ය හා රංග කලාව පිළිබඳව එතෙර මෙතෙර විද්වතුන්ගේ සහයෝගය ලබාගැනීමට ද අප වැඩපිළිවෙළක් සැලසුම් කොට තිබෙනවා. උතුර දකුණ යා කරන මිත්‍රත්වයේ පාලමට නාට්‍ය කලාව තුළින් එහා මෙහා ගෙන යා හැකි දේ බොහෝයි. මෙය ප්‍රයෝජනයට ගෙන 2011 ජාතික නාට්‍ය උළෙල තව තවත් ශක්තිමත් කරනු ඇතැයි අප විශ්වාස කරනවා. ලාංකීය නාට්‍ය කලාව වෙනුවෙන් වේදිකාව මත ලේ කඳුළු දහඩිය හෙලූ විශිෂ්ට නාට්‍යවේදීන් 07 දෙනෙකුට ද ද්‍රවිඩ නාට්‍යවේදීන් තුන්දෙනෙකුටද මෙවර ජාතික නාට්‍ය උළෙල අප වෙන්කරනු ලැබුවා. එසේ කළේ ඔවුන් මෙම ප්‍රේමණීය දැව ගොඩට දැක්වූ සෙනෙහස, ආදරය හා ගෞරවය නිසාමයි.

මෙවර ජාතික නාට්‍ය උළෙලේ දී අප අලුත් විශිෂ්ට සම්මානයක් ප්‍රදානය කරනු ලැබුවා. “නාට්‍ය කීර්ති” නමින් නම් කරන ලද එම සම්මානය වේදිකාවට විශිෂ්ට සේවයක් කළ නාට්‍යවේදියෙකුට ජීවිතයේ එක් වරක් ලැබෙන සම්මානයක්. ඒ සඳහා මෙවර අප තෝරාගත්තේ වේදිකාවට විශිෂ්ට සේවයක් කළ ජේ. එච්. ජයවර්ධන නාට්‍යවේදියා සහ ද්‍රවිඩ නාට්‍ය කලාවට සේවයක් කළ ෆ‍්‍රැන්සිස් ජෙනම් නාට්‍ය වේදියාවයි. මේ සමඟ ඔහුට හෝ ඇයට රු. 50000/- මුදල් ත්‍යාගයක් ද ලබා දෙනවා. මෙය සෑම වසරකම ක්‍රියාත්මක වන යාවජීව සම්මානයක්.

අද අප ඉදිරියේ අභියෝග රැසක් තිබෙනවා. විශ්ව සාධනීය ලක්‍ෂණයෙන් පෝෂිත වූ ප්‍රේක්ෂකයාට සාධාරණීය බිහිකිරීමට රුකුල් දීම, නළු නිළියන් ඇතුළු වේදිකා ශිල්පීන්ගේ වෘත්තිය අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීමට කටයුතු සිදුකිරීම වැනි දේ ඉන් මූලිකයි. තිස්හතර වසරක් ඉක්මවා අදටත් වේදිකාවේ සක්‍රිය වන නාට්‍යකරුවෙකු වශයෙන් ඒ සඳහා මම මාගේ උපරිම කැපවීම ලබා දෙනවා. එය මා දකින්නේ අනාගත පරපුර වෙනුවෙන් කරන වගකීමක් ලෙසයි.


Copy Rights - Dinamina

0 comments:

Post a Comment