----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සියක් ආයු ලැබූ සිත නිවන කතා

Monday, March 21, 2011

දයාරත්න රටගෙදර සමඟ කතාබහක්

සියක් ආයු ලැබූ සිත නිවන කතා

සිත් පහන් කරවන ඒ ගී හඬ ඔබේ සවනතට හොඳීන් හුරු පුරුදු බව නිසැකය. සෑම පොහෝ දිනකම නිවසේ ආලින්දයට සදහම් රසය රැගෙන එන ‘සිත නිවන කතා’ මාලා ටෙලි නාට්‍යයේ තේමා ගීතය ඒ තරමටම අපේ හදවතට ද සමීපය.

වියැකී, විසිරී ගිය මිනිසත්කම් යළිත් එක්තැන් කොට වඩාත් යහපත් සමාජයක් තනන්නට කැප වූ ඒ පිංබර ඇසිදිසි මාධ්‍ය මෙහෙවරට මේ වන විට ශතකයක් සපිරී තිබේ. අඳුරට ශාප නොකොට එක් පහනක් හෝ දැල්වීමට ගත් මේ වෑයම බොහෝ දෙනෙකුගේ සිත් සුවපත් කළ බව රහසක් නොවේ. ඒ පසුපස බොහෝ පිරිසක් අත්වැල් බැඳ සිටි බව අප දනිමු. එළඹෙන මැදින් පොහෝ දින ‘සිත නිවන කතා’ සිය වැනි කතාංගය විකාශය කෙරෙන්නේ ඒ බැතිබර දායකත්වයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීම ගැන මුලින්ම ජාතික රූපවාහිනියට ස්තුතිවන්ත විය යුතුයි. මේකේ සියලුම බර ඇද්දේ ජාතික රූපවාහිනිය. මෙවැනි ගුණාත්මක දේවල් අපේ ජන සමාජයට හැම අතින්ම අවශ්‍යය යුගයක් මේක.

අපි ‘සිත නිවන කතා’ පටන් ගත්තේ 2001 වසරේදී. මම හිතන්නේ දිගටම අපට ප්‍රේක්ෂක අවධානය දිනා ගන්න පුළුවන්කම ලැබුණා. කොටස් සියයක් දක්වා අපට මේ වැඩසටහන කරගෙන එන්න හැකියාව ලැබුණේ ඒ නිසයි.

අප සමඟ පිළිසඳරට එක් වූ දයාරත්න රටගෙදර නම් වන ඔහු මේ පිංබර සමාජ සද්කාරයේ එක් නියමුවෙකි.

ජාතික රූපවාහිනියේ වත්මන් වැඩ සටහන් අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කරන්නේ ඔහුය.

ආරම්භයේ පටන් දිගු කාලයක් ‘සිත නිවන කතා’ අධ්‍යක්ෂණය කළේ මම. සෝමවීර සේනානායකයන් තමයි වැඩිම කතාංග ප්‍රමාණයකට තිර පිටපතෙන් දායක වුණේ. නමුත් නිහැඬියාවකින් පස්සේ මේ සිය වැනි කතාංගයත් එක්ක තමයි අපි යළිත් මේ වැඩසටහනට සම්බන්ධ වුණේ. රංග බණ්ඩාරනායකත් ‘සිත නිවන කතා’ කලක් අධ්‍යක්ෂණය කළා. ඒ වගේම කුෂානි අබේසේකර, නිමල් නවරත්න, සරත් ධර්මසිරි ආදීන් පිටපත් රචනයෙන් වරින්වර දායක වුණා. ඒ හැමෝමත් මේ අවස්ථාවේ කෘතවේදීව සිහිපත් කරනවා. විශේෂයෙන්ම මෙහි තේමා ගීතය ගැනත් යමක් කියන්න ඕනෑ.

එය රචනා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. ස්ටැන්ලි පීරිස්ගේ සංගීතයට විශාරද එඩ්වඩ් ජයකොඩි සහ අනෝජා ජයවර්ධන ගීතය ගායනා කළා. ‘සිත නිවන කතා’ ජනප්‍රියත්වයට මේ ගීතයත් ප්‍රබල පිටුබලයක් වුණා.

