----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඒ අද්දැකීම මට වචනයෙන් විස්තර කරන්න බෑ

Sunday, March 13, 2011

ධවල පවුර හරහා සිනමාවට ආ චමිලා නිශාන්ති

මේ වනවිටත් ටෙලි නිර්මාණ කිහිපයකටම මට ආරාධනා ලැබිලා තියෙනවා.

බාධක පවුරු රැසක් මැද රිදී තිරයට සිත්තම් වූ ‘ධවල පවුර’ සිනමා සිතුවමට එක් වූ අලුත් තාරකාව ඇයයි. ඔබේ නෙතු අද්දරට පුංචි තිරයෙන් සමීප වූ ඇය රිදී තිරය හා එක් වූයේ ‘ධවල පවුර’ හරහායි.

ඇය නමින් චමිලා නිශාන්ති . . .

මේ දිනවල තිරගත වන සිනමා කෘති අතරට එක් වූ ‘ධවල පවුර’ හි කතා නායිකාව මධුවන්ති ලෙසින් කරළියට බට ඇය ඔබට සමීප වූයේ පුංචි තිරයේ කලක් ජනප්‍රියත්වයේ කිරුළු දැරූ ටෙලි සිතුවමක් හරහායි. ‘ඉතින් ඊට පස්සේ’ ටෙලි නිර්මාණයෙහි ‘ශෙරීන්’ නම් වූ අපූරු යුවතියගේ් රුව ප්‍රති නිර්මාණය කළේ ඇයයි. ‘තිමිර’ ටෙලි නිර්මාණය සඳහා ද රංගනයෙන් දායක වෙමින් ඇය පුංචි තිරයෙන් ඔබ වෙතට සමීප විය.

‘මං පුංචි කලෙ ඉඳලම කලාවට හරිම කැමතියි. පාසල් යන කාලෙත් පාසල් වේදිකාවෙ රඟපෑවා. මගේ අම්මා තමයි මාව කලාවට යොමු කළේ. අම්මා වගේම මගේ තාත්තත් හරිම කැමැත්තෙන් හිටියේ මං කලා කටයුතු සමඟ සම්බන්ධ වෙනවට.

ඒත් අවාසනාවකට වගේ මට අවුරුදු 13 දී විතර මගේ තාත්තා නැති වුණා. එතැන් පටන් අද දක්වා ම මගේ අම්මා තමයි මගේ හෙවනැල්ල වගේ මගේ ළඟින් ම හිටියේ. අද වෙනතුරුත් මගේ හැම කලා කටයුත්තකටම මාත් එක්ක යන්න එන්න ආවේ මගේ අම්මායි’.

පාසල් යන අවදියේ පටන් කලාවට බොහෝ ඇලුම් කළ ඇය පාසල් වේදිකාවේද රැඟුම් දැක් වූ රංගන ශිල්පිනියකි. රංගනය මෙන් ම නර්තන හැකියාව ද ඇයට සහජයෙන් උරුම වූ අපූරු හැකියාවකි.

එලෙසින් ම ඇය අභියෝගවලට ද කිසිදු බියක් දක්වන්නියක නොවේ. ට්‍රේල් බයිසිකල් පැදීම ආදී විවිධ දක්ෂතා ඇය පුංචි සන්ධියේ පටන්ම හුරු පුරුදු වූ අපූරු හැකියාවන්ය.

ඇයට ධවල පවුරු සමඟ සම්බන්ධවීමේ කදිම අවස්ථාව හිමි වූයේ ද ඇය සතු මෙවන් දක්ෂතා රැස නිසාමය. එහි ප්‍රධාන චරිතයට පණ පොවමින් ඇය රසික රසිකාවන් වෙත තමා සතුª විවිධ හැකියාවන් සහ දක්ෂතාවන් රැසක් අපූරු ලෙස ප්‍රදර්ශනය කිරීමට සමත් විය.

‘ධවල පවුර’ ඇයගේ ප්‍රථම සිනමා සිතුවම නිසා ම එහිදී ඇය ලැබූ අත්දැකීම් විමසන්නට අපි අමතක නොකළෙමු.

‘ඇත්තටම කියනව නම් මට මෙතනදි ලැබුණු අත්දැකීම් වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. මොකද මේ මගේ ප්‍රථම චිත්‍රපටය.

මා රංගනයට පිවිසිලා දිගු කාලයක් නැති වුණත් සිනමා නිර්මාණයකට සම්බන්ධ වීමට ලැබීම මට මේ ක්ෂේත්‍රයේ දී ලැබුණු ලොකු අවස්ථාවක් විදිහටයි මම ඒ දේ සලකන්නේ. චිත්‍රපටය බලන කොට මට මගේ ඇතැම් අඩුපාඩු දැනුණා.