වර්තමානයේ පවතින ජනප්‍රිය ටෙලි නාට්‍යය සංස්කෘතිය තුළ එතරම් විශාල ප්‍රේක්ෂක පිරිසක් ‘සිත නිවන කතා’ වටා එක් රොක් වී ඇතැයි ඔබ සිතනවාද?

තරුණ පරපුරත්, වැඩිහිටි පරපුරත් එක සේ මේ ටෙලි නාට්‍යය නරඹනවා. බණ අහනවා වගේම සැදී පැහැදී ඉන්නවා මේක බලන්න. මොකද මසැසට වගේම මනසටත් හරවත් යමක් මෙයින් ලැබෙන බව ඔවුන් දන්නවා.

ඒ නිසා අපට වෙනත් ටෙලි නාට්‍යය එක්ක කිසිම තරගයක් නැහැ. රේටින්ස්වල ඉහළම තැන අපි ඉන්නේ. මාසයකට සැරයක් විකාශය වුණාට අපට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා ඉහළයි. සමාජයේ හැම තලයක්ම, පංතියක්ම නියෝජනය වන විදිහටයි අපි මේ මාලා නාටකය ඉදිරිපත් කරන්නේ.

ප්‍රවීණයන්ට වගේම නව පරපුරේ නළු නිළියන්ටත් ඔබ සිත නිවන කතා ඔස්සේ රංගන වරම් ලබා දී තිබෙනවා?

ඔව්. සියයට පනහට පනහ වගේ අපි මේ දෙපිරිසකටම අවස්ථා ලබා දී තිබෙනවා. ඉදිරියටත් එසේමයි. විශේෂයෙන්ම නව පරපුරේ රඟපෑමට හැකියාව තියෙන ඔළුවක් සහිත අයට තමයි අපි අවස්ථාව ලබා දෙන්නේ.

මේ කොටස් 100 තුළ හැම මට්ටමකම නළු නිළියන් රංගනයෙන් අපට දායක වුණා. ශ්‍රියන්ත මෙන්ඩිස්, සීතා කුමාරි, නයනා කුමාරි, රංගන ප්‍රේමරත්න, චන්ද්‍රසේන නවලිමුණි, ජනක් ප්‍රේමලාල්, සුමිත් මුදන්නායක, නිලන්ති විජේසිංහ, ස්ටැන්ලි පෙරේරා වැනි ප්‍රවීණ නළු නිළියන්ගේ දායකත්වය නිතරම පාහේ අපට ලැබුණා.

වසර දහයක කාලයක් පුරාවට එක සේ ජනප්‍රියත්වයක් කිසියම් ටෙලි නිර්මාණයක් වෙත හිමි වීම සුවිශේෂත්වයකි. ඒ ප්‍රේක්ෂක ආකර්ෂණය පිළිබඳ රටගෙදර තුළ ඇත්තේ මෙබඳු ආකල්පයකි.

අපේ පරමාර්ථය යහපත්. අපේ චේතනා අවංකයි. පිරිසුදුයි.

මාකටින් පැත්ත ගැනම නෙවෙයි අපි බලන්නේ. හරවත් යමක් ප්‍රේක්ෂකයාට ලබා දී වඩාත් යහපත්, මනුෂ්‍යත්වය රජයන සමාජ වටපිටාවක් බිහි කිරීමයි අපේ ප්‍රධාන අරමුණ.

මෙහි ආරම්භක අවධිය ගැන මඳක් සිහිපත් කළොත්?

චැනල් අයි නාළිකාවේ ආරම්භයත් සමඟයි අපි ‘සිත නිවන කතා’ මාලා නාටකය ආරම්භ කළේ. මෙහි කතා සංකල්පය මගේ. රූපවල වගේම අන්තර්ගතයේත් කිසියම් ආකර්ෂණයක් හරවත් බවක් තිබිය යුතුයි කියලයි මම කල්පනා කළේ. මේ අදහස තමයි මම සෝමවීර සේනානායක මහත්මයාට කිව්වේ. එහි ආකෘතිය සහ සන්දර්භය ඔහු සකස් කළේ ඒ අදහසට අනුකූලවයි. නිමල් ඒකනායක මහතා අපේ නිර්මාණ කාර්යය එළි දක්වන්න ඉතා හොඳ සහයෝගයක් දුන්නා. ඒ වගේම එදා සිටි අධ්‍යක්ෂ ජෙනරාල් නිමල් ලක්ෂපතිආරච්චි මහතාත් අපට ලොකු සහයෝගයක් ලබා දුන්නා.

මහාචාර්ය ආරියරත්න ඇතුගල, තිස්ස කොතලාවල වගේම වත්මන් සභාපති සරත් කෝන්ගහගේ, අධ්‍යක්ෂ ජෙනරාල් දේවප්‍රිය අබේසිංහ යන මහත්වරුන්ටත් අපේ ස්තුතිය මේ මොහොතේ පුද කරන්න කැමැතියි. හැමෝගෙන්ම මේකට ලැබුණේ යහපත් වූ ප්‍රතිචාර. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් වරක් එක්තරා උත්සවයකදී ප්‍රකාශ කර තිබුණා, පොහොය දිනට එතුමා රූපවාහිනියෙන් නරඹන්නේ අපේ නාට්‍යය විතරයි කියලා. එතුමාගේ ඒ ප්‍රකාශය අපව දිරි ගැන්වීමක්.

කෙටස් සියයේ සීමාවෙන් පසු මේ මාලා ටෙලි නාටකයේ යම් යම් වෙනස්කම් කිරීමට ඔබ බලාපොරොත්තු වෙනවාද?

මේකේ ජිමික්ස් මොනවත් නැහැනේ. ඒ නිසා කතා ආකෘතිය සහ සන්දර්භයේ වෙනසක් අපි සිදු කරන්නේ නැහැ. බුදු දහම ආශ්‍රිතව සමාජයට නව අර්ථකතනයක් සැපයීම අපි අඛණ්ඩව කරගෙන යනවා. මිනිස්සු හරි පහන් සිතෙන් පෝය දවසට ගෙදර සාලයේ ඉඳන් මේක බලන්නේ. ඒ නිසා අපි විනාශකාරී දෙයක් කරන්නේ නැති බව කවුරුත් දන්නවා.

අප ජීවත් වන්නේ නිරන්තරයෙන් බුදු බණ අසන රටකයි. එළි වූ පැයේ පටන් රෑ නින්දට යන තෙක්ම විවිධ මාධ්‍යයන් ඔස්සේ මේ දහම් රසය නිරන්තරයෙන් අප දෙසවන්හි රැව් පිළිරැව් දේ. එහෙත් තවමත් දැහැමි දිවි පෙවතකට හුරු වී ඇති ජන සමාජයක් අපට පෙනෙන්නට නැත.

මෙවැනි පසුබිමක ‘සිත නිවන කතා’ තුළින් සමාජයට කිසියම් යහපත් බලපෑමක් ඇති වී දැයි යන්න පිළිබඳ අප අවසන් වශයෙන් රටගෙදරයන්ගෙන් විමසුවෙමු.

සාම්ප්‍රදායික රටාවෙන් මිදිලා බෞද්ධ තේමාවක් යටතේ වර්තමානයට ගෝචර වෙන පරිදියි අප මේ කතාංග ඉදිරිපත් කරන්නේ. ටෙලි නාට්‍යය කලාවේ උසස් ප්‍රමිතීන් රැකගෙන, පවුලේ හැමීටම එකට සිට නැරැඹිය හැකි ආකාරයට මේ වන තෙක් අපි එම නාට්‍යය මාලාව කරගෙන ආවා.

සමාජයේ ආකල්පමය වෙනසක් සිදු කිරීම එතරම් පහසු කාර්යයක් නෙවෙයි. නමුත් ප්‍රේක්ෂකයන් අපට දක්වන ඇතැම් ප්‍රතිචාර නිසාවෙන් ඒත්තු යන්නේ කිසියම් ආධ්‍යාත්මික දියුණුවක් මේ මගින් ඇති වී තිබෙන වගයි.

පොහොය දවසට මේක පෙන්නුවත් පොදුවේ ආගම් බේදයකින් තොරව සමාජයේ සියලුම දෙනා ඉතාමත් ගෞරවයෙන් ‘සිත නිවන කතා’ වැළඳගෙන අවසානයි.

0 comments:

Post a Comment