අපි ඒ චිත්‍රපටය කළෙත් බොහෝම කෙටි කාල සීමාවක් ඇතුළත. නමුත් එහි අධ්‍යක්ෂවරයා ලක්ෂ්මන් ආරච්චිගේ ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයෙන්ම මට ලැබුණෙ හොඳ සහයෝගයක්.

අධ්‍යක්ෂවරයා මගේ දක්ෂතාවන් සහ හැකියාවන් හොඳින් තේරුම් අරගෙන ඒ දක්ෂතාවලින් ප්‍රයෝජන අරගෙන මගේ හැකියාවන් රසික රසිකාවන්ට පෙන්නන්න උපරිම උත්සාහයක් ගත්තා. මගේ සියලුම හැකියාවන් මේ චිත්‍රපටයේ ගැබ් වෙලා තියෙනවා. නර්තනය, සටන්, ට්‍රේල් බයික් ධාවනය කිරීම ඇතුළු විවිධ හැකියාවන් මා සතු වූ නිසා මේ චරිතය කරන එක මට පහසුවක් වුණා.’

චමිලා සතු විවිධ දක්ෂතා අතරේ කැපී පෙනෙන ම දක්ෂතාව වූයේ ඇය සතු නර්තන හැකියාවයි. රංගනයට පිවිසීමට පෙර සිටම ‘චාමි ශ්‍රී’ නමින් නර්තන කණ්ඩායමක් ද ඇය සතු විය. එලෙසින්ම ‘චාමි ශ්‍රී’ නමින් කලායතනයක් ද පවත්වාගෙන ගිය ඇය එහි නර්තන උපදේශිකාව ලෙසින් ද කටයුතු කර තිබේ.

නර්තනය කුඩා කල සිටම ප්‍රගුණ කළ ඇය පාසල් අවධියේ පටන්ම කලා ලොවින් ඉදිරියට යෑමට පෙරුම් පිරුවාය.

ඒ නිසාම ඇයට වේදිකාවේ ද දොරගුළු විවර විය. චන්ද්‍රසිරි කොඩිතුවක්කුගේ ‘සක්වා ළිහිණි’ වේදිකා නාට්‍ය, ‘හෙප්පුව’ වැනි වේදිකා නාට්‍ය සඳහා ද රංගනයෙන් දායක වී ඇති ඇය මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස ද මනාලියන් දැක්ම රැසකටම සහභාගී වී තිබේ.

මේ වන විට ඇය වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිනියකි. ඇය දැන් ඇගේම කියා සැලෝන් එකක් පවත්වාගෙන යයි.

‘මං රූපලාවන්‍ය ක්ෂේත්‍රයට යොමු වුණේ නර්තන කණ්ඩායමේ සිටින කාලේදීයි. එහි මේකප් කටයුතු සඳහා රූපලාවන්‍ය ගැන දැන සිටීම අවශ්‍ය නිසා රූපලාවන්‍ය කටයුතු ඉගෙන ගත්තා. දැන් මම මගේ ඒ හැකියාවත් වර්ධනය කරගෙන මේ කටයුතු දිගටම කරගෙන යනවා. මම ඉස්සර ඉඳල ම රංගන කටයුතු කළේ වෘත්තියක් වශයෙන් නම් නොවෙයි. ඉදිරියටත් ඒක එහෙම්මමයි.

අදත් මගේ හොඳම විචාරකයා මගේ අම්මා. ඒ වගේ ම මගේ සැමියාත් මගේ කලා කටයුතුවලට හොඳ සහයක් ලබා දෙනවා. මං කලාවට බොහෝම ඇලුම් කරන කෙනෙක්. නමුත් මං කලා නිර්මාණ සඳහා දායක නේනේ හුඟක් හිතලා මතලා.

ඒ වගේ ම වෘත්තියේ කටයුතුත් සමඟින් ඉදිරියට යනකොට වැඩි වැඩියෙන් නිර්මාණවලට දායක වන්න ලැබෙන ඉඩකඩත් අඩුයි. මේ වන විටත් ටෙලි නිර්මාණ කිහිපයකටම මට ආරාධනා ලැබිලා තියෙනවා. ඉඩකඩ ලැබෙන විදියට මං ඒවා සඳහා සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.’

දක්ෂතා රැසක් දෝත දැරූ චමිලාගේ ඉදිරි ගමනට අපගෙන් සුබපැතුම්.

ඇයගේ ලිපිනය - නො: 48/1,
පොල්හේන, යක්කල.

0 comments:

Post a Comment